චම්පෙයයක්ඛන්ධක වර්ණනාව
කස්සපගොත්තභික්ඛුවත්ථුකථා
චම්පෙය්යක්ඛන්ධකයෙහි - “ගග්ගරාය පොක්ඛරණියා තීරෙ” ගග්ගරා නම්වූ රාජ ස්ත්රිය විසින් කරවන ලද පොකුණු තෙර. “තන්තිබද්ධො” ඒ ආවාසයෙහි කටයුතු ව්යාපාරයෙහි උත්සාහයට පැමිණියේය. “උස්සුක්කම්පි අකාසි යාගුයා” යනාදිතන්හි මිනිසුන් විසින් ආගන්තුකයන් ආකල්හි කියවු’යි කියූ තන්හිම උත්සාහ කිරීම වටියි. නොකියූ තන්හි නොවටියි. “ගච්ඡත්වං භික්ඛු” ශාස්තෘන් වහන්සේ ඒ මහණහුට එහිම සෙනසුන, සත්ප්රායයි දුටුසේක. එහෙයින්ම ‘මහණ ඔබ යව’යි වදාළ සේක.
“අධම්මෙන වග්ගකම්මං කරොන්ති” යනාදීන්ගේ වෙනස ඉදිරියෙහි පෙළෙහිම එන්නේය.
“අඤ්ඤත්රාපි ධම්මකම්මං කරොන්ති” අඤ්ඤත්රාපි ධම්මං කරොන්ති’යි මේ පාඨයම හෝ වේවා, විද්යමාන වස්තුවෙන් කරණ ලද්දේ ධර්මයෙන් කරණ ලද්දේ නම්වේ. චම්පානුවරවැසි භික්ෂූහු එසේ නොකෙරෙත්ය යන අර්ත්ථයි. “අඤ්ඤත්රාපි විනයා කම්මං, අඤ්ඤත්රාපි සත්ථුසාසනා කම්මං” මොවුන් කෙරෙහිද මේනය වේ. මෙහි වනාහි “විනයො” විනය යනු චෝදනා කිරීම හා ඇවැත සිහිකරවීමද වේ. “සත්ථුසාසනං” ශාස්තෘශාසන යන ඤත්ති සම්පත්තිය හා අනුශ්රාවණ සම්පත්තියද වේ. එකල චම්පා නුවර වැඩි භික්ෂූහු එදෙකින් වෙන්ව කර්ම කෙරෙත්ය යන අර්ත්ථයි. “පතිකුට්ඨකටං” ප්රතික්රොශ කරන ලද්දද, කරන ලද්දද යනමේය. අන්යයන් ප්රතික්රොශය කරන කල්හි යම් කර්මයක් කරන ලද්දේද එය ප්රතික්රොශ කරන ලද්දේ ද, කරන ලද්දේ ද වේ. එබඳු කර්ම කෙරෙත්ය යන අර්ත්ථයි.
“ඡ ඉමානි භික්ඛවෙ කම්මානි අධම්මකම්මං” යනාදිතන්හි ධම්ම යනු පෙළට නමකි. එහෙයින් ඒ කර්මය පෙළෙහි කියනලද පරිදි නොකරනු ලැබේ. එය අධර්මකර්මැයි දතයුතුය. මේ මෙහි සඞ්ක්ෂෙපයයි. විස්තරය වනාහි පෙළෙහිම ආයේය. භෙද ඤත්තිදුතිය ඤත්තිචතුත්ථ කර්මයන්ගේම වසයෙන් දතයුතුය. යම් හෙයකින් ඤත්තිකර්මයෙහි, ඤත්තිදුතිය ඤත්තිචතුත්ථ කර්මයන්හි මෙන් එක්ම ඤත්තියෙන් කටයුතු බැවින් එයින් පිරිහීමෙක් හෝ අන් අයුරකින් කිරීමක් හෝ නැත්තේය. අපලොපනකර්මයද සිහිකරවාම කරනු ලැබේ. එහෙයින් ඒ කර්ම පෙළෙහි නොදක්වන ලදී. ඒ සියලුම කර්මයන්ගේ විනිශ්චය ඉදිරියෙහි වර්ණනා කරන්නෙමු.
චතුවග්ගකරණාදිකථා
දැන් යම්මේ සවැනි වූ ධර්මයෙන් සමගි කර්මයෙක් නම්වේද, ඒ කර්මය යම් කෙනකුන් විසින් කටයුතුද, ඔවුන්ගේ ප්රභෙදය දක්වනු පිණිස “පඤ්චසඞ්ඝා” යනාදිය වදාරනලදී. “කම්මපත්තො” කර්මයට පැමිණියේය. කර්මයෙහි යෙදුනේය. කර්මයට සුදුසුවූයේය. කිසිදු කර්මයක් කරන්නට නොසුදුසුවූයේ නොවේ යන අර්ත්ථයි.
