සඞ්ඝභෙදෙඅනාපත්තිවස්සච්ඡෙදකථා
“සඞ්ඝො භින්නො” මෙහි සඞ්ඝයා බිඳුනුකල්හි ගොස් කටයුත්තෙක් නැත්තේය. ඒ සඞ්ඝතෙමේ බිඳෙන්නේයයි සැකකරන ලද්දේද, ඒ සඳහා “භින්නො”යි කියනලදි. “සම්බහුලාහි භික්ඛුණීහි සඞ්ඝො භින්නො” මෙහි මෙහෙණන් විසින් සඞ්ඝතෙමේ බිඳින ලදැ’යි නොදතයුතුය. “න ඛො උපාලි භික්ඛුණීසඞ්ඝං භින්දති”යි මෙය වදාරණ ලද්දේය. භික්ෂූහු, මේ මෙහෙණන් නිසා, මේ මෙහෙණන් අනුබලකොට යම් සඞ්ඝ කොටසක් බිඳින්නාහුයයි සැකයක් වේද ඒ කරුණ සඳහා මෙය වදාරණ ලදී.
වජාදීසුවස්සූපගමනකථා
“වජො” ගොපලුන් වසන තැනය. “යෙන වජො” මෙහි ගොපලුන් සමග ගිය ඒ මහණහට ඇවැත් නොවේ.
“උපකට්ඨාය” වස් වසන දවස සමීපවූ කල්හි “සත්ථෙ වස්සං උපගන්තුං” මෙහි වස් එළඹෙන දවස පැමිණි කල්හි ජනසමූහයා හා අදන්මග යන ඒ මහණහු විසින් ‘උපාසකයෙනි’ කිළියක් ලැබිය යුතුය’යි උපාසකයන්ට කියයුතුය. කිළියක් කොට දෙත්නම්, එහි පිවිස, “ඉධ වස්සං උපෙමි”යි තෙවරක් කියයුතුය. කිළියක් කොට නොදෙත්නම්, ශාලාසඞ්ක්ෂෙපයෙන් සිටි ගැලයට වස් එළඹිය යුතුය. එය නොලබන්නහු විසින් ආලය කටයුතුය. අදන්මගයහ. ජනසමූහයෙහි වස් එළඹීම නොවටියි. ආලයනම් ‘මෙහි වස් වසන්නෙමි’යි චිත්තොත්පාද මාත්රයෙකි. ජනසමූහයා මගට පිළිපන්කල්හිම පවාරණ දවස වේ නම්, එහිම පැවරිය යුතුය. එහිම ජනසමූහතෙමේ වසතුළම මහණහු විසින් කැමතිවනලද තැනට පැමිණියේද, පැතූ තැන වැස එහි භික්ෂූන් සමග පැවරිය යුතුය. නැවතද ජනසමූහය වසතුළම අතර එක් ගමෙක සිටී හෝ විසිරේ හෝ එම ගමෙහි මහණුන් සමග වැස පැවරිය යුතුය. නොපවරා ඉන් ඈත යන්නට නොවටියි.
“නාවාය වස්සං” නැවෙහි වස් එළඹෙන්නහු විසින්ද, කිළියෙක්හිම වස් එළඹිය යුතුය. සොයා නොලබන්නහු විසින් ආලය කටයුතුය. නැව තෙමස තුළ මුහුදෙහිම වේද, එහිදීම පැවරිය යුතුය. නැවත නැව ඉවුරක් ලබාද, මේ මහණතෙමේත් ඈත යනු කැමත්තේ වේද, යෑම නොවටියි. නැව ලද ගමෙහිම වැස මහණුන් සමග පැවරිය යුතුය. නැව ඉවුරට අනුවම අන් තැනකයේද, මහණතෙමේද පළමු ලැබූ ගමෙහිම වසනු කැමැත්තේද, ‘නැව යේවා, මහණහු එහිම වැස මහණුන් සමග පැවරිය යුතුය.
