ගමිකාදිනිස්සයවත්ථුකථා
“නිස්සයකරණීයො” කටයුතු නිස ඇත්තේය. මාවිසින් නිශ්‍රය කටයුතුය. ගතයුතුය යන අර්‍ත්‍ථයි. “නිස්සයං අලභමානෙන” තමන් සමග අදන්මගට පිළිපන් නිස දෙන්නකු නැති කල්හි නිස නොලබා නම. මෙසේ නොලබන අනිශ්ශ්‍රිතයහු විසින් බොහෝ දවස් යායුතුය. පෙරද නිසගෙන පෙර විසූ කිසි ආවාසයකට පිවිසේනම්, එක් රැයක් වසන්නහු විසින්ද නිස ගතයුතුය. අතරමග විඩාහරිමින් ජන සමූහයක් හෝ සොයමින් කීපදවසක් වෙසේද ඇවැත් නොවේ. වසතුළ වනාහි නිබද්ධවාසයෙන් විසිය යුතුය. නිසද ගතයුතුය. නැවෙන් යන්නහුට වනාහි වර්‍ෂාඍතුව පැමිණි කල්හිද නිසනොලබන්නහුට ඇවැත් නොවේ.
“යාචියමානෙන” යදිනු ලබන ඒ ගිලනහු විසින් ‘මට යාඥා කරව’යි කියනු ලබන්නේද, මානයෙන් යාඥා නොකෙරේනම්, යායුතුය.
“ඵාසු හොති” ශමථ විදර්‍ශනාවන්ගේ ප්‍රතිලාභ වශයෙන් අරණ්‍ය සේනාසනයෙහි වසන මහණහුට පහසුවේනම් ඔහු විසින් නිසගෙන විසිය යුතුය. මේ පරිහාරය වනාහි, සෝවාන්-සෙදගැමි-අනුගැමි-රහත්හු නොමලබත්. ථාමගතසමාධි ඇත්තාහුද මේ පරිහාරය නොලබත්. විදර්‍ශනාලාභී තෙමේද, මේ පරිහාරය නොලබයි. හළකමටහන් ඇති බාල පෘථග්ජනයා කෙරෙහි කියයුත්තෙක්ම නැත්තේය. යමක්හුගේ වනාහි ශමථය හෝ විදර්‍ශනාව හෝ තරුණවේද, මෙතෙමේ මේ පරිහාරය ලබයි. පවාරණ සඞ්ග්‍රහයද මොහුටම අනුදන්නා ලද්දේය. එහෙයින් මේ පුද්ගලයා විසින් ඇදුරහු පවරා ගිය කල්හිද, යම්කලෙක සුදුසු නිසදෙන්නෙක් එන්නේද, ඔහුගේ ඇසුරෙහි වසන්නෙමි’යි ආභොගකොට නැවත ඇසළ පුන්පොහොය යම්තාක්ද, ඒතාක් අනිශ්ශ්‍රිතව විසීම සුදුසු වේ. ඇසළ මස්හි ආචාර්‍ය්‍ය තෙමේ නොඑන්නේ නම් යම් තැනෙකදී නිස ලැබේද, එහි යායුතුය.
“ගොත්තෙනපි අනුසාවෙතුං” “මහාකස්සපස්ස උපසම්පදාපෙක්‍ඛො”යි මෙසේ ගොත්‍රය කියා අනුශ්‍රාවණය කරන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි.
“ද්වෙ එකානුසාවණෙ” දෙදෙනකු එකට අනුශ්‍රාවණය කිරීමෙහි. එකෙකු විසින් එකක්හට අනිකෙකු විසින් අනිකක්හටැයි මෙසේ එකක්‍ෂණෙයෙහි කර්‍මවාක්‍යය අනුශ්‍රාවණය කරන්නා වූ ආචාර්‍ය්‍යයන් දෙදෙනකුන් විසින් හෝ උපසම්පදා කරන්නට අනුදනිමි යන අර්‍ත්‍ථයි.
“ද්වෙ තයො එකානුසාවණෙ කාතුං තඤ්ච ඛො එකෙන උපජ්ඣායෙන” දෙදෙනකු හෝ තිදෙනකු හෝ පළමු නයින්ම එකට අනුශ්‍රාවණයෙහි ඇතුළත් කරන්නට අනුදනිමි. ඒ අනුශ්‍රාවණ ක්‍රියාවචනාහි එක් උපාද්ධ්‍යායයෙකු කරණකොට කරන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. එහෙයින් එක් ආචාර්‍ය්‍යකු විසින් දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ අනුශ්‍රාවණය කටයුත්තාහ. ආචාර්‍ය්‍යයන් දෙදෙනකු විසින් හෝ තිදෙනකු විසින් හෝ වෙන්වෙන්ව එකකු විසින් එකක්හටයි මෙසේ එක් පහරින්ම දෙකක් හෝ තුනක් හෝ කර්‍මවාක්‍යය කටයුත්තාහ. ඉදින් නොයෙක් ආචාර්‍ය්‍යයෝ නොයෙක් උපාද්ධ්‍යායයෝ වෙත්ද, තිස්ස ස්ථවිරතෙමේ, සුමන ස්ථවිරයන්ගේ සද්ධිවිහාරිකයාහට, සුමන ස්ථවිරතෙමේ තිස්ස ස්ථවිරයන්ගේ සද්ධිවිහාරිකයාහට අනුශ්‍රාවණය කෙරේද, ඔවුනොවුහුද, ගණපූරකයෝ වෙත්නම් වටියි. ඉදින් නොයෙක් උපාද්ධ්‍යායයෝ වෙත්නම්, එක් ආචාර්‍ය්‍යයෙක් වේනම් “නත්‍වෙව නානුපජ්ඣායෙන”යි ප්‍රතික්‍ෂෙප කළබැවින් නොවටියි. මේ සඳහාම මේ ප්‍රතික්‍ෂෙපයයි.
