මතසන්තකකථා
“කාලකතෙ” කලුරිය කළකල්හි “ගිලානුපට්ඨාකානං දාතුං” ගිලානොපස්ථායිකයන්ට ඔහු සතු පාසිවුරු දෙන්නට යන මෙහි අනතුරුව කියන ලද කර්‍මවාක්‍යයෙන් දෙන ලද්ද, අපලොකනය කොට දෙන ලද්ද ද දෙනලද්දේම වේ. වටියි.
“යං තත්‍ථ ලහුභණ්ඩං යං තත්‍ථ ගරුභණ්ඩං” මෙහි ලහුභාණ්ඩ ගරු භාණ්ඩයන්ගේ වෙනස ඉදිරියෙහි වර්‍ණනා කරන්නෙමු. ගිලානොපස්ථාය කලාහයෙහි මේ මුලපටන් විනිශ්චයයි.
ඉදින් සියලු භික්‍ෂු සඞ්ඝයා උපස්ථාන කරන කල්හි කලුරිය කෙරේනම් සියල්ලෝම ස්වාමීහු වෙත්. එකල්හි සමහරුන් විසින් වාරය කළ කල්හි සමහරුන් විසින් නොකළකල්හිම කලුරිය කෙරේ නම් එහි සමහර ආචාර්‍ය්‍යයෝ තමන්ගේ වාරය පැමිණි කල්හි සියල්ලෝම උපස්ථාන කරන්නාහ, එහෙයින් සියල්ලෝම ස්වාමීහු’යි කියත් මෙහිලා සමහර ආචාර්‍ය්‍යයෝ ‘යමක්හු විසින් පිළිදැගුම් කරන ලද්දේ ද, ඔවුහුම ලබත්. අන්‍යයෝ නොලබත්’යි කියත්. හෙරණෙකු කලුරිය කළ කල්හි ඔහු සතු සිවුරක් ඇත්තේනම් එය ගිලානොපස්ථායකයන්ට දියයුතුය. නැත්තේනම්, යමක් ඇත්තේනම් එය දිය යුතුය. අන්පිරිකරක් ඇති කල්හි සිවුරේ සමකොටස දියයුතුය.
මහණෙක්ද හෙරණෙක්දැයි දෙදෙනෙක් සමසේ උපස්ථාන කළාහු නම් සමකොටස දියයුතුය. එකල්හි හෙරණෙක්ම උපස්ථාන කෙරේනම්, මහණහුගේ සංවිධානමාත්‍රයක්මවේද, හෙරණහුට ප්‍රධාන කොටස දියයුතුය. හෙරණතෙමේ මහණහු විසින් ගෙනෙන ලද දියෙන් කැඳ පිස පිළිගැන්වීම පමණක්ම කෙරේද, මහණතෙමේ උපස්ථාන කෙරේද, මහණහුට ප්‍රධාන කොටස දියයුතුය.
බොහෝ මහණහු සියල්ලෝ සමගිව උපස්ථාන කෙරෙත්ද, සියල්ලන්ට සම කොටස දියයුතුය. යමෙක් මෙහි වෙසෙසින් උපස්ථාන කෙරේද, ඔහුට විශේෂයක් කටයුතුය. යමක්හු විසින් වනාහි එක් දවසකුදු ගිලානොපස්ථායක වශයෙන් කැඳබත් හෝ පිසදෙන ලද්දේ ද, නානාපැන් හෝ පිළියෙල කරන ලද්දේ ද හෙතෙමේද ගිලානොපස්ථායකයාමය. යමෙක් සමීපයට නොපැමිණ බෙහෙත් සහල් ආදිය යවාද, මෙතෙමේ ගිලානොපස්ථායකයෙක් නොවේ. යමෙක් බෙහෙත් සහල් ආදිය සොයාගෙන, සොයාගත් දැය ගෙන්වාගෙන ඒද, මෙතෙමේ ගිලානොපස්ථායකයෙක්මය.
එකෙක් ව්‍රතශීර්‍ෂයෙන් පිළිදැගුම් කෙරේද, එකෙක් ප්‍රත්‍යයාශාවෙන් පිළිදැගුම් කෙරේද ගිලනහු මළකල්හි දෙදෙනම බලාපොරොත්තුවෙත්නම් දෙදෙනාහටම දියයුතුය. එකෙක් උපස්ථානකොට නැවත අවුත් උපස්ථාන කරන්නෙමියි ගිලනහුගේ කර්‍මයක් නිසා හෝ තමන්ගේ කර්‍මයක් නිසා හෝ කිසි තැනක ගියේද, මොහුටත් දියයුතුය. එකෙක් බොහෝ කලක් උපස්ථාන කොට දැන් නොහැක්කෙමියි ධුනික්‍ෂෙප කොටයේද, ඉදින් එදවසම ගිලන්තෙමේ කලුරිය කෙරේනම් උපස්ථායකභාගය නොදිය යුතුය.
