චාරිත්ත ශික්‍ෂාපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි “දෙථාවුසො භත්තං” මෙහි ඒ බත එළවන ලද්දේ වේ. එහෙයින් නිමන්ත්‍රණය ලද භික්‍ෂූහු මෙසේ කීහ. නොඑළවූ කල්හි වනාහි මෙසේ කියන්නට නොලබයි. පයුත්තවාචා වේ.
“තෙනහි භික්‍ඛවෙ පටිග්ගහෙත්‍වා නික්‍ඛිපථ” මේ වනාහි භාග්‍යවතුන් වහන්සේ කුලයාගේ ශ්‍රද්ධාව රකිනු පිණිස වදාළ සේක. ‘ඉදින් බෙදා ගෙණ කවු’යි වදාරන්නාහු නම්, මිනිසුන්ගේ පැහැදීමෙහි වෙනස්බවෙක් වන්නේය. “උස්සාදියිත්‍ථ” පෙරළාගෙන ගියහ. එය ගෙණ ගෙටම ගියහයි කියන ලද්දේ වේ.
“සන්තං භික්‍ඛුං” මෙහි කොපමණකින් විද්‍යමාන වේද, කොපමණකින් අවිද්‍යමාන වේද, යත්: වෙහෙර තුළ යම්තැනක සිටියනුට කුලයන් පයිරූපාසනයෙහි හිතක් උපන්නේද, එතැන් පටන් පසෙක හෝ ඉදිරිපිට හෝ යමකු දකීද, යමක්හට දොළොස් රියන් තුළ සිටියහුට අසන්නට හැකි වූ ප්‍රකෘති වචනයෙන් ආරොචනය කරන්නට හැකිවේද, මෙතෙමේ විද්‍යමාන නම්වේ. එහා මෙහාද සොයා ආරොචන කෘත්‍යයක් නම් නැත්තේය. යමෙක් තෙමේ සෙවිය යුත්තේද, හෙතෙමේ අවිද්‍යමාන නම්වේ: තවද, උපචාර සීමාව තුල මහණකු දැක විචාරන්නෙමියි ගොස් එහිදී යමකු දකීද, හෙතෙමේ ‘අහං ඉත්‍ථන්නාමස්ස ඝරං ගච්ඡාමි’යි හෝ ‘චාරිත්තං ආපජ්ජාමි’යි හෝ මෙබඳු වචනයෙන් විචාළ යුතුය. ඉදින් නොදකී නම් අවිද්‍යාමාන මහණකු නොවිචාරා පිවිසියේ නම්වේ.
“අන්තරාරාමං” ඇතුළු ගමෙහි විහාරයෙක් වේද, ඒ විහාරයට යයි. “භත්තියඝරං” නිමතන ලද්දවුන්ගේ ගෙයක් හෝ ලහබත් ආදිය දෙන්නවුන්ගේ ගෙයක් හෝ. “ආපදාසු” ජීවිතයට බ්‍රහ්මචර්‍ය්‍යට අනතුරක් ඇති කල්හි විද්‍යාමාන වූද, මහණකු නොවිචාරා යෑම වටියි. මෙහි සෙස්ස ප්‍රකටමය.
කඨිනසමුත්‍ථානිකය. කයවචනයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය, නොසංඥාවිමොක්‍ෂය, අචිත්තකය, ප්‍රඥප්තිවද්‍යය, කායකර්‍මයි, වාක්කර්‍මයි, ත්‍රිචිත්තයි, ත්‍රිවෙදනයි.
සවන චාරිත්ත ශික්‍ෂාපදයයි.
මහානාම ශික්‍ෂාපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි - මහානාම තෙමේ මේ භාග්‍යවතුන් වහන්සේගේ සුලුපිය පුත්ය. මසකින් වැඩිමහල්ය. ඵල දෙකෙක පිහිට ලැබූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක්ය. “භෙසජ්ජං උස්සන්නං හොති” ගාලෙන් ගෙනවුත් තැබූ ගිතෙල් බොහෝ වේ.
