උය්යෝධික ශික්ෂාපද වර්ණනාව
දසම ශික්ෂාපදයෙහි - උඩට නැග නැග මෙහිලා යුද්ධ කෙරෙත්යි “උය්යොධික” නම්වේ. යුදකරන තැනට මේ නමෙකි. මෙහිලා සෙනාවගේ ගණන දනිත්නුයි ඒ ගණින තැන “බලග්ග” නම්වේ. සෙනාව ගණින තැනය යන අර්ත්ථයි. රථාකාරයෙන් ශකටාකාරයෙන් පද්මාකාරයෙන් යනාදි ආකාරයන්ගෙන් සෙනාවගේ සිටීම “සෙනාබ්යූහ” නම්, සෙනාසිටවන තැනට මේ නමෙකි. “තයො හත්ථි පච්ඡිමං හත්ථානීකං” පෙර කියූ පුරුෂයන් දොළොස් දෙනකු ඇති යම් ඇතෙක් වේද, ඒ ඇතු උපලක්ෂණ කොට ඇත්තු තිදෙනෙක. සෙසු තන්හිද මෙම නයවේ. සමුත්ථානාදීන් සමග සෙස් උය්යුත්තසෙනා ශික්ෂාපදයෙහි කියූ නයින්ම දතයුත්තේය.
දසවන උය්යොධික ශික්ෂාපදයයි
වර්ණනා ක්රමයෙන් පස්වන අචෙලකවර්ගය නිමි
සුරාපාන වර්ගය
සුරාපාන ශික්ෂාපද වර්ණනාව
සුරාපාන වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “භද්දවතිකා” යනු එක් ගමෙක් වේ. ඒ ගම යහපත් වැටකින් යුක්ත බැවින් මේ නම ලැබීය. “පථාවිනො” මාර්ගිකයෝ. “තෙජසා තෙජං” තමන්ගේ තේජසින්. ආනුභාවයෙන්. නාගයාගේ තේජස. “කාපොතිකා” පරවිපා සමාන රතු පැහැ ඇති. “පසන්නා” යනු සුරාමණ්ඩයට මේ නමෙකි. “අනනුච්ඡවියං භික්ඛවෙ සාගතස්ස” ස්මෘතිමත් වූ පඤ්චාභිඥා ඇත්තහුට මද්යපානය නම් නොහොබනේයයි වදාරන ලද්දේය.
“පුප්ඵාසව” නම් මීමල් ආදීන්ගේ මල් රසයෙන් කරන ලද්දේය. “ඵලාසව” නම් මුද්රික ඵලාදිය මැඩගෙන ඔවුන්ගේ රසයෙන් කරන ලද්දේය. “මධ්වාස” නම් මිදිවල ජාති රසයෙන් කරන ලද්දේය. මැස්සන් බැඳි මීයෙන්ද කෙරේයයි කියත්. “ගුළාසව” නම් උක්පැණි ආදියෙන් කරනු ලැබේ. “සුරා” නම් පිටි හා රාබිජු බහාලන ලද්දී වේ. නෙරළු ආදීන්ගේ රසයෙන් කරන ලද්දී ද, සුරාමැයි පිළිගනී. රාබිජු බැහූ ඒ සුරාවගේ මණ්ඩය ගත් කල්හි මෙර මැයි යන ගිණීමට යේයයි කියත්. “අන්තමසො කුසග්ගෙනපි පිවති” මේ සුරා හෝ මෙරය හෝ ද්රව්ය පිළියෙල කොට සැළියෙහි බහාලූ තැන් පටන්ද තල්, පොල් ආදීන්ගේ මල් පැණි, මලින් ගිලිහුණු තැන් පටන්ද, තණ අගකින් නමුත් බොන මහණහුටද පාචිත්තිය වේය යන අර්ත්ථයි. එක් ප්රයොගයකින් බොහෝ බොන මහණහුට එක්ම ඇවැතක් වේ. කඩ කඩ කොට බොන මහණහුට ප්රයොග ගණනින් ඇවැත් වේ.
