ආදායසත්තකකථා
“න පච්චෙස්සං” කඨිනය අතුළ සීමාවට චීවර මාස පසතුළ නැවත නොඑන්නෙමි. මේ පක්කමනන්තිකා කඨිනුද්ධාරයෙහි පළමුකොට චීවරපළිබොධය සිඳීයයි. පසුව ආවාසපළිබොධය සිඳේ. මෙසේ යන්නහුට වනාහි චීවරපළිබොධය සීමාව තුළදීම සිඳේ. ආවාස පළිබොධය සීමාව ඉක්මීම නිමිතිකොට සිඳීයයි. මෙය පරිවාරයෙහි:
“ආදිත්‍යබන්‍ධු වූ සර්‍වඥයන් වහන්සේ විසින් පක්කමනන්තික කඨිනුබ්භාරය වදාරන ලද්දේය. මම ඒ මේ කඨිනුබ්හාරය විසඳන්නෙමි චීවරපළිබොධය පළමුකොට සිඳෙයි. ආවාස පළිබොධය පසුව සිඳේයයි වදාරණ ලදී.
“චීවරං ආදාය” නොකළ සිවුරක් ගෙන. “බහි සීමගතස්ස” අන් සමීප වෙහෙරකට ගියහුට “එවං හොති” ඒ විහාරයෙහි සෙනසුන් පහසුව හෝ සභායසම්පත්තිය හෝ දැක මෙහි සිවුරක් කරන්නෙමි’යි කඨිනය අතුළ සීමාවට නොයන්නෙමි’යි මෙසේ සිතෙක් වේද, මේ වනාහි නිට්ඨානන්තික කඨිනුද්ධාරයෙහි ආවාස පළිබොධය පළමුකොට සිඳේ. ඒවනාහි කඨිනය අතුළ සීමාවට නැවත නොඑන්නෙමි’යි සිතා උපන් ඇසිල්ලෙහිම සිඳීයන්නේය.
‘ආදිත්‍යබන්‍ධු වූ සර්‍වඥයන්වහන්සේ විසින් නිට්ඨානන්තික කඨිනුද්ධාරය වදාරණ ලද්දේය. මම ඒ මේ කඨිනුද්ධාරය විසදන්නෙමි, ආවාස පළිබොධය පළමුකොට සිඳෙයි. සිවුරකොට නිමිකල්හි චීවර පළිබොධය සිඳේයැයි පරිවාරයෙහි මෙද වදාරනලදී.
මේ නයින් සෙසු මාතෘකා විභජනයෙහිද අර්‍ත්‍ථ දතයුතුය. මේ වෙනසය. සන්නිට්ඨානන්තික කඨිනුද්ධාරයෙහි ද්විධ පළිබොධයෝ. ‘මේ සිවුර නොමකරන්නෙමි’ කඨිනය අතුළ සිමාවට නැවත නොඑන්නෙමි’යි සිත උපන් ඇසිල්ලෙහිම එකට සිඳෙත්.
‘ආදිත්‍යබන්‍ධු වූ සර්‍වඥයන් වහන්සේ විසින් සන්නිට්ඨානන්තික කඨිනුද්ධාරය වදාරන ලද්දේය. මම ඒ මේ කඨිනුද්ධාරය විසඳන්නෙමි, ද්විවිධ පළිබොධයෝ පෙරපසුනොව සිඳෙත්යි පරිවාරයෙහි මෙද වදාරන ලදී.
මෙසේ සියලු කඨිනුද්ධාරයන්හි පළිබොධුච්ඡෙදය දතයුතුය. පළිබොධුච්ඡෙදය යම්හෙයකින් මේ කියූනයින්ද, පරිවාරයෙහි ආබැවින්ද, දැනගන්නට හැක්කේය. එහෙයින් විස්තර වශයෙන් මෙහි නොකියනලදී. මේ වනාහි මෙහි සඞ්ක්‍ෂෙපයයි. නාසන්තික කඨිනුද්ධාරයෙහි ආවාස පළිබොධය පළමුකොට සිඳේ. සිවුර නැසුනු කල්හි චීවර පළිබොධය සිඳී. යම්හෙයකින් සිවුර නට කල්හි චීවරපළිබොධය සිඳේද, එහෙයින් නාසන්තිකයි කියනු ලැබේ.
