ලිඞ්ගාදිදස්සනකථා
“ආවාසිකාකාරං” ආවාසිකයන්ගේ ආචාරසණ්ඨානය. සියලු තන්හි මේනය වේ. ආකාර නම් යමකින් ව්‍රතයෙන් යුක්තයෝ හෝයි. යුක්ත නොවූවෝ හෝයි ඒ ආවාසික භික්‍ෂූන්ගේ ආචාරසණ්ඨානය ගනු ලැබේ. ලිඞ්ග නම් යම්හෙයකින් ඒ ආවාසිකයන් ඒ ඒ තන්හි සැඟවුනක් හඟවාද, ඒය. නොදක්නා ලබන්නන්ද දන්වාලවයි යන අර්‍ත්‍ථය නිමිත්ත නම්, යමක් දැක ඒ ආවාසිකයෝ ඇත්තාහයි දන්නා ලැබෙත්ද, ඒය. උද්දෙස නම්. යමකින් ඒ ආවාසිකයෝ මෙබඳු පිරිකර ඇත්තාහයි උදෙසත්ද, එය දැක්වීම ලබත් යන අර්‍ත්‍ථයි. මේ සියල්ල මොනවට පණවන ලද ඇඳපුටු ආදියටද, පාහඬ ආදියටද, නමෙකි. යෙදෙන පරිදි යෙදිය යුතුය. ආගන්තුකාකාරාදීන් අතුරෙහිද මෙම නයවේ. එහි “අඤ්ඤාතකං” අනුන් අයත්වූ. “පාදානං ධොතඋදකනිස්සෙකං” පාදධොවනයෙන් ඉසුනු දිය. “පාදානං ධොතඋදකනිස්සෙකං”යි හෝ පාඨය වේ. පාදොවනාදිය ඉසීමය යන අර්‍ත්‍ථයි.
නානාසංවාසකාදිවත්‍ථුසු - සමානසංවාසකදිට්ඨිං” මේ ආගන්තුක භික්‍ෂූහු සමාන සංවාසකහයි ඒ ආගන්තුකයන්ගේ දෘෂ්ටිය. “න පුච්ඡන්ති” ඒ ආගන්තකයගේ ලබ්ධිය නොවිචාරත්. නොවිචාරාම වත්පිළිවෙත්කොට එකට පොහොය කරත්. “නාභි විතරන්ති” ලබ්ධිනානාසංවාසකභාවය මඩින්නට, අභිභවනය කරන්නට නොහැකිවෙත්. ඒ දෘෂ්ටිය නොහරවත් යන අර්‍ත්‍ථයි.
නගන්තබ්බගන්තබ්බවාරකථා
“සභික්‍ඛුකා ආවාසා” යම් ආවාසයක පොහොයකරන භික්‍ෂූහු ඇත්තාහුද, ඒ ආවාසයෙන් මේ මහණතෙමේ එදවස්හිම යන්නට නොහැක්කේද, ඒ ආවාසයට පොහොය නොකොට නොයා යුතුය. “අඤ්ඤත්‍ර සඞ්ඝෙන” සඞ්ඝපහොනක භික්‍ෂූන්ගෙන් වෙන්ව. “අඤ්ඤත්‍ර අන්තරාය” පෙර කියූ දසවැදෑරුම් අනතුරු අතරෙහි යම් අනතුරක් නැතිව සියලු අන්තිම පිරිසිඳීමෙන් තමා සිවුවැනිකොට ඇත්තකු විසින් හෝ අනතුරක් ඇතිකල්හි යෑම වටියි. “අනාවාසො” නවකම් ඇති ශාලාදීවූ යම්කිසි පෙදෙසක් තෙමේ යම්සේ ආවාසාදියට නොයායුතුද, මෙසේ බද්ධසීමාවක පොහොය කරත්ද, පොහොය ඉටීම් ආදිය පිණිස සීමාවකටද නදියකටද නොයා යුතුය. ඉදින් මෙහි කිසි භික්‍ෂුවක් වේද, ඔහු වෙතට යෑම වටියි. හළ උපොසථය ඇති ආවාසයෙන්ද යෑම වටියි. මෙසේ ගියේ ඉටීමද ලබයි. එකචාරික ආරණ්‍යක මහණහු විසින්ද පොහොය දිනයෙහි ගමෙහි පිඬුපිණිස හැසිර තමන්ගේ වෙහෙරටම ආයුතුය. අන් බද්ධසීමාවකට පැමිණේනම්, තමන් වසන තැන සඞ්ඝ උපොසථය නොපවත්නාබැවින් එහි පොහොය කොටම ආයුතුය. පොහොය නොකොට ඊම නොවටියි.
“යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුං” ‘අදම එහි යන්නට හැක්කෙමි’යි යම් ආවාසයක් දන්නේනම්, මෙබඳු ආවාසයට යායුතුය. එහි මහණුන් සමග පොහොය කරන්නාවූද මොහු විසින්ම උපොසථයට අනතුරුකොට කරන ලද්දේ වන්නේයයි.