“අමජ්ජඤ්ච හොති මජ්ජවණ්ණං මජ්ජගන්ධං මජ්ජරසං” අරළු, නෙල්ලි ආදිය එක්කොට කළ ලවණ කාසියක් හෝ නොයෙක් ද්රව්යයන් එක් කොට එනම් බෙහෙතක් හෝ වේද, (ඒ ලොණසොවීරාදිය බොන මහණහුට අනාපත්තියි දන්නේය) ‘සූපසම්පාදකෙ’ සුවඳ ගන්වනු පිණිස මද්යය ස්වල්පයක් බහා සූප පිසත්, ඒ සූපාදිය අනුභව කිරීම නිමිති කොට ඇවැත් නොවේ. මාංස සම්පාකයෙහිද මේ නයමවේ. තෙල් වනාහි වාත බෙහෙත් පිණිසද මද්යය සමග පිසත්. එහිද ඉතා මදක්ලූ මද්යය ඇත්තේම ඇවැත් නොවේ. යමක් වනාහි වැඩි කොට බැහූ මද්යය ඇත්තේවේද, යමෙක මද්යයෙහි පැහැය ගඳ රස දක්නා ලැබේද, එහි ඇවැත්වේමය. “අමජ්ජං අරිට්ඨං” ඵලාරිෂ්ට දත්තාරිෂ්ටාදී වූ යම් අරිෂ්ටයක් මද්යයක් නොවේද, එහි ඇවැත් නොවේ. නෙල්ලි ආදීන්ගේ රසයෙන් අරිෂ්ට කෙරෙත්ද, ඒ අරිෂ්ටය මද්යවර්ණගන්ධරස ඇත්තේම වේ. මද්යයද නොවේ. ඒ සඳහා මෙය කියනලදී. යම් රසයක් වනාහි ද්රව්ය බහාලන ලද්දේ වේද, ඒ රසය මද්යය වේද, බීජය පටන් නොවටියි. මෙහි සෙස්ස ප්රකටමය. ඵළක ලොමසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. අකුශලචිත්තයි. ත්රිවෙදනයි. මෙහි වස්තු නොදන්නා බැවින් අචිත්තකබව දතයුතුය. අකුශල චිත්තයෙන් යුක්තවම වියයුතු බැවින් ලොකවද්යභාවය වේ.
පළමුවන සුරාපාන ශික්ෂාපදයයි
අඞ්ගුලිපතෝදක ශික්ෂාපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි - “අඞ්ගුලිපතොදකෙ” ඇඟිලිවලින් කිහිලි ආදිය ගැටීම කියනු ලැබේ. “උත්තයන්නො” සිනහයෙන් ක්ලාන්තවෙමින් “අනස්සාසකො” සිඳීගිය ආශ්වාස ප්රශ්වාස සංචාරය ඇත්තෙක්ව “අනුපසම්පන්නතං කායෙන කායං” මෙහි මෙහෙණද අනුපසම්පන්න ස්ථානයෙහි සිටියා ඒ මෙහෙණද ක්රීඩාද්ධ්යාසයෙන් ස්පර්ශ කරන මහණහුට දුක්කටය වේ. මෙහි සෙස්ස ප්රකටමය.
ප්රථම පාරාජික සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. අකුශල චිත්තයි. ද්විවෙදනයි.
දෙවන අඞ්ගුලිපතොදක ශික්ෂාපදයයි
හස්සධම්ම ශික්ෂාපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - “අප්පකතඤ්ඤුනො” භාග්යවතුන් වහන්සේ විසින් යමක් කරන ලද්දේ ද, පනවන ලද්දේ ද, එය නොදනිත්ය යන අර්ත්ථයි.
“උදකෙ හස්සධම්මෙ” දියකෙළිය කියනු ලැබේ. “උපරිගොප්ඵකෙ” ගොප්ඇට පිළිබඳ මතුකොටස් පමණෙහි. “හස්සාධිප්පායො” ක්රීඩාද්ධ්යාසය ඇත්තේ. “නිමුජ්ජති වා” යනාදිතන්හි ගිලීම පිණිස දියට බසින්නහුට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. ගොප්ඇටින් මතුභාගප්රමාණ ජලයෙහි කෙළීමෙහි අදහස් ඇතිව ගිලීම් ඉපිලීම්හි ප්රයොගයක් ප්රයොගයක් පාසා පාචිත්තිය වේ. දියෙහි ගිලී දිය තුළම යන මහණහුට හස්තවාර පදවාරයන්හි සියලු තන්හි පාචිත්තිය වේ. “පිලවති” පීනයි අත්වලින් පීනන්නහු අත්වරෙක්හි අත්වරෙක්හි පාචිත්තිය වේ. පා වාරයන්හිද මේ නයමවේ. යම් යම් අවයවයකින් පීනාද, ඒ ඒ අවයවයාගේ ප්රයොගයක් ප්රයොගයක් පාසා පාචිත්තිය වේ. ඉවුරෙන් හෝ රුකකින් හෝ දියට පනීද, පාචිත්තියම වේ. “නාවාය කීළති” පලුපන් රිටි ආදියෙන් නැව පදිමිත් හෝ ඉවුරට නගමින් හෝ නැවෙහි ක්රීඩා කෙරේද, දුක්කටය වේ.