මෙසේ ගොපලුන් වසනතැන, ජනසමූහයෙහි, නැවෙහි යන තුන් තැන්හි ඔවුන් සමග යන මහණහට වස් සිඳීමෙහි ඇවැත් නැත්තේය. පවාරණයද ලබයි. පළමුවූ ‘චණ්ඩවන මෘගයන් විසින් පෙළන ලද්දාහු වෙත්, යනාදිවූ සඞ්ඝභෙදය කෙළවරකොට ඇති වස්තූන්හි හුදෙක් ඇවැත් නොවේ. පැවරීමද නොලබයි.
“න භික්ඛවෙ රුක්ඛසුසිරෙ” මෙහි පිරිසිදු වූ රුක්සිදුරෙහිම වස් එළඹීම නොවටියි. මහත්වූ රුක්සිදුර තුළ පුවරු සෙවෙනි කිළියක්කොට එහි කවුළු සහිත දොරකඩක් තබා වස් එළැඹීම වටියි. රුක සිඳ දමා කණුව මත පුවරු සෙවෙනි කිළියකොටද වස් එළැඹීම වටියි. “රුක්ඛවිටතියා” මෙහිද පිරිසිදු වෙළෙස්මාත්රයෙක්හි වස් එළඹීම නොවටියි. මහවෙළෙපෙක්හි අටල්ලක් බැඳ, එතැන්හි පුවරුසෙවෙනි කිළියක්කොට වස් එළඹිය යුතුය. “අසෙනාසනිකෙන” යම් සෙනසුනක තණ-පත්-ගඩොල් ගල්-හුණු යන පස්වැදෑරුම් වු ඡදනයන් අතුරෙහි එක්තරා එකකින් සෙවෙනිකළ යෙදූ දොරකවුළු ඇති සෙනසුනක් නැත්තේනම්, එහි වස් නොඑළඹිය යුතුය. “න භික්ඛවෙ ඡවකුටිකායං” මෙහි ඡවකිළි නම්, (දිග් ඇදෙහි පාවිද ඇඳවත යොදා කළ) ටඞ්කිත මඤ්චාදිභෙද ඇති කිළියයි. එහි වස් එළැඹීම නොවටියි. ඒ ඇඳ සොහොනෙහිද දෙවස්ථානයෙහිද තබත්. ගල්කණු සතරක් මතුවෙහි ගල් පුවරු අතුරා කළ ගෙයද ටඞ්කිතමඤ්චයි කියනු ලැබේ. සොහොනෙහි අන් කිළියක්කොට වස් එළඹෙන්නට වටියි. “න භික්ඛවෙ ඡත්තෙ” මෙහිද කණු සතරක ඡත්රය තබා ආවරණකොට දොර යොදා වස්ඵළැඹීම වටියි. මෝ ඡත්රකුටිකා නම් වන්නීය: “චාටියා” මෙහිද ඡත්රයෙහි කියූනයින්ම මහත් කබලකින් කිළියක් කොට වස් එළඹීම වටියි.
අධම්මිකකතිකාදිකථා
“එවරූපා කතිකා” මෙහි මෙබඳු අන්ය වූ අධාර්මික වූ යම් කතිකාවක් වන්නීද, ඕතොමෝ නොකටයුත්තීය යන අර්ත්ථයි. ඒ අධාර්මික කතිකාවගේ ලක්ෂණය සිදුවන පාරාජික වර්ණනාවෙහි කියනලදී.
“පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස” මෙහි හුදෙක් ‘මේ තෙමස මෙහි වස්විසුව මැනවැ’යි මේම පිළිබඳ ගිවිසීමෙහිද, ඇවැත් වේ. ‘මේ තෙමස භික්ෂාව ගනු මැනව, අපි දෙදෙන මෙහිම වස් වසන්නෙමු, එකට උදෙසවා ගන්නෙමු’යි මේ ආදීන්ද, ඔහු ඔහුට ගිවිසීමෙහි දුක්කටය වේ. එදවනාහි පළමුකොට පිරිසිදු සිත් ඇතියහුටය. පසුව විසංවාදනය ප්රත්යයෙහි පළමුකොටද, අපිරිසිදු සිත් ඇතියහුට වනාහි ගිවිසීමෙහි පාචිත්තිය වේ. විසංවාදයෙන් දුක්කටයයි පාචිත්තිය සමග දුක්කටය යෙදේ.