චීවරදාන ශික්‍ෂාපද වර්ණනාව
පඤ්ච ශික්‍ෂාපදයෙහි - “විසිඛාය’ වීථියෙහි. “පිණ්ඩාය චරති” නිබඳ හැසිරීම් වසයෙන් නිතර හැසිරේ. “සන්‍දිට්ඨා” දුටු මිතුරෝ වූහ. මෙහි සෙස්ස පදවසයෙන් ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේය. විනිශ්චය වශයෙන් චීවර ප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම සමුත්‍ථානාදිය සමග දතයුතුය. එහි මහණ තෙමේ ප්‍රතිග්‍රාහක වේ. මෙහි මෙහෙණ තොමෝයි. මේ වෙනසයි. සෙස්ස එබඳුමය.
පස්වන චීවරදාන ශික්‍ෂාපදයයි.
චීවරසිබ්බන ශික්‍ෂාපද වර්ණනාව
ෂෂ්ට ශික්‍ෂාපදයෙහි “උදායි” ලාලුදායි තෙමේය. “පටු” ප්‍රතිබල ඇත්තේය. නිපුණය. සමර්‍ත්‍ථයයි කියන ලද්දේ වේ. “අඤ්ඤතරා භික්‍ඛුණී” ඒ ලාලුදායී තෙරුන්ගේම පුරාණභාර්‍ය්‍යා තොමෝය. “පටිභාණචිත්තං” තමාගේ වැටහීමෙන් කළ සිතියම. ලාලුදායී ස්ථවිර තෙමේ සිවුර පඬු පොවා ඒ සිවුර මැද නන් පැහැය යොදා පටන්ගත් නොනිමි මෙවුන්දම් දැක්වෙන ස්ත්‍රී පුරුෂ රූපයක් ඇන්දේය. එහෙයින් ‘මජ්ඣෙ පටිභාණචිත්තං වුට්ඨාපෙත්‍වා’යි කියන ලදී. “යථාසංහතං” හැකුළු පරිදිම.
“චීවර” යමක් හඳින්නට හෝ පොරවන්නට හැකිවේද, ඒ චීවරැයි මෙසේ මහාපච්චරී ආදියෙහි කියනලදී. “සයං සිබ්බති” මෙහි මසන්නෙමි’යි නූල් ගසන්නහුටද සිඳින්නහුටද දුක්කටය වේ. මසන මහණහුට පාචිත්තිය වේ. “ආරපථෙ ආරපථෙ” හිද්ද ඇතුල්කොට ඇතුල්කොට බැහැර කිරීමෙහි. මුළුමනින් හිද්ද බැහැර නොකරමින්. දිග් වූ ඇතුල් කරනු පිණිස සියක් වරක් නමුදු විද බැහැර කෙරේ නම් එක්ම පාචිත්තියක් වේ. “සකිං ආණත්තො” වරක් සිවුර මසවයි කියන ලද්දේ. “බහුකම්පි සිබ්බති” ඉදින් සියලු හිදිකම් අවසන්කොට සිවුර නිම කෙරේනම් එක්ම පාචිත්තියක් වේ. තවද ‘මේ සිවුරෙහි කටයුතු කිස තට භාරය’යි කියන ලද්දේ කෙරේද, ඇණ වූ මහණහුට හිද්ද ඇතුල් කොට බැහැර කිරීමෙහි එක්ම පාචිත්තියක් වේ. අණකළ මහණහට එක් වචනයෙන් බොහෝ ඇවැත්හු වෙත්. නැවත නැවැත ඇණවීමෙහි කියයුත්තෙක්ම නැත්තේය.
