ද්වෙනිස්සාරණාදිකථා
“ද්වෙමා භික්‍ඛවෙ නිස්සාරණා” යනාදිය වස්තු වශයෙන් කර්‍මයන්ගේ කොප්‍යාකොප්‍යභාවය දක්වනු පිණිස වදාරන ලදී. එහි “අප්පත්තො නිස්සාරණං, තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති, සුනිස්සාරිතො” යන මෙය පබ්බාජනීය කර්‍මය සඳහා වදාරනලදී. පබ්බාජනීය කර්‍මයෙන් වනාහි විහාරයෙන් පහ කෙරෙත්. එහෙයින් ඒ පබ්බාජනීය කර්‍මය නිස්සාරණයි කියනු ලැබේ. මෙතෙමේ යම්හෙයකින් කුලදූසක නොවේද, එහෙයින් පබ්බාජනීය කර්‍මයට නිමිත්තභාවයෙන් පෙළෙහි වදාළ බැවින් අසාධාරණ වූ කුලදූසක භාවලක්‍ෂණයෙන් ඒ පබ්බාජනීය කර්‍මයට නොපැමිණියේය. යම්හෙයකින් සඞ්ඝතෙමේ කැමැති වන්නේනම් මොහුට පබ්බාජනීයකර්‍මය කරන්නේය යන අර්‍ත්‍ථයි. එහෙයින් නිවැරදි ලෙසින් නෙරපන ලද්දේ වේ. “තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති” ඉදින් සඞ්ඝතෙමේ තර්‍ජනය කර්‍මාදීන්ගේ වසයෙන් නෙරපාද හෙතෙමේ යම්හෙයකින් තර්‍ජනීයාදී වූ ඒ කර්‍ම විෂයෙහි ‘මහණෙනි” සඞ්ඝතෙමේ කැමති වන්නේනම් භික්‍ෂූන් තෙනමකට තර්‍ජණීය කර්‍මය කරන්නේය. එකෙක් ඩබර කරන්නේය. කලහකරන්නේය. විරුද්ධවාද කරන්නේය. කලහ උපදවන කතාකරන්නේය. සඞ්ඝයා විෂයෙහි පැමිණිලි කරන්නේය. එකෙක් අඥවේ. අව්‍යක්ත වේ. ඇවැත් බහුලකොට ඇත්තේය. ඉමක් නැති ඇවැත් ඇත්තේය. එකෙක් ගිහින් හා හැනී සිටියේය. අනුලොම් නොවූ ගිහිසසගින් යුක්තව වසන්නේය යන මෙසේ මොවුනට එක් එක් අඞ්ගයකිනුදු නෙරපීම අනුදන්නා ලදද, එහෙයින් නිවැරදි ලෙසින් නෙරපන ලද්දේය.
“ඔසාරණා” ඇතුළත් කරගැනීම “තත්‍ථ සචෙ සඞ්ඝො ඔසාරෙති” උපසම්පදා කර්‍ම වශයෙන් ඇතුළත් කරයි. “දොසාරිතො” වැරදි ලෙසින් ඇතුළත් කරන ලද්දේ වේ. දහස්වරක් උපසපන් කරන ලද්දේ ද, අනුපසම්පන්නම වේ. ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයෝද දොස් සහිතයෝ වෙත්. සෙසු කාරක සඞ්ඝතෙමේද එසේ දොස් සහිත වේ. කිසිවෙක් ඇවතින් නොමිදේ. මෙසේ මොවුන් අතුරෙහි මේ එකොළොස් අභව්‍ය පුද්ගලයෝ වැරදි ලෙස ඇතුළත් කරන ලද්දාහුය. හත්‍ථච්ජින්නාදීවූ දෙතිස් දෙන නිවැරදි ලෙස ඇතුළත් කරන ලද්දාහුය. උපසපන් කරන ලද්දාහු උපසපන් කරන ලද්දාහුම වෙත්. ඔවුන්ට කිසිවක් කියන්නට නොලැබේ. ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයෝද, කාරකසඞ්ඝතෙමේද දොස් සහිතයෝය. කිසිවෙක් ඇවතින් නොමිදේ.
“ඉධ පන භික්‍ඛවෙ භික්‍ඛුස්ස න හොති ආපත්ති දට්ඨබ්බා” යනාදිය අවිද්‍යමාන වස්තු වශයෙන් අර්‍ධමකර්‍මයද විද්‍යාමාන වස්තු වශයෙන් ධර්‍මකර්‍මයද දක්වනු පිණිස වදාරන ලදී. එහි “පටිනිස්සජෙතා” දුරුකටයුතුය.
