අජ්ඣාරාමෙඋපාහනපටික්ඛෙපකථා
“අභිජීවනිකස්ස” යම් ශිල්පයකින් ජීවිකාව කෙරෙත්ද, ඒ කාරණයෙන් යන අර්‍ත්‍ථයි. “ඉධ ඛො තං භික්‍ඛවෙ” මෙහි “තං” යනු නිපාතමාත්‍රයකි. ‘මහණෙනි’ මෙහි කවරහු හොබවන්නාහුද, යන අර්‍ත්‍ථයි. “යං තුම්හෙ” යම්බඳුවූ තෙපි. නොහොත් ‘තෙපි’යි කියන ලද්දේ වේ. යදි ශබ්දයෙහි වනාහි අර්‍ත්‍ථයෙහි මේ නිපාතයයි. “ආචරියෙසු” යනාදිතන්හි ප්‍රව්‍රජ්‍යාචාර්‍ය්‍ය -උපසම්පදාචාර්‍ය්‍ය-නිශ්ශ්‍රයාචාර්‍ය්‍ය-උද්දෙශාචාර්‍ය්‍යයි මොවුහු සිවුදෙනම මෙහි ආචාර්‍ය්‍යයෝමය. උපසම්පදාවෙහි පටන් අවුරුද්දක් ඉක්ම නොගියහුට ෂට්වර්‍ෂවූවෙක් ආචාර්‍ය්‍යමාත්‍ර වේ. හෙතෙමේ වනාහි සිවුඅවුරුදු කාලයෙහි ඔහු ඇසුරුකොට වසයි. මෙසේ එක්වස් ඇත්තාහුට සත්වස්ඇත්තේ, දෙවසක් ඇත්තහුට අටවස් ඇත්තේ, තෙවස් ඇත්තහුට, නවවස් ඇත්තේ, සිවුවස් ඇත්තහුට දසවස් ඇත්තේයි. මොවුහුද ආචාර්‍ය්‍යමාත්‍රයෝමය. උපාද්ධ්‍යායයාගේ දුටු පමණින් මිත්‍ර වූ, දැඩිමිත්‍රවූ යහලු භික්‍ෂූහුද, යම්කිසි කෙනෙක් දසවසට වඩා ඉතා මහත්වූවාහුද, ඒ සියල්ලෝම උපාද්ධ්‍යාය මාත්‍රනම්හු. මෙතෙක් භික්‍ෂූන් වහන්සේ නැතිව සක්මන් කරන කල්හි වහන්සේලා සක්මන් කරන මහණහට දුක්කටාපත්තිය වේ.
පාදඛිලාබාධය නම්, පයින් හුලක් සමානමසක් නික්මුණේවේද, එබඳු ආබාධය ඇතිකල්හි වහන්දැරිය හැකිය.
“තිණපාදුකා” යම්කිසි තෘණයකින් කරන ලද පාවහනයයි. “හින්තාලපාදුකා” හිඳිපතින් කරනලද පාවහනය. හින්තාලපත්‍රයන් ගෙනුදු නොවටීමය. “කමලපාදුකා” කමලනම් තෘණයෙක් ඇත්තේය. එයින් කරනලද පාවහනය. සුවඳ හොටින් කළ පාදුකායිද කියනු ලැබේ. “කම්බලපාදුකා” එළුලොමින් කළ පාදුකාය. “අසඞ්කමනියා” පොළොවෙහි ස්පර්‍ශ කරත්. මොනවට පිහිටියා, නිසලවූවා, පහකොටගත නොහැකිවූවාය.
“අඞ්ගජාතං ඡුපන්ති” අඞ්ගජාතයෙන්ම අඞ්ගජාතය පහයත්. “ඔගාහෙත්‍වා මාරෙන්ති” දියතුළ දැඩිකොට ගල්වා මරත්.
යානාදිපටික්ඛෙපකථා
“ඉත්‍ථියුත්තෙන” දෙනුන් යෙදූ “පුරීරසන්තරෙන” පුරුෂරිය සමග. “පුරිසයුත්තෙන” ගොනුන් යෙදූ “ඉත්‍ථන්තරෙන” ඉතිරි රියැදුරා සමග “ගඞ්ගාමහියා” ගඞ්ගාපූජාවෙහි කෙළීම පිණිස “පුරිසයුත්තං හත්‍ථවට්ටකං” මෙහි පිරිමින් යෙදූ යානය, ගැහැණුරිය සැරියක් හෝ වේවා, පිරිමිරිය සරියෙක් හෝ වේවා වටියි. ඉතින් අදින යානය වනාහි ස්ත්‍රීහු හෝ අදිත්වා, පුරුෂයෝ හෝ අදිත්වා, වටීමය. “සිවිකං” දෝලාවය. “පාටඞ්කිං” හුණදඬුවෙහි එල්වා කළ පල්ලැක්කියයි.
