උය්‍යුත්තසේනා ශික්‍ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “අබ්භූය්‍යාතො” ඉදිරියට ගියේය. පරසෙනගට මූණදී යන්නෙමි’යි නුවරින් නික්ම ගියේය, යන අර්‍ත්‍ථයි. “උය්‍යුත්තං” යුද පිණිස කළ නික්මීම් ඇත්තාවූ. ගමින් නික්මුනාවූ, යන අර්‍ත්‍ථයි.
“ද්වාදසපුරිසො හත්‍ථි” ඇතුපිට නගින්නාවූ සිවු දෙනෙක. එක් එක් රකින්නෝ දෙදෙනෙක, දෙදෙනෙකැයි මෙසේ පුරුෂයන් දොළොසක් ඇත්තේය. “තිපුරිසො අස්සො” අසුපිට නැගෙන එකෙක පා රකින්නෝ දෙදෙනෙකැයි මෙසේ පුරුෂයන් තිදෙනෙක් ඇත. “චතුපුරිසො රථො” එක් රියසරියෙක එක් යොධයෙක. ඇණ රකින්නාවූ දෙදෙනෙකැයි පුරුෂයන් සිවුදෙනෙක් ඇත. “චත්තාරො පුරිසා සරහත්‍ථා” ආවුධ ගත් අත් ඇත්තාවූ පුරුෂයන් සිවුදෙනෙකැයි මේ පැසුළු කෙළවරින් සිවුරඟ සෙනෙගින් යුත් සෙනාව නම් වේ. මෙබඳු සෙනගක් දකිනු පිණිස යන මහණහුට පියෙහි පියෙහි දුක්කටය වේ. “දස්සනූපචාරං විජහිත්‍වා” කිසිවකින් අතර කරන ලද්දී හෝ වළකට බැස සිටියා හෝ නොදක්නා ලැබේ. මෙහි සිට දකින්නට නොහැකියයි අන් තැනකට ගොස් බලන මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය යන අර්‍ත්‍ථයි.
ඇත් ආදී වූ සිවුරඟ අතුරෙහි එකක් එකක්යි යටත් පිරිසයින් එක් පුරුෂයකු නැගි ඇතකු හෝ ඊ ගත් අත් ඇති එක් පුරුෂයකු හෝ “අනුයුත්තා” නම්, රජතෙමේ උයනට හෝ යේද, මෙසේ ඇති කල්හි අනුයුක්ත හෙවත් යුද පිණිස ගමින් නික්මුනේ වේ.
“ආපදාසු” ජීවිතයට හෝ බ්‍රහ්මචර්‍ය්‍යයට හෝ අනතුරක් ඇති කල්හි මෙහි ගියේ මිදෙන්නෙමියි යන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනය.
අටවන උය්‍යුත්තසෙනා ශික්‍ෂාපදයයි.