උපාලිපුච්ඡාකථා
උපාලි ප්‍රශ්නයන්හිද වස්තු වශයෙන්ම ධර්‍මාධර්‍මකර්‍මය බෙදන ලදී. එහි එකමූලකද ද්විමූලකදැයි නය දෙකක් වේ. එක මූලකය ප්‍රකටමය. ද්විමූලකයෙහි සතිවිනය-අමූළ්හවිනය සමග යම්සේ එක් පුච්ඡාවක් කරන ලදද, මෙසේ අමූළ්හවිනයාදීහුද කස්සපාපිය්‍යසිකාදීන් සමග එක් ප්‍රච්ඡාවක් කරනලදී. අවසානයෙහි වනාහි “උපසම්පදාරහං උපසම්පාදෙති”යි එක්ම පදයෙක් වේ. පසුභාගයෙහි භික්‍ෂූන්ටද සතිවිනය ආදිකොට එක එක සමග සෙසු පදයෝ යොදන ලදහ.
තජ්ජනීයකම්මකථා
“ඉධ පන භික්‍ඛවෙ භික්‍ඛු භණ්ඩනකාරකො” යනාදිය ‘අධර්‍මයෙන් ව්‍යාග්‍රකර්‍මය, අධර්‍මයෙන් සමග්‍ර කර්‍මය, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයන් සමග්‍රකර්‍මයයි මොවුන්ගේ වසයෙන් චක්‍රය බැඳ, තර්‍ජනය සප්තවිධ කර්‍මයන්ගේ සංසිඳුම්හි විපත්ති දැක්වීම පිණිස වදාරන ලදී. එහි “අනපදානො” අපදාන විරහිතය. පිරිසිඳීම අපදානැයි කියනු ලැබේ. ආපත්තීන්ගේ පිරිසිඳීමෙන් තොරවූයේය යන අර්‍ත්‍ථයි. ඉන් ඔබ්බෙහි අන්‍යයන් විසින් වළකත්දී කරණලද කර්‍මයාගේ ප්‍රභෙද දක්වනු පිණිස ඒ පාළිවිස්සකයෙහි “අකතං කම්මං” යනාදීන් හා සසඳා වදාරනලදී. එහි පාළිඅනුසාරයෙන් කිසිවක් දැනගන්නට නොහැක්කේ නොවේ. එහෙයින් වර්‍ණනාව විස්තර නොකෙළෙමු.
චම්පෙයයක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.
කොසම්බකක්‍ඛන්‍ධ වර්‍ණනාව
කොසම්බකවිවාදකථා
කොසම්බකක්‍ඛන්‍ධකයෙහි - “තං භික්‍ඛුං ආපත්තියා අදස්සනෙ උක්‍ඛිපිංසු” යන මෙහි පිළිවෙළ කතාය. විනයධරය, සූත්‍රාන්තිකදැයි භික්‍ෂූහු දෙනමක් එක් ආවාසයෙක වසත්. ඒ දෙනම අතුරෙහි සූත්‍රාන්තික භික්‍ෂුතෙමේ එක් දවසක් වැසිකිළියට පිවිසියේ, මලසෝදා ඉතිරි වූ සෙසු ජලය බඳුනෙහි තබාම වැසිකිළියෙන් නික්මුනේය. විනයධර තෙමේ වැසිකිළියට පසුව පිවිසියේ, ඒ ජලය දැක නික්ම අවුත් ‘ඇවැත’ තා විසින් මේ ජලය තබන ලදදැ’යි ඒ මහණහු අතින් විචාළේය. ‘ඇවැත’ එසේය’යි කීය. තෝ මෙහි ඇවැත්බව නොදනිහිදැ’යි ඇසීය. ‘එසේය නොදනිමි’යි කීය. ඇවැත ‘මෙහි ඇවැත්වේ’යි කීය. ඇවැත්වේනම් දෙසන්නෙමි’යි කීය. ඇවැත ඉදින් තා විසින් නොසිතා නොසිහියෙන් කරන ලද්දේ නම්, ඇවැත් නැත්තේය’යි කීය. ඒ සූත්‍රාන්තික තෙමේ ඒ ඇවැතෙහි ඇවැත් නැතැයි යන දෘෂ්ටි ඇත්තේවීය.