භික්ඛුනූපස්සය ශික්ෂාපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - ‘අඤ්ඤත්ර සමයා ඔවදති ආපත්ති පාචිත්තියස්ස, යනාදි තන්හි අෂ්ටගරුධර්මයෙන් අවවාද කරන මහණහටම පාචිත්තිය වේ. අනික් ධර්මයකින් අවවාද කරන මහණහට දුක්කටය දතයුතුය. “එකතො උපසම්පන්නාය” භික්ෂුණී සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහෙණහට භික්ෂු සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහණහට අවවාද කරන මහණහට පාචිත්තියම වේ. මෙයින් මතුද යම් යම් තැනක ‘එකතො උපසම්පන්නාය’යි කියනු ලැබේද, ඒ සියලු තැන මේ අර්ත්ථයම දත යුතුය. සෙස්ස ප්රකටමය.
කඨිනසමුත්ථානිකය. කායවාචායෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
තෙවන භික්ඛුණී උපස්සය ශික්ෂාපදයයි
එහි මේ ප්රකීර්ණකය වනාහි මහාපච්චරියෙහි කියනලදි. සම්මත නොකළ මහණෙක් තෙමේ හිරු බැස ගිය කල්හි මෙහෙණ අසපුවට එළැඹි අෂ්ටගරුධර්මයෙන් අවවාද කෙරේනම් පාචිත්තිය තුනක් වේ. අන් ධර්මයකින් අවවාද කරන මහණහට දුක්කට දෙකක් වේ. එක් පාචිත්තියක් වේ. කෙසේද යත්: අසම්මතය මුල්කොට ඇති දුක්කටය. අසපුවට ගොස් අන් ධර්මයකින් අවවාද කිරීම මුල්කොට ඇති දුක්කටය. හිරු බැස ගිය කල්හි අවවාද කිරීම මුල් කොට ඇති පාචිත්තියයි. සම්මත කළ හිරු බැසගිය කල්හි එහි ගොස් අෂ්ටගරු ධර්මයෙන් අවවාද කරන මහණහට අනාපත්ති එකක. පාචිත්තිය දෙකක. කෙසේද යත්:- සම්මතය ලද බැවින් අනාපත්ති වේ. හිරු බැස ගිය කල්හි අවවාද කිරීම මුල්කොට ඇති එකක. ගොස් අෂ්ටගරුධර්මයෙන් අවවාද කිරීම මුල්කොට ඇති එකකැයි පාචිත්තිය දෙකක. අන්ධර්මයකින් අවවාද කරන ඔහුටම අනාපත්ති එකක. දුක්කට එකක. පාචිත්තිය එකක කෙසේද, යත්:- සම්මතය ලද බැවින් අනාපත්ති වේ. ගොස් අන් ධර්මයකින් අවවාද කිරීම මුල්කොට ඇති දුක්කටය වේ. හිරු බැස ගිය කල්හි අවවාද කිරීම මුල්කොට සිටි පාචිත්තිය වේ. දාවල ගොස් අවවාද කරන සම්මතය ලද්දහුටද සම්මතය නොලද්දහුටද රාත්රියෙහි අවවාද කිරීම මුල්කොට ඇති පාචිත්තිය බැහැර කොට සෙසු ආපත්ති අනාපත්තීහු දත යුත්තාහ.
ආමිස ශික්ෂාපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි “න බහුකතා” නො කළ බුහුමන් ඇත්තාහුය. ධර්මයෙහි බුහුමන් කොට අවවාද නොකෙරෙත්, යන අදහසය. ‘භික්ඛුනොවාදකං අවණ්ණං කත්තුකාමො’ යනාදීන්ගේ අර්ත්ථය උජ්ඣාපනක ශික්ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය.