සවණන්තික කඨිනුද්ධාරයෙහි චීවරපළිබොධය පළමුකොට සිඳේ. එහෙයින් ඔහුගේ ශ්‍රවණය සමග ආවාස පළිබොධය සිඳේ.
ආසවච්ඡෙදික කඨිනුද්ධාරයෙහි පළමුකොට ආවාසපළිබොධය සිඳේ. චීවරාශාව සිඳුනුකල්හි චීවර පළිබොධය සිදේ. මේ ආසාවච්ඡෙදික නමි. කඨිනුද්ධාරය යම්හෙයකින් “අනාසාය ලභති, ආසාය න ලභති, තස්ස එවං හොති, ඉධෙවිමං චීවරං කාරෙස්සං, න පච්චෙස්සං”යි යනාදි නයින් අන්‍ය වූ උද්ධාරයන් සමග මිශ්‍රදෙශනා ඇත්තේ නොයෙක් ප්‍රභෙද ඇත්තේ වේ. එහෙයින් පසුභාගයෙහි වෙන්ව විස්තර කොට කියන ලද්දේය. මෙහි නොකියන ලද්දේය. මෙහි වනාහි සවණන්නික කඨිනුද්ධාරයට අනතුරුව සීමාන්තික කඨිනුද්ධාරය කියනලදී. එහි සීමාන්තික කඨිනුද්ධාරයෙහි පළමුකොට චීවර පළිබොධය සිඳේ. එහි ආවාස පළිබොධය සීමාවෙන් පිටතදී සිඳේ. සහුබ්හාරයෙහි ද්විපළිබොධ පෙරපසු නොව සිඳෙත්.
මෙසේ ආදායවාරයෙහි සත්වැදෑරුම් කඨිනුද්ධාරයන් දක්වා නැවත සමාදාය වාරයෙහිද අඩාල කළසිවුර පිළිබඳ ආදායසමාදාය වාරයන්හිද ලැබෙන පරිදි ඒ වාරයෝම දක්වන ලදහ. ඉන්පසු සීමාව තුළ “පච්චෙස්සං, න පච්චෙස්සං” යන මේ විධිය ආමර්‍ෂණය නොකොටම “න පච්චෙස්සං” යන මේ විධිය ආමර්‍ෂණය කොට “අනධිට්ඨිතෙන” යනාදි නයින්ද යම් යම් වාරයෝ යෙදෙත්ද, ඒ ඒ වාර දක්වන ලදහ. ඉන්පසු “චීවරාසාය පක්කමති” යනාදි නයින් අන්‍යයන් සමග මිශ්‍රකයින් නොයෙක්වර ආසාවච්ඡෙදිකය දක්වා නැවත දිසාබලා යන්නහුගේ වසයෙන්ද, පහසු විහරණ ඇත්තහුගේ වසයෙන්ද, නිට්ඨානන්තිකයන්හි යෙදෙන කඨිනුද්ධාරයෝ දක්වන ලදහ. මෙසේ ප්‍රභෙද වශයෙන් කඨිනුද්ධාරය දක්වා දැන් ඒ ඒ කඨිනුද්ධාරයෙන් යම් ඒ පළිබොධයක් සිඳෙත්යි වදාරන ලද්දාහුද, ඔවුන්ගේ ප්‍රතිපක්‍ෂයන් දක්වනසේක් “ද්වෙ මෙ භික්‍ඛවෙ කඨිනස්ස පළිබොධා” යනාදිය වදාළසේක. එහි “චත්තෙන” යම් සිතකින් ඒ ආවාසය හරණ ලද්දේවේද, ඒ ‘චත්ත’ නම. ඒ හැරීමෙනි. වන්තමුත්තයන්හිද මේනයම වේ. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.