භණ්ඩාගාරසම්මුතිආදිකථා
“විහාරං වා” යනාදිතන්හි අරම මැද සියල්ලන් රැස්වන තැන අරම්වැසි හෙරණ ආදීන්ගෙන් විවෙකයට නොපැමිණි යම් විහාරයක් හෝ ගුරුළුපියාපත් ලෙසින් කළ වහල ඇති ගෙයක් හෝ වේද, ඒ විහාරය හෝ ගෙය සම්මත කටයුතුය. වෙහෙර පසෙක වූ සෙනසුනක් සම්මත නොකටයුතුය. මේ භාණ්ඩාගාරය වනාහි ඛණ්ඩ සීමාවකට ගොස් ඛණ්ඩ සීමාවෙහි හුන්නවුන් විසින් සම්මත කිරීම නොවටියි. සියල්ලන්ට දැනගනු පිණිස වෙහෙර මැදම සම්මත කටයුතුය.
“ගුත්තාගුත්තංච ජානෙය්ය” මෙහි යම් ගෙයක සෙවෙනි ආදීන් අතුරෙහි කිසිදොසෙක් නැත්තේද, ඒ ගෙය ගුත්ත නම. යම්ගෙයක සෙවෙනිතණ හෝ සෙවෙනි උළු හෝ යම්කිසි තැනක වැටුනාහුද, යම් කිසි තැනකින් තෙමෙන්නේ හෝ වේද, මී ආදීන්ගේ හෝ ඇතුල්වීමක්වේද, බිත්ති ආදියෙහි හෝ කිසිතැනක සිදුරක් වේද, වේයෝ හෝ නගිත්ද, ඒ සියල්ල අගුත්ත නම. ඒ සලකා සුන්බුන් තැන් පිළිසකර කටයුතුය. සීතකාලයෙහි දොරද, වාකවුළුද මනාකොට වැසිය යුතුය. සීතය කරණකොට සිවුරු තැන තැන කලුවන් වෙත්. උෂ්ණකාලයෙහි අතරතුර හුළං වදිනු පිණිස දොරජනෙල් ඇර තැබිය යුතුය. මෙසේ කරන්නේ රකින නොරකින ලද්ද දනී නම.
මේ තෙවැදෑරුම්වූ චීවර ප්රතිග්රාහකාදීන් විසින් තමන්ගේ වත දතයුතුය. එහි සිවුරු පිළිගන්නහු විසින් ඒතාක් මනුෂ්‍යයෝ කාලචීවරැයි කියා හෝ අකාල චීවරැයි කියා හෝ පැරණිවූ චීවරැයි කියා හෝ වැසිසළු සිවුරුයි කියා හෝ නිසීදනැයි කියා හෝ පසතුරණැයි කියා හෝ මුවපිස්නා රෙදිකඩැයි කියා හෝ දෙත්ද, ඒ සියල්ල එකට රැස්කොට මිශ්‍රකොට නොගතයුතුය. වෙන්වන්කොට ගෙන සිවුරු තැත්පත්කොට තබන්නහුට එසේම කියා දිය යුත්තේය. භාණ්ඩාගාරිකයාහට දෙන්නා වූ සිවුරු තැන්පත්කර තබන්නහු විසින්ද ‘මේ කාලචීවරය -පෙ- මේ මුවපිස්නා රෙදිකඩයයි කියාම දියයුතුය. භාණ්ඩාගාරිකයා විසින්ද එසේම වෙන්වෙන්ව සලකුණුකොට තැබිය යුතුය. එයින් සඞ්යා විසින් ‘කාලචීවරය ගෙණෙව’යි කියූ කල්හි කාලචීවරයම දියයුතුය. -පෙ- මුවපිස්නා රෙදිකඩ ගෙනෙව’යි කියූකල්හි ඒම දියයුතුය.
මේ අයුරෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් සිවුරු පිළිගන්නෙක් අනුදන්නා ලද්දේය. සිවුරු තැන්පත්කොට තබන්නෙක් අනුදන්නා ලද්දේය. භාණ්ඩාගාරයක් අනුදන්නා ලද්දේය. බාහුලිකත්වයෙන් නොවේ. අසන්තුෂ්ඨියෙන් නොවේ. වැලිදු සඞ්ඝයාට අනුග්‍රහ පිණිස වේ. ඉදින් ගෙනනොගෙන වස්ත්රගෙන භික්ෂූහු බෙදන්නාහු නම් ගෙනඑනලද්ද නොදන්නාහු නම්. නොගෙණෙනලද්ද නොදන්නාහු නම්, දෙනලද්ද නොදන්නාහු නම්, ලබනලද්ද නොදන්නාහු නම්. නොලබනලද්ද නොදන්නාහු නම් ගෙන ආ ගෙන ආ සිවුරු ථෙරාසනයෙහි දෙන්නාහු නම්, කඩකඩ කොට හෝ සිඳ ගන්නාහු නම් මෙසේ ඇති කල්හි අයුත්තපරිභොගයද වේ. සියල්ලන්ට සඞ්ග්‍රහ කරන ලද්දේ නොවේ. භාණ්ඩාගාරයෙහි සිවුර තබා සිවුරු බොහෝවූකල්හි එක් එක් මහණක්හට තුන්සිවුරු හෝ දෙක දෙක හෝ එක එක හෝ සිවුරු දෙන්නාහුය. ලදනොලද සිවුරු දැන ගන්නාහුය. නොලද බව දැන සඞ්ග්‍රහ කරන්නට සිතන්නාහ.
“න භික්ඛවෙ භණ්ඩාගාරිකො වුට්ඨාපෙතබ්බො” මෙහි නොනැගිටවියයුතු අන්‍යයෝද දතයුත්තාහුමය. වෘද්ධතරය, භාණ්ඩාගාරිකය, ගිලානය, සඞ්ඝයා වෙතින් ලත් සෙනසුන් ඇත්තේය යන සිවුදෙන නොනැගිටවිය යුතුය. එහි වෘද්ධතරතෙමේ තමන් වැඩිමහලු බැවින් ඉතා නවකයෙකු විසින් නොනැගිටවිය යුතුය. සඞ්ඝයා විසින් සම්මත කොට භාණ්ඩාගාරය දුන් බැවින භාණ්ඩාගාරික තෙමේ නොනැගිටවිය යුතුය. ගිලාන තෙමේ තමන්ගේ ගිලන්බැවින් නොනැගිටවිය යුතුය. සඞ්ඝතෙමේ වනාහි බහුශ්‍රැත වූ උද්දෙස පරිපුච්ඡාදියෙන් බොහෝ උපකාර ඇත්තා වූ බර උසුලන මහණහුට පහසු ආවාසයක් නොනැගිටවිය යුතකොට දේද, එහෙයින් හෙතෙමේ උපකාර ඇති බැවින්ද, සඞ්ඝයාගෙන් ලද බැවින්ද, නොනැගිටවිය යුතුය.