ගිලානවත්ථුකථා
“මඤ්චකෙ නිපාතෙසුං” මෙසේ සෝදා අන් සිවුරක් හන්දවා ඇඳෙහි සයනය කරවූහ. සයනය කරවාද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ මලමූත්‍රයෙන් කිලිටි වූ සිවුර සෝදා බිමද පිරිබඩ කෙළේය. “යො භික්‍ඛවෙ මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය” යමෙක් මාගේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් උපස්ථාන කරන්නේ නම්, හෙතෙමේ ගිලන්හට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය කරන්නාහු විසින් ගිලන් තැනැත්තහුට උපස්ථාන කටයුතුය යනු මෙහි මේ අර්‍ත්‍ථය වේ. ‘භාග්‍යවතුන් වහන්සේටද ගිලන්හටද කරන උපස්ථානය ඒකාකාරයයි මෙසේ මෙහි අර්‍ත්‍ථ නොගත යුතුය. “සඞ්ඝෙන උපට්ඨාතබ්බො” යම් ගිලනක්හුගේ ඒ උපාද්ධ්‍යායාදීහු ඒ විහාරයෙහි නැත්තාහුද, ආගන්තුකයෙක් වේද, ඒ එකලාව හැසිරෙණ මහණ සඞ්ඝයාට භාර වේ. එහෙයින් සඞ්ඝයා විසින් උපස්ථාන කටයුතුය. ඉදින් උපස්ථාන නොකරන්නේනම් සියලු සඞ්ඝයාහට ඇවැත් වේ. වාරනියමකොට තබාගෙන පිළිදැගුම් කරන්නවුන් අතුරෙහි යමෙක් තමන්ගේ වාරයෙහි පිළිදැගුම් නොකෙරේනම්, ඔහුටම ඇවැත් වේ. සඞ්ඝ ස්ථවිරතෙමේද වාරයෙන් නොමිදේ. සියලු සඞ්ඝයා වහන්සේ එක් නමක්හට භාර කෙරේද, වතින් යුත් එක් මහණෙක් හෝ මමම පිළිදැගුම් කරන්නෙමි’යි පිළිදැගුම් කෙරේනම්, සඞ්ඝයා ඇවැතින් මිදේ.
“අභික්කමන්තවා අභික්කමති” යනාදියෙහි වැඩෙන්නා වූ හෝ ආබාධය මෙනම් දෙය අනුභව කරන මාගේ ආබාධය වැඩෙන්නේය. මෙනම් දෙය අනුභව කරන්නා වූ මාගේ ආබාධය පිරිහෙන්නේය. මෙනම් දෙය අනුභව කරන්නාවූ මාගේ ආබාධය පවත්නේය’යි තතුසේ ප්‍රකාශ නොකෙරේය’යි මෙසේ අර්‍ත්‍ථ දතයුතුය. “නාලං” නොසුදුසුය. උපස්ථාන කරන්නට යුතුනොවේ. “භෙසජ්ජං සංවිධාතුං” වෙදහු කියූ ලෙසින් බෙහෙත් යොදන්නට සමර්‍ත්‍ථ නොවේද, “ආමිසන්තරො” ආමිෂය මොහුට කරුණුවූයේනුයි ආමිසන්තර නම. අනතුරු කාරණය කියනු ලැබේ. ආමිෂ හෙතුවෙන් කැඳ බත් පාසිවුරු පතමින් උපස්ථාන කෙරේය යන අර්‍ත්‍ථයි.
මතසන්තකකථා
“කාලකතෙ” කලුරිය කළකල්හි “ගිලානුපට්ඨාකානං දාතුං” ගිලානොපස්ථායිකයන්ට ඔහු සතු පාසිවුරු දෙන්නට යන මෙහි අනතුරුව කියන ලද කර්‍මවාක්‍යයෙන් දෙන ලද්ද, අපලොකනය කොට දෙන ලද්ද ද දෙනලද්දේම වේ. වටියි.
“යං තත්‍ථ ලහුභණ්ඩං යං තත්‍ථ ගරුභණ්ඩං” මෙහි ලහුභාණ්ඩ ගරු භාණ්ඩයන්ගේ වෙනස ඉදිරියෙහි වර්‍ණනා කරන්නෙමු. ගිලානොපස්ථාය කලාහයෙහි මේ මුලපටන් විනිශ්චයයි.
ඉදින් සියලු භික්‍ෂු සඞ්ඝයා උපස්ථාන කරන කල්හි කලුරිය කෙරේනම් සියල්ලෝම ස්වාමීහු වෙත්. එකල්හි සමහරුන් විසින් වාරය කළ කල්හි සමහරුන් විසින් නොකළකල්හිම කලුරිය කෙරේ නම් එහි සමහර ආචාර්‍ය්‍යයෝ තමන්ගේ වාරය පැමිණි කල්හි සියල්ලෝම උපස්ථාන කරන්නාහ, එහෙයින් සියල්ලෝම ස්වාමීහු’යි කියත් මෙහිලා සමහර ආචාර්‍ය්‍යයෝ ‘යමක්හු විසින් පිළිදැගුම් කරන ලද්දේ ද, ඔවුහුම ලබත්. අන්‍යයෝ නොලබත්’යි කියත්. හෙරණෙකු කලුරිය කළ කල්හි ඔහු සතු සිවුරක් ඇත්තේනම් එය ගිලානොපස්ථායකයන්ට දියයුතුය. නැත්තේනම්, යමක් ඇත්තේනම් එය දිය යුතුය. අන්පිරිකරක් ඇති කල්හි සිවුරේ සමකොටස දියයුතුය.
මහණෙක්ද හෙරණෙක්දැයි දෙදෙනෙක් සමසේ උපස්ථාන කළාහු නම් සමකොටස දියයුතුය. එකල්හි හෙරණෙක්ම උපස්ථාන කෙරේනම්, මහණහුගේ සංවිධානමාත්‍රයක්මවේද, හෙරණහුට ප්‍රධාන කොටස දියයුතුය. හෙරණතෙමේ මහණහු විසින් ගෙනෙන ලද දියෙන් කැඳ පිස පිළිගැන්වීම පමණක්ම කෙරේද, මහණතෙමේ උපස්ථාන කෙරේද, මහණහුට ප්‍රධාන කොටස දියයුතුය.
බොහෝ මහණහු සියල්ලෝ සමගිව උපස්ථාන කෙරෙත්ද, සියල්ලන්ට සම කොටස දියයුතුය. යමෙක් මෙහි වෙසෙසින් උපස්ථාන කෙරේද, ඔහුට විශේෂයක් කටයුතුය. යමක්හු විසින් වනාහි එක් දවසකුදු ගිලානොපස්ථායක වශයෙන් කැඳබත් හෝ පිසදෙන ලද්දේ ද, නානාපැන් හෝ පිළියෙල කරන ලද්දේ ද හෙතෙමේද ගිලානොපස්ථායකයාමය. යමෙක් සමීපයට නොපැමිණ බෙහෙත් සහල් ආදිය යවාද, මෙතෙමේ ගිලානොපස්ථායකයෙක් නොවේ. යමෙක් බෙහෙත් සහල් ආදිය සොයාගෙන, සොයාගත් දැය ගෙන්වාගෙන ඒද, මෙතෙමේ ගිලානොපස්ථායකයෙක්මය.