යම්කෙනක් ඉදින් ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යයයන් තම නෑයන්ගේ සිවුරක් මසන කල්හි ඔහුගේ නිශ්‍රිතකයෝ ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායවත හෝ කඨිනවත හෝ කරමු’යි මසත් ද, ඔවුන්ටද හිදිගමන් ගණනින් ඇවැත්වෙත්. ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයෝ තම නෑයන්ගේ සිවුරක් අතවැස්සන් ලවා මස්වත්ද, ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයන්ට දුක්කටය වේ. අතැවැස්සන්ට පාචිත්තිය වේ. ඇතැවැස්සෝ තම නෑයන්ගේ සිවුරක් ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයන් ලවා මස්වත්ද, එහිද මේ නයම වේ. අතවැසියන්ගේද ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයන්ගේද නෑමෙහෙණකගේ සිවුරක් වේද, ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයෝ අතැවැසියන් රවටා ඒ සිවුර මස්වත්ද, දෙදෙනහටම දුක්කටය වේ. කුමක් හෙයින, යත්:- අතවැසියන්ට නොනෑයන හැඟීමෙන් මැසූ බැවිනි. අන්‍යයන්හට නොකැපයෙහි යෙදූ බැවිනි. එහෙයින් ‘මේ තොපගේ මවුගේ සිවුරය. මෙය නැගනියගේ සිවුරය’යි කියා මැස්විය යුතුය.
“අඤ්ඤං පරික්‍ඛාරං” වහන් පසුම්බි ආදි යම්කිසි පිරිකරකි. සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සවන චීවරසිබ්බන ශික්‍ෂාපදයයි.
සංවිධාන ශික්‍ෂාපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි “පච්ඡාගච්ඡන්තීනං චොරා අච්ඡින්‍දිංසු” පසුව යන මෙහෙණන්ගේ පාසිවුරු සොරු පැහැර ගත්හ. “සෙස්සුං” සොරු ඒ මෙහෙණන් දූෂිත කළහ. ශීලවිනාශයට පැමිණවූහ යන අර්‍ත්‍ථයි.
“සංවිධාය” එක්ව බැණගෙණ යන කල්හි සලකුණු කොට යන අර්‍ත්‍ථයි “කුක්කුටසම්පාදෙති” මෙහි යම්හෙයකින් ගමින් නික්ම කුකුළු තෙමේ පයින්ම අන් ගමකට යේද, මෙය කුක්කුටසම්පාදයයි කියනු ලැබේ. එහි මේ වචනාර්‍ත්‍ථයයි. මෙහි යෙත්නුයි සම්පාද නමි. කවරහු යෙත්ද, යත් කුකුළෝ යෙත්. කුකුළන්ගේ යෑම කුක්කුට සම්පාදයි. නොහොත් සම්පාදො යනු ගමනයි. කුකුළන්ගේ ගමන මෙහි ඇත්තේයයිද කුක්කුටසම්පාද නම්වේ. කුක්කුටසම්පාතෙයිද පාඨයෙක් වේ. එහි යම් ගමක ගෙයි සෙවනිය පිටින් කුකුළා පැන පැන ගොස් අන් ගෙයක පලය පිට වැටේද, මෙය කුක්කුටසම්පාතයි කියනු ලැබේ. මෙහි වචනාර්‍ත්‍ථය වනාහි කියූ නයින්ම දතයුතුය. දෙපරිද්දෙකින් කියූ අයුරු ඇත්තාවූද මේ ගම ඉතා ආසන්න වේ. උපචාරයෙක් නොලැබේ. යම් ගමක උදෑසන හඬලන කුකුළාගේ හඬ අනතුරු ගමෙහි ඇසේද, එබඳු ගම් වලින් පිරුණු රටෙහි ගාමාන්තරය ගාමාන්තරය නිමිතිකොට පාචිත්තිය වේයයි අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේය. ‘ගාමාන්තරයක් ගාමාන්තරයක් පාසා ඇවැත පාචිත්තිය වන්නීය’යි කී හෙයින් ඉදිනුදු රියනක් පමණ අතර ඇති ගමෙක් වේද, මිනිසුන් විසින් තබනලද යම් උපචාරයෙක් වේද, ඒ උපචාරයට බස්නා මහණහුට ඇවැත්මය.