උපසම්පදාවිධිකථා
“පඨමං උපජ්ඣං ගාහාපෙතබ්බො” මෙහි ලොකු කුඩා වරද විමසා අවවාද කරන්නේනුයි උපජ්ඣා නම. ඒ උපාද්ධ්‍යායයා. ‘ස්වාමීනි’ මට උපාද්ධ්‍යාය වනු මැනවැ’යි මෙසේ කියවාගැන්විය යුත්තේය. “විත්‍ථායන්ති” වෙසෙසින් තැතිගත් සිරුරු ඇත්තාහු වෙත්. “උල්ලුම්පතු මං” මා උදුරාවා.
චත්තාරොනිස්සයාදිකථා
“තාවදෙව” උපසපන්වීමට අනතුරුවම. “ඡායා මෙතබ්බා” එක් බඹයක් ඇත්තේ හෝ දෙබඹයක් ඇත්තේ හෙයි ඡායාව මිනිය යුතුය. “උතුපමාණං ආවික්‍ඛිතබ්බං” වර්‍ෂාඍතුය, හේමන්තඍතුය, ග්‍රීෂ්මඍතුය’යි මෙසේ සෘතු ප්‍රමාණය කියයුතුය. මෙහි සෘතුවම සෘතු ප්‍රමාණ නම. ඉදින් වර්‍ෂාසෘතු ආදීහු පරිපූර්‍ණ නොවූවාහු වෙත්ද, යම්පමණ දවසකින් යමක්හට යම් සෘතුවක් අපරිපූර්‍ණවේද, ඒ දවස් සලකා ඒ දිවසභාගය කියයුතුය. නොහොත් ‘මෙනම් සෘතුවය. ඒ සෘතුව පරිපූර්‍ණ වූයේයි හෝ අපරිපූර්‍ණ වූයේය හෝ’යි මෙසේ සෘතුව කියයුතුය. පූර්‍වාහ්ණයයි හෝ සායාහ්ණයයි හෝයි මෙසේ දිවසභාගය කියයුතුය. “සඞ්ගීති” මේ සියල්ලම එක්කොට “තෝ කුමක් ලබහි, තාගේ ඡායාව කවරීද, සෘතුව කිම, දිවසභාගය කවරේදැ’යි විචාරණ ලද්දේ, ‘මෙනම් වර්‍ෂා ඍතුව හෝ හේමන්ත සෘතුව හෝ ග්‍රීෂ්ම සෘතුව හෝ ලබමි, මාගේ ඡායාව මේය, සෘතුව මේය, දිවසභාගය මේය’යි කියව’යි මෙසේ කියයුතුය.
“ඔහාය” හැරදමා, “දුතියං දාතුං” උපසම්පදා මාලකය පටන් තමන් වසන පිරිවෙණට යන මහණහුට දෙවැන්නෙකු දෙන්නට අනුදනිමි. “චත්තාරි ච අකරණීයානි ආචික්‍ඛිතුං” සිවුවැදෑරුම් වු නොකටයුතු කරුණු කියන්නටය යන අර්‍ත්‍ථයි. [missing trans]
“අලබ්හමානාය සාමග්ගියා අනාපත්ති සම්භොගෙ සංවාසෙ” යම්තාක් ඒ ඇවැත නොදන්නා මහණහුට උත්ක්‍ෂෙණීය කර්‍මය කරන්නට සඞ්ඝසාමග්‍රිය නොලැබේද, ඒතාක් ඔහු සමග ධර්‍මාමිෂසම්භොගයෙහිද පොහෝ පවුරුණු ආදිය කිරීම් ප්‍රභේදවූ සංවාසයෙහිද ඇවැත් නොවේ. සෙස්ස සියලු තන්හි කියූ අනුසාරයෙන් මොනවට දැනගත හැකි බැවින් ප්‍රකටමය.
සිංහල සමන්තපාසාදිකාවෙහි දෙසැත්තෑවක් අධිකකොට ඇති වස්තුන්සියයකින් ප්‍රතිමණ්ඩිතවූ මහාඛන්‍ධකය පිළිබඳ අර්‍ත්‍ථවර්‍ණනාව නිමි.
මහාඛන්‍ධක වර්‍ණනාව නිමි.