සඞ්ඝෙභින්නෙචීවරුප්පාදකථා
සඞ්ඝො භිජ්ජති වස් විසූ මහණුන්ට සිවුරු නොදුන් කල්හි සඞ්ඝතෙමේ බිඳීගොස් කෝසම්බක භික්ෂූන් මෙන් දෙකොටසක් වේද, එකස්මිං පක්ඛෙ බිඳීගිය සඟ දෙකොටසින් එක් කොටසකට දක්ෂිණෝදකයද සුගන්ධාදියද දෙත්ද, එක් කොටසකට සිවුරු දෙත්ද, “සඞ්ඝස්සෙවෙතං” දෙකොටසම පිළිබඳ සියලු සඞ්ඝයාහටම වේ. ගෙඩිය ගසා දෙපස විසින්ම එක්ව බෙදා ගතයුතුය. “පක්ඛස්සෙවෙතං” මේ සිවුරු පක්ෂයකටමයයි කියා “මෙසේ දුන් කල්හි යම් කොටසකට දක්ෂිණෙදකය දෙනලද්දේ ද, ඒ කොටසට දියම පමණක්ම වේ. යම් කොටසකට සිවුර දෙන ලද්දේ ද, සිවුර ඒ කොටසටම වේ. යම් තැනෙක්හි දක්ෂිණෙදකය ප්රමාණවේද එහි එක් පක්ෂයද ක්ෂිණෙදකය ලැබූ බැවින් සිවුරු ලබයි. එක් පක්ෂයක් සිවුරු පමණක්ම ලත්බැවිනැයි දෙපක්ෂයම එක්ව වැඩිමහලු පිළිවෙළින් බෙදිය යුතුය. මේ වනාහි දඹදිවෙහි ලක්ෂණැයි මහා අර්ත්ථකථාවෙහි කියනලදී. “තස්මිං යෙව පක්ඛෙ” දක්ෂිණෙදකය දුන් පක්ෂයටම සිවුරු දෙත්ද, අනික් පක්ෂය එහි ඊශ්වර නොවේ. සිවුරුයවන වස්තූහු ප්රකටමයහ.
අට්ඨචීවරමාතිකාකථා
දැන් මුල පටන් කියූ සිවුරු පිළිබඳ ප්රතිලාභ ක්ෂෙත්රය දක්වාලන්නට “අට්ඨිමා භික්ඛවෙ මාතිකා” යනාදිය වදාළ සේක. “සීමාය දෙති” යනාදිය පුද්ගලාධිෂ්ඨානනයින් වදාරණ ලද්දේය. මෙහි සීමාවෙහිදීම එක් මාතෘකාවකි. කතිකාවෙන් දීම දෙවන මාතෘකාය -පෙ- පුද්ගලයෙකුහට දීම අටවැනි මාතෘකාය. එහි ‘සීමාවෙහි දෙමි’යි මෙසේ සීමාව පරාමර්ෂණයකොට දෙන්නේ, සීමාවෙහි දේ නම. සියලු තන්හි මේ නයම වේ.
“සීමාය දෙති යාවතිකා භික්ඛුමා අන්තො සීමගතා, තෙහි භාජෙතබ්බං” යනාදිවූ මාතෘකා නිර්දෙශයෙහි “සීමාය දෙති” යන මෙහි පළමුකොට ඛණ්ඩසීමා-උපචාරසීමා-සමානසංවාසසීමා-අවිප්පවාසසීමා-ලාභසීමා-ගාමසීමා-නිගමසීමා-නගරසීමා-අබ්භන්තරසීමා-උදකුක්ඛෙපසීමා-ජනපදසීමා-රට්ඨසීමා-රජ්ජසීමා-දීපසීමා-චක්කවාළසීමායි පසළොස් සීමා දතයුතුය.
