රහෝනිසජ්ජ ශික්‍ෂාපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි සියලු පාල්‍යර්‍ත්‍ථයද, විනිශ්චයද, දෙවන අනියතයෙහි කියූ නයින්ම දතයුතුය. මේ ශික්‍ෂාපදය දෙවන අනියතය හාද, මත්තෙහි අචෙලක වර්‍ගයෙහි පස්වන උපනන්‍ද ඇරැඹැ පැණවූ සිකපද අතුරෙහි සිවුවන සිකපදය සමග එක් පිරිසිඳීමෙක් ඇත්තේය. අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් වෙන්ව පනවන ලදී.
දහවන රහොනිසජ්ජ ශික්‍ෂාපදයයි
වර්‍ණනාක්‍රමයෙන් තෘතීය භික්‍ෂුණී වර්‍ගය නිමියේය.
භෝජන වර්‍ගය
ආවසථපිණ්ඩ ශික්‍ෂාපද වර්ණනාව
භොජන වර්‍ගයෙහි ප්‍රථම ශික්‍ෂාපදයෙහි “ආවසථපිණ්ඩො” ආවාසයෙහි පිණ්ඩය. හාත්පසින් වටකරනලද මගි ගිලන් ගැබිනි පැවිදි යන මොවුන්ට සුදුසු පරිදි පැනවූ ඇදපුටු ඇති නොයෙක් ගැබ්ද ප්‍රධාන පිරිසිදීම් ඇති ආවාසයක් කොට එහි පින් කැමැති බැවින් පඤ්චභොජනාදි පිණ්ඩය පනවන ලද්දේ වේ. කැඳ බත් බෙහෙත් ආදී සියල්ල උන් උන්ට දෙන පිණිස තබන ලද්දේය යන අර්‍ත්‍ථයි. “භීයොපි” හෙටද “අපසක්කන්ති” පහවයෙත්. “මනුස්සා උජ්ඣායන්ති” තීර්ථකයන් නොදක්නාහු. ‘තීර්ථකයෝ කොතැන ගියාහුදැ’යි විචාරා මොවුන් දැක ගියාහුයයි අසා අවමන් කෙරෙත්. “කුක්කුච්චායන්තො” කුකුස් කරමින් අකප්පිය සංඥාව උපදවමින් යන අර්‍ත්‍ථයි.
“සක්කොති තම්හා ආවාසා පක්කමිතුං” අඩයොදුනක් හෝ යොදුනක් හෝ යන්නට හැකෙක්ය. “න සක්කොති” මෙපමණක්ම නොහැක්කේ වේ. “අනොදිස්ස” මේ පාසාණ්ඩයන්ට හෝ මේ පාසාණ්ඩයන් අතුරෙහි මෙපමණ දෙනකුන්ට මැයි හෝ එක් පාසාණ්ඩයකු නොඋදෙසා සියල්ලන්ට පනවන ලද්දේ වේ. “යාවදත්‍ථො” බොජුන්ද මෙපමණමයයි නොපිරිසිඳ සෑහෙන පමණ වන වන ලද්දේය. “සකිං භුඤ්ජිතබ්බං” එක් දවසක් එක්වරක්ම අනුභව කටයුතුය. දෙවන දින පටන් පිළිගැනීම නිමිතිකොට දුක්කටය වේ. පිඩක් පිඩක් පාසා පාචිත්තිය වේ.
මේ වනාහි මෙහි විනිශ්චය වේ:- එක් කුලයක් විසින් හෝ නොයෙක් කුලයන් විසින් හෝ එක්ව එක් තැනක හෝ නොයෙක් තැන්හි හෝ. අද එක් තැනෙක්හිය, හෙට එක් තැනෙක්හිය’යි මෙසේ නියම නොකළ තැන්හි පනවන ලද්ද, එක් තැනක එක් දවසක් අනුභව කොට දෙවන දවසෙහි එතැන හෝ අන්තැනක හෝ අනුභව කිරීම නොවටියි. නානාකුලයන් විසින් නානාස්ථානයන්හි පනවන ලද්ද, එක් තැනක එක් දවසක් අනුභව කොට දෙවන දවසෙහි අන් තැනක අනුභව කිරීම වටියි. පිළිවෙළ ගෙවා නැවැත මුල පටන් අනුභව කිරීම නොවටීයයි මහාපච්චරියෙහි කියන ලදී. එක් සමූහය නොයෙක් සමූහය එක් ගමය නොයෙක් ගම්ය යන මෙතැන්හි ද මෙම නයවේ. යම් ආවසථපිණ්ඩයෙක් එක් කාලයක් විසින් හෝ නොයෙක් කුලයන් විසින් හෝ එකට පනවන ලද්දේ ද සහල් නොලැබීමෙන් අතරතුර සිඳියේද, ඒ ආවසථපිණ්ඩයද අනුභව නොකට යුතුය. ඉදින් ‘දෙන්නට නොහැක්කෙමු’යි සිඳදමා නැවැත කුසල් සිත උපන් කල්හි දෙන්නට පටන් ගණිත්ද මේ ආවසථපිණ්ඩය නැවැත එක් දවසක් අනුභව කිරීම වටීයයි මහාපච්චරියෙහි කියන ලද්දේය.