කථිනානුජානනකථා
කඨිනක්ඛන්ධකයෙහි - “පාඨෙය්යකා” පාඨෙය්ය රටවැසි භික්ෂූහු පාඨෙය්ය නම් කොසොල් දනව්වෙහි පැසුළු දෙස පිහිටි රටෙහි එහි වාසීහුයි කියන ලද්දේ වේ. කොසොල් රජුගේ එක්පිය සොහොයුරු වූ භද්දවග්ගිය තෙරුන්ට මේ නමකි. ඔවුන් අතුරෙහි සියල්ලන්ට දෙටුතෙමේ අනාගාමීය. සියල්ලන්ට පැසුළුතෙමේ සොතාපන්නය. ඒ පිරිසෙහි රහත්වූවෙක් හෝ පෘථග්ජනයෙක් හෝ නැත්තේය. “ආරඤ්ඤකා” ධුතඞ්ගසමාදාන වසයෙන් ආරණ්යකයෝය. අරණ්යයෙහි විසූ පමණකින් ආරණ්යකයෝ නොවෙති. ඔවුන්ගේ පිණ්ඩපාතිකාදිභාවයෙහිද මේ නය වේ. ප්රධානාඞ්ග වශයෙන් මෙය කියනලදී. මේ භික්ෂූහු වනාහි තෙළෙස් වැදෑරුම්වූම ධුතාඞ්ග සමාදන්වම පවතිත් “උදකසඞ්ගහෙ” දිය හා එක්වූකල්හි, ගැටුනුකල්හි ගැනුනු කල්හි, ගොඩද වළතැනද එකම දිය ඇති කල්හිය යන අර්ත්ථයි.
“උදකවික්ඛල්ලෙ” පෑගු පෑගු තැන දිය සහිත මඩ නැගී ඉණමුල දක්වා වැදී සිටියි. මෙබඳු මඩ ඇතිකල්හිය යන අර්ත්ථයි. “ඔකපුණ්ණෙහි” දියෙන් පිරුණු ඔවුන්ගේ සිවුරු ඝනය. ඒ සිවුරුවල වැටුනු දිය නොවැගිරේ. ඝනබැවින් ගොටුකොට බැන්දාක් මෙන් සිටියි. “ඔකපුණ්ණෙහි චීවරෙහි,” යනු එහෙයින් කියනලදී. “ඔඝපුණ්ණෙහි” කියාද පාඨය වේ.
“අවිවදමානා වස්සං වසිම්හ” මෙහි ආගන්තුක ස්ථානයෙහි සෙනසුන් පහසු නැති බැවින්ද, භාග්යවතුන් වහන්සේගේ දර්ශනය නොලැබීමෙන් උකටලීවූ බැවින්ද, ඒ භික්ෂූහු පහසු සේ නොවිසූහ. එහෙයින් “අවිවාදමානා ඵාසුකං වස්සං වසිම්හ”යි නොකීහ. “ධම්මිං කථං කත්වා” භාග්යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට අනමතග්ගිය සංයුත්ත කථාව වදාළ සේක. ඒ සියල්ලෝම කථාවසානයෙහි රහත්බවට පැමිණ උන්තැනින්ම අහසට පැනනැගී ගියහ. ඒ සඳහා “ධම්මිං කථං කත්වා”යි කියනලදී. ඉන්පසු භාග්යවතුන් වහන්සේ ඉදින් කඨිනත්ථාරය පණවන ලද්දේ වීනම් මේ භික්ෂූහු එක් සිවුරක් අඳනය හා පොරෝණයෙන් යුක්තව එන්නාහු මෙසේ ක්ලාන්ත නොවූවෝ වන්නාහ. මේ කඨිනත්ථාරය නම් සියලු බුදුවරයන් විසින් අනුදන්නා ලදැ’යි සිතා කඨිනත්ථාරය අනුදන්නා කැමතිසේක් භික්ෂූන්ට ආමන්ත්රණය කළසේක. ආමන්ත්රණය කොටද “අනුජානාමි භික්ඛවෙ” යනාදිය වදාළසේක.
එහි “අත්ථතකඨිනානං වො” යන මෙහි ‘වො’ කාරය තෙමේ නිපාතමාත්රයෙකි. ‘ඇතුරූ කඨිනය ඇත්තවුන්ට යන අර්ත්ථයි. මෙසේ ඇති කල්හි පසුභාගයෙහි “සො තෙසං භවිස්සති”යි යෙදෙන්නේය. නොහොත් ‘වො’ යනු මෙය ෂෂ්ඨි වචනයි. “සො තෙසං” යන මෙහි යම් කෙනෙක් ඇතුරූ කඨිනය ඇත්තාහුද ඔවුන්ට ඒ චීවරොත්පාදය වේය යන අර්ත්ථයි.
