සමත්තිංසවිරෙචනකථා
“සිනෙහෙථ” කිම, භාග්‍යවතුන් වහන්සේගේ කය රළුවේද, රළුනොවේද, යත්: භාග්‍යවතුන් වහන්සේගේ ආහාරයෙහි හැමකල්හි දෙවතාවෝ දිව්‍යඔජස් බහාලත්. තෙල්බීම හැමතන්හි දොස් සංසිඳුවයි. නහර මොළොක් කරයි. එහෙයින් මෙතෙමේ මෙසේ කීය. “තීණ උප්පලහත්‍ථානි” එකක් මහත්දොස් හරිනු පිණිසය. එකක් මද්ධ්‍යම දොස් හරිනු පිණිසයි. එකක් සියුම්දොස් හරිනු පිණිසය. “න චිරස්සෙව පකතත්තො අහොසි” සිරුර දොස සංසිඳී පියවි බවට පැමිණි කල්හි නුවරවැස්සෝ දන් සැපයූහ. ජීවකතෙමේ අවුත් භාග්‍යවතුන් වහන්සේට ‘භාග්‍යවතුන් වහන්ස’ අද නුවර වැස්සෝ ඔබ වහන්සේට දන්දෙනු කැමැත්තාහ. ගම තුළට පිඬුපිණිස නොවඩිනු මැනවැ’යි මෙය කීයේය. මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ, ‘අද කොතැනින් භාග්‍යවතුන් වහන්සේට පළමුකොට පිණ්ඩපාතය ලැබීම වටීදැ’යි සිතූහ. අනතුරුව සොණ සිටුපුත්තෙමේ කෙත පිරියම් කිරීමෙහි පටන් අන්‍යයන් හා අසාධාරණවූ කිරිපැන් ඉසීමෙන් වැඩුනු සුවඳ හැල් සාලේ බත් අනුභව කරන්නේය. එයින් භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතය ගෙන එන්නෙමි’යි සිතූහ. එසේ සිතා සෘද්ධියෙන් ගොස් ඔහුගේ ප්‍රාසාදතලයෙහි තමන් දැක්වූහ. හෙතෙමේ තෙරුන්ගේ පාත්‍රය ගෙන ප්‍රණීත පිණ්ඩපාතය දුන්නේය. තෙරුන් යන අයුරු දැක ‘ස්වාමිනි’ වලඳනු මැනව’යි කීයේය. ස්ථවිරයන් වහන්සේ ඒ කරුණ සැළකළහ. ‘ස්වාමීනි’ වලඳනු මැනව, මම අනික් බතක් භාග්‍යවතුන් වහන්සේට දෙන්නෙමි’යි තෙරුන් වලඳවා, සුවඳ පැනින් පාත්‍රය උළා, සෝදා පිණ්ඩපාතයෙන් පුරවා දුන්නේය. ස්ථවිරයන් වහන්සේ එය ගෙනගොස් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්නූහ.
බිම්සර රජතෙමේද, ‘අද භාග්‍යවතුන් වහන්සේ කුමක් වලඳන සේක්දැ’යි විහාරයට අවුත් වෙහෙරට ඇතුල්වනුයේම පිණ්ඩපාතයෙහි සුගන්‍ධය ආඝ්‍රාණයකොට අනුභව කරනු කැමැති වූයේය. භාග්‍යවතුන් වහන්සේට සුජාතා තොමෝ යම් පිණ්ඩපාතයක් දුන්නීද, පිරිනිවන්පාන කාලයෙහි චුන්‍දකර්‍මාරපුත්‍ර තෙමේ යම් පිණ්ඩපාතයක් දුන්නේද, බඳුන් ගතවූ ඒ පිණ්ඩපාත දෙක්හිම දෙවතාවෝ දිව්‍ය ඕජස් බහාලූහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ආශාව දැන නොබැනූ දිව්‍යඕජස් ඇත්තාවූම පිණ්ඩපාතය ටිකක් රජුට දෙවූ සේක. රජතෙමේ එය අනුභවකොට ‘කිම, ‘ස්වාමීනි’ උතුරුකුරු දිවයිනෙන් ගෙන එන ලද බොජුනෙක්දැ’යි විචාළේය. ‘මහරජ’ උතුරුකුරු දිවයිනෙන් ගෙන එන ලද්දෙක් නොවේ. තවද මේ භොජනය තොපගේම රටවැසි ගෘහපති පුත්‍රයකුගේය’යි වදාරා සොණගේ සම්පත්තිය වදාළ සේක. ඒ අසා රජතෙමේ සොණ දකිනු කැමැත්තේ චම්මක්‍ඛන්‍ධකයෙහි කියූ ලෙසින් අසූදහසක් කුලපුත්‍රයන් සමග සොණගේ පැමිණීම කෙළේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මදේශනාව අසා සෝවාන් වූහ. සොණ තෙමේ පැවිදිව රහත්බවෙහි පිහිටියේය. භාග්‍යවතුන් වහන්සේද මේ අර්‍ත්‍ථය සඳහාම රජහට පිණ්ඩපාතය දෙවූ සේක.