“චතුවග්ගකරණඤෙච භික්ඛවෙ කම්මං භික්ඛුණී චතුත්ථො” යනාදිය පිරිස වසයෙන් කර්මවිපත්තිය දක්වනු පිණිස වදාරන ලදී. එහි උක්ඛිත්තක ග්රහණයෙන් කර්මනානාසංවාසක තෙමේ ගන්නා ලද්දේය. නානාසංවාසක ග්රහණයෙන් ලබ්ධිනානාසංවාසක තෙමේ ගන්නා ලද්දේය. “නානාසීමාය ඨිතචතුත්ථො” සීමාන්තරිකාවෙහි හෝ සීමාවෙන් පිටත හෝ අත්පස සිටියකුද සමග චතුවර්ගව යන අර්ත්ථයි.
“පරිවාසිකචතුත්ථො” යනාදිය පරිවාසාදි කර්මයන්ගේම පිරිස වසයෙන් විපත්ති දැක්වීම පිණිස වදාරනලදී. ඔවුන්ගේ විනිශ්චය ඉදිරියෙහි වර්ණනා කරන්නෙමු.
“එකච්චස්ස භික්ඛවෙ සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා රූහති” යනාදිය ප්රතික්රොශය කරද්දී කරන කර්මයාගේ කොප්යාකොප්යභාවය දක්වනු පිණිස වදාරන ලදී. “පකතත්තස්ස” විපතට නොපැමිණි සිල් ඇත්තහුට. පාරාජිකාධර්මයට නොපැමිණියහුට. “අනන්තරිකස්ස” තමන්ට අනතුරුව හුන්නහුට
ද්වෙනිස්සාරණාදිකථා
“ද්වෙමා භික්ඛවෙ නිස්සාරණා” යනාදිය වස්තු වශයෙන් කර්මයන්ගේ කොප්යාකොප්යභාවය දක්වනු පිණිස වදාරන ලදී. එහි “අප්පත්තො නිස්සාරණං, තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති, සුනිස්සාරිතො” යන මෙය පබ්බාජනීය කර්මය සඳහා වදාරනලදී. පබ්බාජනීය කර්මයෙන් වනාහි විහාරයෙන් පහ කෙරෙත්. එහෙයින් ඒ පබ්බාජනීය කර්මය නිස්සාරණයි කියනු ලැබේ. මෙතෙමේ යම්හෙයකින් කුලදූසක නොවේද, එහෙයින් පබ්බාජනීය කර්මයට නිමිත්තභාවයෙන් පෙළෙහි වදාළ බැවින් අසාධාරණ වූ කුලදූසක භාවලක්ෂණයෙන් ඒ පබ්බාජනීය කර්මයට නොපැමිණියේය. යම්හෙයකින් සඞ්ඝතෙමේ කැමැති වන්නේනම් මොහුට පබ්බාජනීයකර්මය කරන්නේය යන අර්ත්ථයි. එහෙයින් නිවැරදි ලෙසින් නෙරපන ලද්දේ වේ. “තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති” ඉදින් සඞ්ඝතෙමේ තර්ජනය කර්මාදීන්ගේ වසයෙන් නෙරපාද හෙතෙමේ යම්හෙයකින් තර්ජනීයාදී වූ ඒ කර්ම විෂයෙහි ‘මහණෙනි” සඞ්ඝතෙමේ කැමති වන්නේනම් භික්ෂූන් තෙනමකට තර්ජණීය කර්මය කරන්නේය. එකෙක් ඩබර කරන්නේය. කලහකරන්නේය. විරුද්ධවාද කරන්නේය. කලහ උපදවන කතාකරන්නේය. සඞ්ඝයා විෂයෙහි පැමිණිලි කරන්නේය. එකෙක් අඥවේ. අව්යක්ත වේ. ඇවැත් බහුලකොට ඇත්තේය. ඉමක් නැති ඇවැත් ඇත්තේය. එකෙක් ගිහින් හා හැනී සිටියේය. අනුලොම් නොවූ ගිහිසසගින් යුක්තව වසන්නේය යන මෙසේ මොවුනට එක් එක් අඞ්ගයකිනුදු නෙරපීම අනුදන්නා ලදද, එහෙයින් නිවැරදි ලෙසින් නෙරපන ලද්දේය.