“උපසම්පන්නං සඞ්ඝෙන අසම්මතං” මෙහි අසම්මත නම් සම්මතයෙන් හෝ සඞ්ඝයා විසින් හෝ භාරකොට නොතබන ලද්දේයයි දතයුතුය. “අනුපසම්පන්නං සම්මතං වා අසම්මතං වා” යන මෙහි භික්ෂු කාලයෙහි සම්මුතිය ලැබ සාමණෙර භූමියහි සිටියේ සම්මත වේ. සම්මතයෙන් හෝ සඞ්ඝයා විසින් හෝ තබනලද බහුශ්රැත සාමණෙර තෙමේ අසම්මතයයි දතයුතුය. සෙස්ස කියූනය ඇති බැවින් ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශල චිත්තයි. ත්රිවෙදනයි.
චීවරදාන ශික්ෂාපද වර්ණනාව
පඤ්ච ශික්ෂාපදයෙහි - “විසිඛාය’ වීථියෙහි. “පිණ්ඩාය චරති” නිබඳ හැසිරීම් වසයෙන් නිතර හැසිරේ. “සන්දිට්ඨා” දුටු මිතුරෝ වූහ. මෙහි සෙස්ස පදවසයෙන් ප්රකට අර්ත්ථ ඇත්තේය. විනිශ්චය වශයෙන් චීවර ප්රතිග්රහණ ශික්ෂාපදයෙහි කියූ නයින්ම සමුත්ථානාදිය සමග දතයුතුය. එහි මහණ තෙමේ ප්රතිග්රාහක වේ. මෙහි මෙහෙණ තොමෝයි. මේ වෙනසයි. සෙස්ස එබඳුමය.
පස්වන චීවරදාන ශික්ෂාපදයයි.
චීවරසිබ්බන ශික්ෂාපද වර්ණනාව
ෂෂ්ට ශික්ෂාපදයෙහි “උදායි” ලාලුදායි තෙමේය. “පටු” ප්රතිබල ඇත්තේය. නිපුණය. සමර්ත්ථයයි කියන ලද්දේ වේ. “අඤ්ඤතරා භික්ඛුණී” ඒ ලාලුදායී තෙරුන්ගේම පුරාණභාර්ය්යා තොමෝය. “පටිභාණචිත්තං” තමාගේ වැටහීමෙන් කළ සිතියම. ලාලුදායී ස්ථවිර තෙමේ සිවුර පඬු පොවා ඒ සිවුර මැද නන් පැහැය යොදා පටන්ගත් නොනිමි මෙවුන්දම් දැක්වෙන ස්ත්රී පුරුෂ රූපයක් ඇන්දේය. එහෙයින් ‘මජ්ඣෙ පටිභාණචිත්තං වුට්ඨාපෙත්වා’යි කියන ලදී. “යථාසංහතං” හැකුළු පරිදිම.
“චීවර” යමක් හඳින්නට හෝ පොරවන්නට හැකිවේද, ඒ චීවරැයි මෙසේ මහාපච්චරී ආදියෙහි කියනලදී. “සයං සිබ්බති” මෙහි මසන්නෙමි’යි නූල් ගසන්නහුටද සිඳින්නහුටද දුක්කටය වේ. මසන මහණහුට පාචිත්තිය වේ. “ආරපථෙ ආරපථෙ” හිද්ද ඇතුල්කොට ඇතුල්කොට බැහැර කිරීමෙහි. මුළුමනින් හිද්ද බැහැර නොකරමින්. දිග් වූ ඇතුල් කරනු පිණිස සියක් වරක් නමුදු විද බැහැර කෙරේ නම් එක්ම පාචිත්තියක් වේ. “සකිං ආණත්තො” වරක් සිවුර මසවයි කියන ලද්දේ. “බහුකම්පි සිබ්බති” ඉදින් සියලු හිදිකම් අවසන්කොට සිවුර නිම කෙරේනම් එක්ම පාචිත්තියක් වේ. තවද ‘මේ සිවුරෙහි කටයුතු කිස තට භාරය’යි කියන ලද්දේ කෙරේද, ඇණ වූ මහණහුට හිද්ද ඇතුල් කොට බැහැර කිරීමෙහි එක්ම පාචිත්තියක් වේ. අණකළ මහණහට එක් වචනයෙන් බොහෝ ඇවැත්හු වෙත්. නැවත නැවැත ඇණවීමෙහි කියයුත්තෙක්ම නැත්තේය.