එහි “අනාමන්තචාරො” අනාමන්තචාරො නම් යම්තාක් කඨිනය නොඋදුරණු ලැබේද, ඒතාක් චාරිත්ත ශික්ෂාපදයෙහි කියූනයින් ආමන්ත්රණය නොකොට කුලයන්හි හැසිරීම කැපවන්නේය. චාරිත්ත ශික්ෂාපදයෙන් ඇවැත් නොවේය යන අර්ත්ථයි. “අසමාදානචාරො” තුන්සිවුර නොගෙන හැසිරීමය. සිවුරෙන් වෙන්ව විසීම කැප වන්නේය යන අර්ත්ථයි. “ගණභොජනං” ගණභොජන ශික්ෂාපදයෙහි කියූ ආකාරගණභොජනයද කැප වන්නේය. “යාවදත්ථචීවරං” යම් පමණකල් සිවුරෙන් ප්රයොජනවේද, එපමණකල් නොඉටූ නොවිකැපූ සිවුර පරිහරණය කිරීම කැපවන්නේය යන අර්ත්ථයි. “යො ච තත්ථ චීවරුප්පාදො” එහි කඨිනය අතුළ සීමාවෙහි මළවුන් සතු සිවුරක් හෝ වේවා, සඞ්ඝයා උදෙසා දුන් සිවුරක් හෝ වේවා, වස් එළැඹ කඨිනය අතුළ සීමාව තුළ හෝ ඒ සතු කෙත්වතු ආදියෙන් හෝ උපන් සංඝික ද්රව්යයකින් හෝ ගෙන එන ලද සිවුරක් හෝ වේවා, යම්කිසි ආකාරයකින් යම්කිසි කඨින චීවරයක් එහි උපදීද, ඒ සිවුර කඨිනය අතුළ ඔවුන්ට වන්නේය, යන අර්ත්ථයි.
“එවං ච පන භික්ඛවෙ කඨිනං අත්ථරිතබ්බං” මෙහි කඨිනත්ථාරය කවරහු ලබත්ද, යත්:- ගණන් වසයෙන් පැසුළු කෙළවරින් පස්දෙන ලබත්. පස්දෙනාට මත්තෙහි ලක්ෂයක් නමුදු ලබයි. පස්දෙනාට අඩුව නොලබත්. විසූ වස් ඇත්තවුන්ගේ වසයෙන් පෙරවස් එළැඹ වස්සච්ඡෙදය නොකොට ප්රථම පවාරණයෙන් පැවරූවෝ ලබත්. සුන්වස් ඇත්තෝ හෝ වෙත්ද, පසුවස් එළඹියෝ හෝ වෙත්ද, නොලබත්. අන් වෙහෙරෙක විසූ වස් ඇත්තෝද නොලබත්යි මහාපච්චරියෙහි කියනලදී. පෙරවස් විසූවන්ට වනාහි සියල්ලෝ ගණපූරක වෙත්. ආනිසංසය නොලබත්. ආනිසංසය අන්යයන්හටම වේ. ඉදින් පෙරවස් විසූවෝ සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, අන්යයන් ගණපූරකයන්කොට කඨිනය ඇතිරිය යුතුය. ‘අථ’ යනු වචනාරම්භයෙහිය. සිවුනමක් භික්ෂූහු වස් එළඹිය යුතු දිනයෙහි උපසපන් වන්නේද ගණපූරකත්වේද, ආනිසංසයද ලබයි. තෙනමක් භික්ෂූහුය, දෙනමක් හෙරණහුය. දෙනමක් භික්ෂූහුය. තෙනමක් හෙරණහුය. එක් නමක් භික්ෂූහුය. සිවු නමක් හෙරණහුය යන මෙහිද මෙමනයයි. පෙරවස් විසූවෝ කඨිනය ඇතිරීමෙහි දක්ෂයෝ නොවෙත්ද, ඇතිරීමෙහි දක්ෂ වූ ඛන්ධකභාණක ස්ථවිරයන් වහන්සේලා සොයා ගෙන්විය යුත්තාහ. ඤත්තිදුතිය කර්මවාක්යය අස්වා කඨිනය අතුරුවා දානයද වලඳා යන්නාහ. ආනිසංසය අන්යයන්ටම වේ.
කඨිනය කවරකු විසින් දෙන ලද්දේ වටීද, යත්: යම්කිසි දෙවියකු විසින් හෝ මිනිසකු විසින් හෝ පස්සහදැහැමියන් අතුරෙහි එක්තරා එකක්හු විසින් දෙන ලද්දේ වටියි. කඨිනදායකයාහට වතක් ඇත්තේය. ඒ දායකතෙමේ ඒ වත නොදන්නේ ‘ස්වාමීනි’ කඨිනය කෙසේ දියයුත්තේදැ’යි විචාරාද, ඒ විචාළහුට තුන්සිවුරෙන් එක්තරා එකකට සෑහෙන වස්ත්රයක් ගෙන හිරුනගින කාලයෙහි “වත්ථං කඨිනචීවරං දෙම”යි කියාදීම වටියි. ඒ චීවර පරිකර්මය පිණිස මෙපමණ ඉදිකටු, මෙපමණ හු, මෙපමණ පඬු, පිරියම් කරන්නාවූ මෙපමණ භික්ෂූන්ට කැඳබත්ද දීම වටි’යි. මෙසේ කියයුත්තේය.