වජ්ජනීයපුග්ගලසන්දස්සනකථා
“භික්‍ඛුණියා නිසින්නපරිසාය” යනාදි අත්පසට එළැඹීමම පමණ වේ. “අඤ්ඤත්‍ර අවුට්ඨිතාය පරිසාය” යන මෙය පරිවාසිකපාරිසුද්ධි දානයනම්, පිරිස් නැගී සිටිකල්හි පටන් නොවටියි. පිරිස නොනැගිටිකල්හි වනාහි නොවටියි. එහෙයින් “අඤ්ඤත්‍ර අවුට්ඨිතාය පරිසාය”යි වදාළසේක. එහි ලක්‍ෂණය භික්‍ෂුණිවිභඞ්ගයෙහි පාරිවාසියඡන්‍දදාන වර්‍ණනාවෙන් ගතයුතුය. “අනුපොසථෙ” චාතුද්දසිකයද පණ්ණරසිකයද යන මේ පොහොය දෙක හැර අන් දවසෙක. “අඤ්ඤත්‍ර සඞ්ඝසාමග්ගියා” යම්කලෙක කොසම්බක භික්‍ෂූන්ගේ මෙන් සඞ්ඝය බිඳුනු කල්හි නැවැත සඞ්ඝසාමග්‍රිය කෙරේද, එබඳුවූ සඞ්ඝ සාමග්‍රිය හැරය. ඒ සඞ්ඝ සාමග්‍රි උපොසථය කරන දවසෙහිද, “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො සාමග්ගි”යි කියා පොහොය කටයුතුය. යම් කෙනෙක් වනාහි කිසියම් ස්වල්ප කරුණකදී උපොසථය තබා නැවත සමගිවෙත්ද, ඔවුන් විසින් උපොසථයම කටයුතුයි.
උපොසථක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.
වස්සූපනායිකක්‍ඛන්‍ධක වර්‍ණනාව
වස්සූපනායිකානුජානනකථා
වස්සූපනායිකක්‍ඛන්‍ධකයෙහි - “අප්පඤ්ඤත්තො” නොඅනුදන්නා ලද්දේය. විධාන නොකරණ ලද්දේ හෝය. “තෙධ භික්‍ඛූ” ඒ භික්‍ෂූහු ඉධශබ්දය නිපාතමාත්‍රයකි. “සංකායිස්සන්ති” මන්‍දොත්සාහ ඇත්තාහු. නිබද විසීම කරන්නාහුය. “කින්නුඛො වස්සූපනාසිකා” වස් එළඹීම් කොපමණ වේද, “අපරජ්ජුගතාය” ඉක්ම ගිය කල්හි අපරදිනැයි කියූ පෑළවිය දිනය. මේ ආසාළ්හි පෞර්‍ණමියමැයි අපරජ්ජුගතා නම. ඒ ඇසළ මස පෞර්‍ණමීදිනය ඉකුත්වූ කල්හි දෙවන පෑළවිය දිනයෙහි යන අර්‍ත්‍ථයි. දෙවන නයෙහිද, මස ඉකුත් කල්හි මේ ඇසළ මස පෞර්‍ණමියටැයි මාසගතා නම. ඒ ආසාළ්හි පෞර්‍ණමිය මස ඉකුත්කල්හි අතික්‍රාන්ත කල්හි මස පිරුණු කල්හි යන අර්‍ත්‍ථයි. ඒ ආසාළ්හි පෞර්‍ණමියට අනතුරු පෑළවිය දිනයෙහි ආසාළ්හි පෞර්‍ණමියෙන් හෝ අපර පෞර්‍ණමියට අනතුරු පෑළවිය දිනයෙහි වෙහෙර පිළිදැගුම්කොට බොන පැන් හා මුවදෝනා පැන් එළවා තබා සියලු වැඳීම් ආදීවූ සාමීචිකර්‍ම නිමවා “ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි”යි එක්වරක් හෝ දෙතුන්වරක් හෝ වචනයෙන් කියා වස් එළඹිය යුතුය.
වස්සානෙචාරිකාපටික්ඛෙපාදිකථා
“යො පක්කමෙය්‍ය” මෙහි බලාපොරොත්තු රහිතව උපචාරය ඉක්මවා යෑමෙන්ද, අන්තැනක අරුණ නැංවීමෙන්ද, දුක්කටාපත්තිය දතයුතුය. “යො අතික්කමෙය්‍ය” මෙහි විහාර ගණනින් ආපත්තීහු දතයුත්තාහ. ඉදින් එදවස විහාරසියයක උපචාරයට බැස ඉක්මවාද, සියයක් ආපත්තීහු වෙත්. විහාරොපචාරය ඉක්මවා අන්‍ය විහාරයක උපචාරයට නොබැසම නවතීනම් එක්ම ඇවතක් වේ. කිසියම් අනතුරකින් පෙරවස් නොවිසුවහු විසින් පසුවස් එළඹිය යුතුය.