වරයාචනකථා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ කළ බත්කිස ඇති කල්හි අනතුරුව කුමරහු විසින් පෝෂණය කළ ජීවකතෙමේ ඒ සීවෙය්‍යක වස්ත්රයුග්මය ගෙන -පෙ- මේ වචනය කීයේය. “අතික්කන්තවරා” මෙහි විනිශ්චය මහාක්ඛන්ධයෙහි කියූනයින්ම දතයුතුය. “භගවා භන්තෙ පංසුකූලිකො භික්ඛුසඞ්ඝොච” භාග්‍යවතුන් වහන්සේගේ බුදුබවට පැමිණි තැන් පටන් මේ වස්ත්‍රය දක්වා මේ අතර විසි අවුරුද්දක් මුළුල්ලෙහි කිසි මහණෙක්තෙමේ ගෘහපති චීවරයක් නොඉවසූයේය. සියල්ලෝ පංසුකූලිකයෝම වූහ. එහෙයින් මේ ජීවකතෙමේ භික්ෂු සඞ්ඝයාහට ගෘහපති චීවරය අනුදනු මැනවැ’යි මෙසේ කීයේය. “ගහපතිචීවරං” ගැහැවියන් විසින් දෙන ලද සිවුර. “ධම්මියා කථාය” වස්ත්රදානානිසංස ප්‍රතිසංයුක්ත කථාවෙන්. “ඉතිරීතරෙණාපි” මදක් අගනාවූද, වැඩියක් අගනාවූද යම්කිසි සිවුරකින්, යන අර්‍ත්‍ථයි. “අනුජානාමි භික්ඛවෙ කොජවං” මෙහි පියවි කොඳුපලසම වටියි. ඇතුපිට අතුළ කොඳුපලස නොවටියි. මහාපිට්ඨියකොජවය නම් එළුලොමින් කළ උතුරුසළුව සමාන වූ කොඳුපලසය.
කම්බලානුජානනාදිකථා
“කාසීරාජා” කසීරට වාසීන්ගේ රජතෙමේ. මෙතෙමේ පසේනදි කොසොල් රජුගේ පියෙකුගේ සහෝදරයෙකි. “අඩ්ඪකාසියං” මෙහි දහස කාසීයි කියනු ලැබේ. එතරම් අගනේ කාසිය නම. මේ පලස වනාහි පන්සියයක් අගියි. එහෙයින් අඩ්ඪකාසියයි කියන ලද්දේය. එහෙයින් “උපඩ්ඪකාසීනං ඛමමානං”යි කීයේය.
[missing trans] භඞ්ග නම් පස් වැදෑරුම් මුසුකොට කරණ ලද්දේය. වැහැරීම යයිද කියත්.
“එකඤ්චෙව භගවතා චීවරං අනුඤ්ඤාතං න ද්වෙ” ඒ භික්ෂූහු වනාහි “ඉතරීතරෙන” යන මෙහි ගෘහපති චීවරයෙන් හෝ පංසුකූල චීවරයෙන් හෝයි මෙසේ අර්ත්ථ සැලකුහ. “නාගමෙසුං” ඔවුහු යම්තාක් නොපැමිණෙත්ද, ඒතාක් නොසිටියහ. ගියාහුමය. “න අකාමා භාගං දාතුං” නොකැමත්තෙන් නොදෙන්නට ඉදින් කැමතිවෙත්නම්, දියයුතුය. “ආගමෙසුං” උපචාරයෙහි සිටියාහුය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ ආගමෙන්තානං අකාමා භාගං දාතුං”යි වදාළ සේක. ඉදින් මනුෂ්‍යයෝ මෙහි ආවාහුම ගණිත්වායි දෙත්ද, ‘පැමිණියාහු ගනිත්වා’යි සලකුණක් හෝ කොට යෙත්ද, පැමිණි සියල්ලන්ටම ඒ පැමිණේ. ඉදින් හැරදමා ගියාහු නම් යමෙකු විසින් ගන්නා ලද්දේ ද හෙතෙමේම ස්වාමි වේ. “සදිසා ඔක්කමිංසු” සියල්ලෝ සමව සොහොනට බැස්සාහුය. එක් දිසාවකින් හෝ බැස්සාහුය යන අර්‍ත්‍ථයි. “තෙන කතිකං කත්වා” ලද පාංසුකූලය සියල්ලෝ බෙදා ගන්නෙමු’යි පිටතදීම කතිකාකොට