“සාදිතබ්බා” කාලයෙහි රොගයෙක් නැතැයි ප්‍රතික්‍ෂෙප නොකටයුතුය. රොගයක් ඇති කල්හි දන්වන්නෙමි’යි ඉවසිය යුතුය. “එත්තකෙහි භෙසජ්ජෙහි පවාරෙමි” නම් වසයෙන් ගිතෙල් තෙල් ආදීන් අතුරෙහි දෙකකින් හෝ තුනකින් හෝ පමණ විසින් පතකින් හෝ නැළියකින් හෝ ලාස්සකින් හෝය. “අඤ්ඤං භෙසජ්ජං විඤ්ඤාපෙති” ඝෘතයෙන් පවරන ලදුයේ තෙල්ය. ලාස්සකින් පවරන ලදුයේ ද්‍රොණයෙකැයි මෙසේ පිනවන මහණහුට ඇවැත් වේයයි දන්නේය. “න භෙසජ්ජෙන කරණීයෙ” මුසුබතිනුත් යැපෙන්නට හැක්කේද, එය බෙහෙතින් කළ යුත්තෙක් නම් නොවේ.
“පවාරිතානං” යම්කෙනෙක් තුමූ තමන්ට පෞද්ගලික පවාරණයෙන් පවරන ලද්දාහුද, ඔවුන්ට පැවරූ දැයට අනුරූප වසයෙන් පිනවීම හේතුකොට ඇවැත් නොවේ. සඞ්ඝයාගේ වසයෙන් පැවරූ කල්හි පමණ සැලකිය යුත්තේමය. සෙස්ස ප්‍රකටමය.
ෂඩ් සමුත්‍ථානිකය, ක්‍රියාසමුත්‍ථානය, නොසංඥාවිමොක්‍ෂය, අචිත්තකය, ප්‍රඥප්තිවද්‍යය, කායකර්‍මයි, වාක්කර්‍මයි, ත්‍රිචිත්තයි, ත්‍රිවෙදනයි.
සත්වන මහානාම ශික්‍ෂාපදයයි
උය්‍යුත්තසේනා ශික්‍ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “අබ්භූය්‍යාතො” ඉදිරියට ගියේය. පරසෙනගට මූණදී යන්නෙමි’යි නුවරින් නික්ම ගියේය, යන අර්‍ත්‍ථයි. “උය්‍යුත්තං” යුද පිණිස කළ නික්මීම් ඇත්තාවූ. ගමින් නික්මුනාවූ, යන අර්‍ත්‍ථයි.
“ද්වාදසපුරිසො හත්‍ථි” ඇතුපිට නගින්නාවූ සිවු දෙනෙක. එක් එක් රකින්නෝ දෙදෙනෙක, දෙදෙනෙකැයි මෙසේ පුරුෂයන් දොළොසක් ඇත්තේය. “තිපුරිසො අස්සො” අසුපිට නැගෙන එකෙක පා රකින්නෝ දෙදෙනෙකැයි මෙසේ පුරුෂයන් තිදෙනෙක් ඇත. “චතුපුරිසො රථො” එක් රියසරියෙක එක් යොධයෙක. ඇණ රකින්නාවූ දෙදෙනෙකැයි පුරුෂයන් සිවුදෙනෙක් ඇත. “චත්තාරො පුරිසා සරහත්‍ථා” ආවුධ ගත් අත් ඇත්තාවූ පුරුෂයන් සිවුදෙනෙකැයි මේ පැසුළු කෙළවරින් සිවුරඟ සෙනෙගින් යුත් සෙනාව නම් වේ. මෙබඳු සෙනගක් දකිනු පිණිස යන මහණහුට පියෙහි පියෙහි දුක්කටය වේ. “දස්සනූපචාරං විජහිත්‍වා” කිසිවකින් අතර කරන ලද්දී හෝ වළකට බැස සිටියා හෝ නොදක්නා ලැබේ. මෙහි සිට දකින්නට නොහැකියයි අන් තැනකට ගොස් බලන මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය යන අර්‍ත්‍ථයි.