එහි ඛණ්ඩසිමා සීමාකථාවෙහි කියන ලද්දීමය. උපචාරසීමා තොමෝ පවුරෙන් වටකරණලද විහාරයෙහි පවුරෙන්ද වටනොකළ විහාරයෙහි වටකිරීමට සුදුසු තැනින්ම පිරිසිඳින ලද්දී වේ. තවද භික්ෂූන් නිබඳ රැස්වන තැන පටන් හෝ කෙළවර සිටි බොජුන්හල පටන් හෝ නිබඳ වසන ආවාසය පටන් හෝ බල මැදුම් පුරුෂයක්හුගේ ලෙඩ්ඩූපාත දෙකක්තුළ වූවා උපචාර සීමායි දතයුතුය. ඕ සීමා තොමෝ ආවාසයන් වැඩෙන කල්හි වැඩෙන්නීය. පිරිහෙන කල්හි පිරිහෙන්නීය. මහාපච්චරියෙහි වනාහි මහණුන් වැඩෙන කල්හිද වැඩෙන්නීයයි කියන ලදී. ඉදින් විහාරයෙහි රැස්වූ මහණුන් සමග එකාබද්ධව යොදුන් සියයක්ද පුරා හිඳිත්නම් යොදුන් සියයද උපචාර සීමාව වේ. සියල්ලන්ට ලාභය පැමිණේ. සමානසංවාස-අවිප්පවාසසීමා දෙකද කියන ලද්දේමය.
ලාභසීමා නම් සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් නොඅනුදන්නා ලදී. ධර්මසඞ්ග්රාහක ස්ථවිරයන් විසින් නොතබන ලදී. එහෙත් රාජරාජ මහාමාත්යයෝ විහාරයක් කරවා ගව්වක් හෝ අඩයොදුනක් හෝ යොදුනක් හෝ වටින් පිරිසිඳ ‘මේ අපගේ විහාරයට ලාභසීමායි නම් ලියූ ටැම් සිටුවා ‘මේ අතර යමක් උපදී නම් ඒ සියල්ල අපගේ විහාරයට දෙමු’යි ඉම තබත්ද, මෝතොමෝ ලාභසීමා නම. ගාම නිගම නගර අභ්යන්තර සීමාද කියන ලද්දාහුමය. ජනපදසීමා නම් කාශිකොශල රාෂ්ට්රාදීන්ගේ ඇතුළත බොහෝ ජනපදයෝ වෙත්ද, එහි එක් එක් ජනපද පරිච්ඡෙදයක් ජනපදසීමානම. රට්ඨසීමා නම් කාශිකොශලාදිරාෂ්ට්රයන්ගේ පරිච්ඡෙදයයි. රජ්ජසීමා නම් චොලභොගරජ්යය- කෙරල භොගරාජ්යය’යි මෙසේ එක් එක් රජක්හුගේ අණපැවැති තැන්ය. දීපසීමා නම් මුහුදු කෙළවරින් පිරිසිඳින ලද මහාද්වීපද අන්තරද්වීපද වෙත්. චක්කවාළසීමා නම් චක්රවාට පර්වතයෙන්ම පිරිසිඳින ලද්දීය.