“යො න ඡන්දාගතිං” යනාදිතන්හි එවර ප්‍රතිග්‍රාහකයන් අතුරෙහි පසුව ආවාවූද තමන්ගේ නෑ ආදීන්ට පළමුකොට පිළිගන්නේ හෝ එකකු කෙරෙහි ප්‍රේමය දක්වා ගන්නේ හෝ ලොහප්රකෘතිකභාවයෙන් තමන්ට පිරිනමා ගන්නේ හෝ ඡන්දයෙන් අගතියට ගියේ නම. පළමුකොට ආවහුටද ක්‍රෝධ වශයෙන් පසුව ගන්නේ හෝ වේද, දිළිඳු මිනිසුන් කෙරෙහි අවමන්කොට ගන්නේ හෝ වේද, ‘කිම, තොපගේ ගෙයි තැබීමට අවකාශයක් නැත්තේද, තොප සන්තකය ගෙන යවු’යි මෙසේ සඞ්ඝයාගේ ලාභයට අනතුරු කරන්නේ හෝ ද්වෙෂයෙන් අගතියට යේ නම. යමෙක් වනාහි මුළා සිහි ඇත්තේ නුවණ නැත්තේ වේද, මෙතෙමේ මොහයෙන් මුළාවට යේ නම. පසුව ආවාවූද ඉසුරන්ට බියෙන් පළමුකොට පිළිගන්නේ මේ චීවර ප්‍රතිග්‍රාහක ස්ථානය නම් බැරෑරුම්යයි තදින් තැතිගන්නේ හෝ භයෙන් අගතියට යේනම. ‘මා විසින් මේ මේ ගන්නා ලදැයි මේ නොගන්නා ලදය’යි මෙසේ දන්නේ ගන්නා ලද්ද හා නොගන්නා ලද්ද දනී නම. එහෙයින් යමෙක් තෙමේ ඡන්දාගති ආදි වසයෙන් නොයේද, නෑ, නොනෑ, ධනවත්, දිලිඳු යන මොවුන් කෙරෙහි වෙනසක් නොකොට ආපිළිවෙළින් ගනීද, ශීලාචාර ප්‍රතිපත්තියෙන් යුක්තවේද, සිහි ඇත්තේ වේද, නුවණැත්තේ වේද, බහුශ්‍රැත වේද, ශ්ලෙෂමාදියෙන් අවහිර නොවූ වචනයෙන් පරිමණ්ඩල වූ පදබ්යඤ්ජනයන්ගෙන් අනුමෝදනා කරන්නේ දායකයන්ගේ ප්‍රසාදය උපදවන්නට හැක්කේ වේද, මෙබඳු මහණෙක් සම්මත කටයුතුය.
“එවං ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො” මෙහි මේ කියූපරිදි කර්මවාක්යයෙන්ද අපලොකනයෙන්ද වෙහෙර තුළ සියලු සඟමැද ඛණ්ඩ සීමාවෙහිද සම්මත කිරීම වටීමය. මෙසේ සම්මත කරන ලද්දහු විසින්ද විහාර ප්‍රත්‍යන්තයෙහි හෝ ප්රදහනගෘහයෙහි හෝ නොහිඳිය යුතුය. යම්තැනෙක්හි හුන්නහු ආ ආ මනුෂ්‍යයෝ සුවසේ දකිත්ද එබඳුවූ සමීප විහාරස්ථානයෙක විජනිය පසෙක තබා මනාකොට ඇන්දහු විසින් මනාකොට පෙරවූවහු විසින් හිඳිය යුතුය.
“තත්ථෙව උජ්ඣිත්වා” පිළිගැණීම පමණක්ම අපට භාරයයි කියා සම්මතය ලද්දාහු, ඒ සිවුරුගත් තැනම දමායෙත්. “චීවරනිදහකං” සිවුරු තැන්පත්කොට තබන්නෙකු. “යො න ඡන්දාගතිං” යනාදිතන්හි මෙහි මෙයින් පසු සියලු තන්හි කියූනයින්ම විනිශ්චය දතයුතුය. සම්මුති විනිශ්චයද කියූ අනුසරෙන්ම දතයුතුය.
භණ්ඩාගාරසම්මුතිආදිකථා
“විහාරං වා” යනාදිතන්හි අරම මැද සියල්ලන් රැස්වන තැන අරම්වැසි හෙරණ ආදීන්ගෙන් විවෙකයට නොපැමිණි යම් විහාරයක් හෝ ගුරුළුපියාපත් ලෙසින් කළ වහල ඇති ගෙයක් හෝ වේද, ඒ විහාරය හෝ ගෙය සම්මත කටයුතුය. වෙහෙර පසෙක වූ සෙනසුනක් සම්මත නොකටයුතුය. මේ භාණ්ඩාගාරය වනාහි ඛණ්ඩ සීමාවකට ගොස් ඛණ්ඩ සීමාවෙහි හුන්නවුන් විසින් සම්මත කිරීම නොවටියි. සියල්ලන්ට දැනගනු පිණිස වෙහෙර මැදම සම්මත කටයුතුය.