ගිලානොපස්ථායක තෙමේ නම් ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා යටත්පිරිසයින් මාගමක් හෝ වේවා, සියල්ලෝ කොටස ලබත්. මේ මහණහුට පාසිවුරු පමණක්ම වේද, අනිකක් නැත්තේද, සියල්ල ගිලානොපස්ථායකයන්ටම දියයුතුය. ඉදින් දහසක් අගනේනම්, ගිලානොපස්ථායකයන්ටම දියයුතුය. අන්‍යවූ බොහෝ පිරිකර ඇත්තේද, උපස්ථායකයෝ ඒ නොලබත්. සඞ්ඝයාටම වේ. සෙසු භාණ්ඩ හා බොහෝ වේද, මාහැඟි වේද, තුන්සිවුර මදක් අගීද, එයින් ගෙන තුන්සිවුරු පිරිකර දියයුතුය. මේ සියල්ලද සාඞ්ඝිකයෙන් ලැබේ.
හෙතෙමේ ජීවත්වනුයේම තමන්ගේ සියලු පිරිකර නිසාද කිසිවක්හට දුන්නේද, කිසිවෙක් විශ්වාසයෙන් ගත්තේද, යමෙක්හට දෙනලද්දේ ද, යමෙක්හු විසින් ගන්නා ලද්දේ ද, ඔහුටම වේ. ඔහුගේ කැමැත්තෙන්ම ගිලානොපස්ථායකයෝ ලබත්. අන්හට නොදී දුර තැබූ පිරිකරද ඒ ඒ තන්හි සඞ්ඝයාහටම වේ. දෙදෙනෙකු සතුවූ පිරිකරක් නොබෙදන ලද්දේවේද, එකකු කලුරිය කළ කල්හි අනිකා ස්වාමියා වේ. බොහෝ දෙනෙකු සතුවූවේද මේනයම වේ. සියල්ලන් මළකල්හි සඟසතු වේ. ඉදින් නොබෙදා සද්ධිවිහාරිකාදීන්ට දේද, නොදෙන ලද්දේම වේ. බෙදා දෙන ලද්ද මනාකොට දෙන ලද්දේ වේ. එය ඔවුන් මළකල්හි සද්ධිවිහාරිකාදීන්ටම වේ. සඞ්ඝයාට නොවේ.
කුසචීරාදිපටික්ඛෙපකථා
කුසචිරාදියෙහි “අක්කනාළං” වරාදඬුවෙන් කළ සිවුර. “පොත්‍ථකො” නියඳකෙඳිවලින් කළ සිවුර කියනු ලැබේ. සෙස්සෝ ප්‍රථමපාරාජික වර්‍ණනාවෙහි කියන ලදහ. ඔවුන් අතුරෙහි නියඳ වැහරියෙන් කළ සිවුරු ඇඳීමෙහි දුක්කටය වේ. සෙසු සිවුරු ඇඳීමෙහි ථුල්ලච්චයාදීහු වෙත්. වරා හුයින් කළ වස්ත්‍ර, කෙසෙල්හුයෙන් කළ වස්ත්‍ර, එරුහුයින් කළවස්ත්‍ර, නියඳ වැහැරියෙන් කළ වස්ත්‍ර ගතිකම වෙත්.
සියල්ල නිල්වන් සිවුරු ආදිය රඳන් ගලවාහැර නැවත රඳන්කොට දියයුතුය. ඔවුන්ගේ පැහැයෙහි වෙනස්කම උපාහනයන්හි කියූ නයමය. “අච්ඡින්නදස - දීඝදසානි” නොසිඳිනලද දාව ඇති, දිග්දාව, ඇතිසිවුරු දාව සිඳ දැරිය යුතුය. සැට්ටයක් ලැබ පලා පඬුපොවා පරිභොග කිරීම වටීමය. වෙළුමෙහිද මේනයම වේ. සුඹුළු වනාහි රුක්පතුරුමය. එය පාපිස්නක් කිරීම වටීයි.