මෙසේ මේ සීමාවන් අතුරෙහි ඛණ්ඩසීමාවෙහි කිසි කර්මයක් නිසා රැස්වූ සඞ්ඝයා දැක මෙහිම සීමාවෙහි සඞ්ඝයාට දෙමි’යි කියු කල්හි යම්පමණ භික්ෂූහු ඛණ්ඩ සීමාව තුළට පැමිණියාහුද, ඔවුන් විසින් බෙදිය යුතුය. ඔවුන්ටම ඒ ප්රත්යය පැමිණේ. සීමාන්තරිකාවෙහි හෝ උපචාර සීමාවෙහි හෝ සිටියාවූද අන්යයන්ට නොපැමිණේ. ඛණ්ඩසීමාවෙහි පිහිටියාවූ රුකෙක හෝ පව්වෙක හෝ සිටියහුටද යට හෝ පොළොව මැදට පැමිණියහුටද පැමිණේමය. ‘මේ උපචාර සීමාවෙහි සඞ්ඝයාට දෙමි’යි දෙනලද්ද වනාහි ඛණ්ඩසීමා සීමාන්තරිකාවන්හි සිටියවුන්ටද නොපැමිණේ. සමානසංවාස සීමාවට දෙමි’යි දෙන ලද්ද වනාහි ඛණ්ඩ සීමා සීමන්තරිකාවන්හි සිටියවුන්ට නොපැමිණේ. අවිප්පවාසසීමා ලාභසීමාවන්හි දෙනලද්ද ඒ සීමාවන්හි ඇතුළට පැමිණියවුන්ට පැමිණේ. ගාමසීමාදියෙහි දෙනලද්ද ඒ සීමා තුළ බද්ධසීමාවෙහි සිටියවුන්ටද පැමිණේ. අභ්යන්තරසීමා උදකුක්ඛෙප සීමාවන්හි දෙන ලද්ද එහි තුළට පැමිණියවුන්ටම පැමිණේ. ජනපදරට්ඨරජ්ජදීපචක්කවාළ සීමාවන්හිද විනිශ්චය ගාමසීමාදියෙහි කියූ විනිශ්චය සමානම වේ.
ඉදින් දඹදිව සිටියෙක් ‘තාම්රපර්ණද්වීපයෙහි සඞ්ඝයාට දෙමි’යි දේනම්, තාම්රපර්ණද්වීපයෙන් එක්මහණෙක් නමුදු එහි ගොස් සියල්ලන්ගේ කොටස් ගැනීම ලබන්නේය. ඉදින් ඒ දඹදිව්හිද එක් සභාග මහණෙක්ව සභාගමහණුන්ගේ කොටස ගනීනම් නොවැළකිය යුතුය. මෙසේ වනාහි යමෙක් සීමාව පරාමර්ෂණය කොට දේනම් ඔහුගේ දීමෙහි විනිශ්චය දතයුතුය.
යමෙක් වනාහි අසවල් සීමාවෙහියි කියන්නට නොදනීද, හුදෙක් සීමා යන වචනමාත්රයම දන්නේ විහාරයට අවුත් ‘සීමාවට දෙමි’යි හෝ සීමාවෙහි සිටි සඞ්ඝයාට දෙමි’යි හෝ කියාද, ‘සීමානම් බහුවිධය. එහෙයින් කවර සීමාවක් සඳහා බෙණෙහිදැ’යි ඔහු විචාළයුතුය. ඉදින් ‘මම අසුවල් සීමායි නොදනිමි, සීමාවෙහි සිටි සඞ්ඝතෙමේ බෙදා ගනීවා’යි කියානම්, කවර සීමාවෙක්හි බෙදියයුතුද, මහාසිවස්ථවිරතෙමේ වනාහි ‘අවිප්පවාස සීමාවෙහි’යි කීයේය. ඉනික්බිති අවිප්පවාසසීමා නම් තුන්යොදුනක් නමුදු වේ. මෙසේ ඇති කල්හි තුන් යොදුනෙක්හි සිටියාහු ලාභය ගන්නාහුය. තුන්යොදුනෙක්හි සිට ආගන්තුක වත පුරා ආරාමයට ඇතුල්විය යුතු වන්නේය. ගමිකතෙමේ තුන්යොදුනක් ගොස් සෙනසුන විචාරන්නේය. නිස පිළිපන්නහුගේ තුන්යොදුන ඉක්මීමෙහිදී නිස සංසිඳී යන්නේය. පරිවාසිකයා විසින් තුන්යොදුන ඉක්මවා අරුණ නැන්විය යුතුවන්නේය. මෙහෙණ විසින් තුන්යොදුන් තැන සිට ආරාමයට පිවිසීම විචාළ යුතුවන්නේය. මේ සියල්ලම උපචාර සීමා පිරිසිඳීමෙන්ම කිරීම වටියි. එහෙයින් උපචාරසීමාවෙහිම බෙදියයුතුය’යි ඔහුට කීහ.