සේනාවාස ශික්‍ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි- “අත්‍ථඞ්ගතෙ සුරියෙ සෙනාය වසති” හිරු අස්තයට ගිය කල්හි සෙනාසන්නිවෙස ස්ථානයෙහි වසයි. මෙහි සිටීවා, හෝ හිඳීවා, හෝ නිදාවා, හෝ ඉදිනුදු අහසෙහි සෘද්ධියෙන් කිසි ඊර්‍ය්‍යපථයක් කෙරේනම් පාචිත්තියම වේ. “සෙනාය වා පටිසෙනා රුද්ධා හොති” සංචරණය යම්සේ සිඳීයේද, එසේ අවුරන ලද්දී වේ. “පළිබුද්ධො” වෛරියකු විසින් හෝ අධිපතියකු විසින් හෝ වළකන ලද්දේ වේ. සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
නවවන සෙනාවාස ශික්‍ෂාපදයයි
උය්‍යෝධික ශික්‍ෂාපද වර්ණනාව
දසම ශික්‍ෂාපදයෙහි - උඩට නැග නැග මෙහිලා යුද්ධ කෙරෙත්යි “උය්‍යොධික” නම්වේ. යුදකරන තැනට මේ නමෙකි. මෙහිලා සෙනාවගේ ගණන දනිත්නුයි ඒ ගණින තැන “බලග්ග” නම්වේ. සෙනාව ගණින තැනය යන අර්‍ත්‍ථයි. රථාකාරයෙන් ශකටාකාරයෙන් පද්මාකාරයෙන් යනාදි ආකාරයන්ගෙන් සෙනාවගේ සිටීම “සෙනාබ්‍යූහ” නම්, සෙනාසිටවන තැනට මේ නමෙකි. “තයො හත්‍ථි පච්ඡිමං හත්‍ථානීකං” පෙර කියූ පුරුෂයන් දොළොස් දෙනකු ඇති යම් ඇතෙක් වේද, ඒ ඇතු උපලක්‍ෂණ කොට ඇත්තු තිදෙනෙක. සෙසු තන්හිද මෙම නයවේ. සමුත්‍ථානාදීන් සමග සෙස් උය්‍යුත්තසෙනා ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුත්තේය.
දසවන උය්‍යොධික ශික්‍ෂාපදයයි
වර්‍ණනා ක්‍රමයෙන් පස්වන අචෙලකවර්‍ගය නිමි
සුරාපාන වර්‍ගය
සුරාපාන ශික්‍ෂාපද වර්ණනාව
සුරාපාන වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “භද්දවතිකා” යනු එක් ගමෙක් වේ. ඒ ගම යහපත් වැටකින් යුක්ත බැවින් මේ නම ලැබීය. “පථාවිනො” මාර්ගිකයෝ. “තෙජසා තෙජං” තමන්ගේ තේජසින්. ආනුභාවයෙන්. නාගයාගේ තේජස. “කාපොතිකා” පරවිපා සමාන රතු පැහැ ඇති. “පසන්නා” යනු සුරාමණ්ඩයට මේ නමෙකි. “අනනුච්ඡවියං භික්‍ඛවෙ සාගතස්ස” ස්මෘතිමත් වූ පඤ්චාභිඥා ඇත්තහුට මද්‍යපානය නම් නොහොබනේයයි වදාරන ලද්දේය.
“පුප්ඵාසව” නම් මීමල් ආදීන්ගේ මල් රසයෙන් කරන ලද්දේය. “ඵලාසව” නම් මුද්‍රික ඵලාදිය මැඩගෙන ඔවුන්ගේ රසයෙන් කරන ලද්දේය. “මධ්වාස” නම් මිදිවල ජාති රසයෙන් කරන ලද්දේය. මැස්සන් බැඳි මීයෙන්ද කෙරේයයි කියත්. “ගුළාසව” නම් උක්පැණි ආදියෙන් කරනු ලැබේ. “සුරා” නම් පිටි හා රාබිජු බහාලන ලද්දී වේ. නෙරළු ආදීන්ගේ රසයෙන් කරන ලද්දී ද, සුරාමැයි පිළිගනී. රාබිජු බැහූ ඒ සුරාවගේ මණ්ඩය ගත් කල්හි මෙර මැයි යන ගිණීමට යේයයි කියත්. “අන්තමසො කුසග්ගෙනපි පිවති” මේ සුරා හෝ මෙරය හෝ ද්‍රව්‍ය පිළියෙල කොට සැළියෙහි බහාලූ තැන් පටන්ද තල්, පොල් ආදීන්ගේ මල් පැණි, මලින් ගිලිහුණු තැන් පටන්ද, තණ අගකින් නමුත් බොන මහණහුටද පාචිත්තිය වේය යන අර්‍ත්‍ථයි. එක් ප්‍රයොගයකින් බොහෝ බොන මහණහුට එක්ම ඇවැතක් වේ. කඩ කඩ කොට බොන මහණහුට ප්‍රයොග ගණනින් ඇවැත් වේ.