වරයාචනකථා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ කළ බත්කිස ඇති කල්හි අනතුරුව කුමරහු විසින් පෝෂණය කළ ජීවකතෙමේ ඒ සීවෙය්‍යක වස්ත්‍රයුග්මය ගෙන -පෙ- මේ වචනය කීයේය. “අතික්කන්තවරා” මෙහි විනිශ්චය මහාක්‍ඛන්‍ධයෙහි කියූනයින්ම දතයුතුය. “භගවා භන්තෙ පංසුකූලිකො භික්‍ඛුසඞ්ඝොච” භාග්‍යවතුන් වහන්සේගේ බුදුබවට පැමිණි තැන් පටන් මේ වස්ත්‍රය දක්වා මේ අතර විසි අවුරුද්දක් මුළුල්ලෙහි කිසි මහණෙක්තෙමේ ගෘහපති චීවරයක් නොඉවසූයේය. සියල්ලෝ පංසුකූලිකයෝම වූහ. එහෙයින් මේ ජීවකතෙමේ භික්‍ෂු සඞ්ඝයාහට ගෘහපති චීවරය අනුදනු මැනවැ’යි මෙසේ කීයේය. “ගහපතිචීවරං” ගැහැවියන් විසින් දෙන ලද සිවුර. “ධම්මියා කථාය” වස්ත්‍රදානානිසංස ප්‍රතිසංයුක්ත කථාවෙන්. “ඉතිරීතරෙණාපි” මදක් අගනාවූද, වැඩියක් අගනාවූද යම්කිසි සිවුරකින්, යන අර්‍ත්‍ථයි. “අනුජානාමි භික්‍ඛවෙ කොජවං” මෙහි පියවි කොඳුපලසම වටියි. ඇතුපිට අතුළ කොඳුපලස නොවටියි. මහාපිට්ඨියකොජවය නම් එළුලොමින් කළ උතුරුසළුව සමාන වූ කොඳුපලසය.
කම්බලානුජානනාදිකථා
“කාසීරාජා” කසීරට වාසීන්ගේ රජතෙමේ. මෙතෙමේ පසේනදි කොසොල් රජුගේ පියෙකුගේ සහෝදරයෙකි. “අඩ්ඪකාසියං” මෙහි දහස කාසීයි කියනු ලැබේ. එතරම් අගනේ කාසිය නම. මේ පලස වනාහි පන්සියයක් අගියි. එහෙයින් අඩ්ඪකාසියයි කියන ලද්දේය. එහෙයින් “උපඩ්ඪකාසීනං ඛමමානං”යි කීයේය.
[missing trans] භඞ්ග නම් පස් වැදෑරුම් මුසුකොට කරණ ලද්දේය. වැහැරීම යයිද කියත්.
“එකඤ්චෙව භගවතා චීවරං අනුඤ්ඤාතං න ද්වෙ” ඒ භික්‍ෂූහු වනාහි “ඉතරීතරෙන” යන මෙහි ගෘහපති චීවරයෙන් හෝ පංසුකූල චීවරයෙන් හෝයි මෙසේ අර්‍ත්‍ථ සැලකුහ. “නාගමෙසුං” ඔවුහු යම්තාක් නොපැමිණෙත්ද, ඒතාක් නොසිටියහ. ගියාහුමය. “න අකාමා භාගං දාතුං” නොකැමත්තෙන් නොදෙන්නට ඉදින් කැමතිවෙත්නම්, දියයුතුය. “ආගමෙසුං” උපචාරයෙහි සිටියාහුය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “අනුජානාමි භික්‍ඛවෙ ආගමෙන්තානං අකාමා භාගං දාතුං”යි වදාළ සේක. ඉදින් මනුෂ්‍යයෝ මෙහි ආවාහුම ගණිත්වායි දෙත්ද, ‘පැමිණියාහු ගනිත්වා’යි සලකුණක් හෝ කොට යෙත්ද, පැමිණි සියල්ලන්ටම ඒ පැමිණේ. ඉදින් හැරදමා ගියාහු නම් යමෙකු විසින් ගන්නා ලද්දේ ද හෙතෙමේම ස්වාමි වේ. “සදිසා ඔක්කමිංසු” සියල්ලෝ සමව සොහොනට බැස්සාහුය. එක් දිසාවකින් හෝ බැස්සාහුය යන අර්‍ත්‍ථයි. “තෙන කතිකං කත්‍වා” ලද පාංසුකූලය සියල්ලෝ බෙදා ගන්නෙමු’යි පිටතදීම කතිකාකොට