“උච්චාසයනමහාසයනානි” මෙහි ‘උච්චාසයන’ යනු පමණ ඉක්මවාසිටි ඇඳය. ‘මහාසයන’ යනු අකැප පසතුරුණු අතුරණ ලද්දය. ආසන්‍දි ආදීන් අතුරෙහි ‘ආසන්‍දි” යනු පමණ ඉක්මවා සිටි අසුනයි. “පල්ලඞ්කො” (පාදයන්හි) පාදයන්හි චණ්ඩ සත්ත්‍වයන්ගේ රූපසටහන් යොදා කරණ ලද්දේය. “ගොණකො” දිග් ලොම් ඇති මහාකොඳුපලසය. ඒ කොඳුපලසෙහි සතරඟුලෙන් වැඩිවූ ලොමවෙයි. “චිත්තකො” නන්පැහැයෙන් විසිතුරුවූ එළුලොමින් කළ ඇතිරියයි. “පටිකා” ලොමින් කළ සුදු ඇතිරියය. “පටලිකා” ඝනවූ මල් ඇති එළුලොමින් කළ ලේපැහැති ඇතිරියය. ඒ ඇතිරිය ආමලකපට්ටයිද කියනු ලැබේ. “තුලිකා” පියවි පුලුන් පුරවාකළ බිසිය. “විකතිකා” සිංහව්‍යාඝ්‍රාදි රූපයෙන් විසිතුරුවූ එළුලොමින් කළ ඇතිරියය. “උද්දලොමී” දෙකොණෙහි නැගි දාව ඇති එළුලොමින් කළ ඇතිරියය. “උද්දලොමං”යි පාඨයක් වේ. “එකන්තලොමි” එක් කොනක නැගි දාව ඇති එළුලොමින් කළ ඇතිරියය. “කට්ඨිස්සං” රන්හුයෙන් මැසූ, කිහිරිහු අතරතුර රන්හූ ඇතුල්කොට වියූ පසුතුරුණුය. “කොසෙය්‍යං” රනින් ආලේපකළ කිහිරිහුමුවා පසුතුරුණුය. පිරිසිදු කොසෙය්‍ය වනාහි වටියි.
“කුත්තතං” සොළොසක් නාටකස්ත්‍රීන්ට සිට නැටීමට යෝග්‍ය වූ එළුලොමින් කළ ඇතිරියය. “හත්‍ථත්‍ථර අස්සත්‍ථරා” ඇත් අස්පිටෙහි ඇතිරිය ආස්තරණයෝමය. රථාස්තරණයෙහිද මෙමනය වේ. “අජිනප්පවෙණි” අඳුන්දිවිසමින් මඤ්ච ප්‍රමාණයෙන්, ඉතා සියුම් බැවින් පටකීපයක් කොට මසා කළ ඇතිරියය. “කදලිමිගාපවරපච්චත්‍ථරණං” කෙහෙලිනම් මුවසමක් ඇත්තේය. එයින්කළ උතුම්වූ පසුතුරුණුය යන අර්‍ත්‍ථයි. ඒවනාහි සුදුවත මතුවෙහි කෙහෙල්මුවසම අතුරා මසා කරත්. “සඋත්තරච්ඡදං” උත්තරච්ඡදය සහිතවූ මතු බඳිනලද රතු වියන් සමග යන අර්‍ත්‍ථයි. සුදු වියන් ඇති සෙනසුනද යට ඇකැප පසුතුරුණු ඇති කල්හි නොවටියි. නැති කල්හි වටියි. “උභතො ලොහිතකූපධානං” හිස තබන කොට්ටයද, පා තබන කොට්ටයද යන ඇඳ දෙකොන තැබූ ලේපැහැති කොට්ටය. මෙය කැප නොවේ. යම්මේ එක්ම කොට්ටයක්, දෙපස රතු හෝ වේද, පියුම් පැහැත්තේ වේද, විසිතුරු වේද, ඉදින් පමණින් යුක්තවූයේ නම් වටියි. පමණ ඉකුත්වූ මහාකොට්ටය ප්‍රතික්‍ෂෙප කරණලදී.
සබ්බචම්මපටික්ඛෙපාදිකථා
“දීපිච්ඡාපො” දිවිපැටවකු සේ “ඔරුම්ඛීයන්ති” බිතුදඬු ආදීන්හි වෙළාබඳිත්.
“අභිනිසීදිතුං” පිටදී හිඳින්නට. “ගිලානෙන භික්‍ඛුනා උපාහනෙන” මෙහි යමෙක් වහන් නැතිව ගම්වදින්නට නොහැක්කේද, හෙතෙමේ ගිලාන නම් වේ.