රාජායතනකථා
“මුචලින්‍දමූලා” මහබෝමැඩින් පැදුම්දිග කොණ පිහිටි මිදෙල් රුක්මුලින් නික්ම “රාජායතනං” දකුණුදිග පිහිටි කිරිපලුරුක කරා එළැඹි සේක. “තෙන ඛො පන සමයෙන” කවර කලෙක්හිද, යත්: කිරිපලුරුක මුල සත්දවසක් මුළුල්ලෙහි එක් පලඟින් හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේට සමතින් නැගිටින දවසෙහි අරුණ නගින වේලාවෙහිම භොජන කෘත්‍යය වියයුතුය’යි දැන සක්දෙව් රජතෙමේ බෙහෙත් අරළු සමග දැහැටි එළවූයේය. භාග්‍යවතුන් වහන්සේ එය පරිභොග කළසේක. පරිභොග කළ ඇසිල්ලෙහිම ශරීරකෘත්‍යය වූයේය. ශක්‍ර තෙමේ මුව දෝනා පැන් පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ මුව දොනාකොට එම රුක්මුල වෙතම වැඩහුන් සේක. මෙසේ අරුණ නැගි කල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි,
ඒකාලයෙහි “තපස්සුභල්ලිකා වාණිජා” තපස්සුද භල්ලිකද යන වෙළෙඳ දෙබෑයෝ “උක්කලා” උක්කලජනපදයෙන් “තං දෙසං” යම් දෙසෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සේක්ද, කවරනම් දෙසෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සේක්ද, යත්: මද්ධ්‍යම දේශයෙහිය. එහෙයින් මැදුම් දෙසට යන්නට දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්යි මෙහි මේ අර්‍ත්‍ථය වේ. “ඤාතිසාලොහිතා දෙවතා” ඒ තපස්සු භල්ලිකයන්ගේ පෙර නෑවූ දෙවතාතොමෝ. “එතදවොච” ඕතොමෝ වනාහි ඒ වෙළඳ දෙබෑයන්ගේ සියලු ගැල් නොපෙරළෙනබවට පත්කළාය. ඉක්බිති ඔවුහු ‘මේ කිමැ’යි මාර්‍ගදෙවතාවනට බිලිපුද කළාහුය. ඔවුන්ගේ බිලියම් කාලයෙහි ඒ දෙවතාතොමෝ නොපෙණෙන සිරුරින් යුක්තව මෙය කිවුය. “මන්‍ථෙනච මධුපිණ්ඩිකායච” නොබැදිපිටියෙන්ද, ගිතෙල්, මී, සකුරු ආදිය සමග යොදා බැදි පිටියෙන්ද, “පතිමානෙථ” උවැටන් කරවු. “තං වො” ඒ උවැටන තොපට. බොහෝ කලක් මුළුල්ලෙහි හිත සැප පිණිස වන්නේය. “යං අම්හාකං” යම් පිළිගැනීමක් වේද, ඒ පිළිගැනීම අපට බොහෝ කල් හිත සැප පිණිස වන්නේය. “භගවතො එතදහොසි” මේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රදහනවීර්‍ය්‍යයෙහි යෙදෙන කාලයෙහි යම් පාත්‍රයක්වීද, ඒ පාත්‍රය සුජාතාව කිරිබත් පිළිගන්වන්නට එන කල්හිම අතුරුදහන් වූයේය. ‘එහෙයින් මට පාත්‍රයෙක් නැත්තේය, පූජිත තථාගතවරයෝ අතින් නොපිළිගත්තාහුමය. කුමකින් මම මන්‍ථය හා මධුපිණ්ඩිකය පිළිගන්නෙම්දැ’යි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් වූයේය.
“පරිවිතක්ක මඤ්ඤාය” මෙයින් පෙර භාග්‍යවතුන් වහන්සේට සුජාතාව විසින් පිළිගැන්නූ බොජුනම ඔජසින් බැඳීම් වසයෙන් සිටියේය. මෙතෙක් කල් බඩගින්නක් නොවූයේමය. පිපාසවත් නොවීය. කයෙහි දුබලබවක් නොවූයේය. දැන් වනාහි මේ භාග්‍යවතුන් වහන්සේට ආහාර පිළිගණු කැමැති බැවින් “න ඛො තථාගතා” යනාදි නයින් පරිවිතර්‍කයක් උපන්නේය. මෙසේ උපන් ඒ පරිවිතර්‍කය තමන්ගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන, “චතුද්දිසා” සිවු දිගින්. “සෙලමයෙ පත්තෙ” මුං පැහැති සෙල්මුවා පාත්‍ර. භාග්‍යවතුන් වහන්සේ මෙයම පිළිගත් සේක. ඒ පාත්‍ර සඳහාම මෙය කියන ලදී. සිවුවරම් මහරජහු වනාහි පළමුකොට ඉන්‍ද්‍රනීල මාණික්‍යමය පාත්‍රයන් එළවූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පාත්‍ර නොපිළිගත් සේක. ඉන්පසු මුං පැහැති සෙල්මුවා මේ පාත්‍ර සතර එළවූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ප්‍රසාදය රකිනු පිණිස පාත්‍ර සතරම පිළිගත් සේක. මහිච්ඡතාවෙන් නොවේ. පිළිගෙනද ඒ පාත්‍ර සතරම යම්සේ එම පාත්‍රයක්වේද, එසේ ඉටූසේක. සිවුදෙනාටම එක්ම සමාන පුණ්‍යවිපාක වූයේය. මෙසේ එකක්කොට ඉටූකල්හි භාග්‍යවතුන් වහන්සේ අභිනව ශෛලමය පාත්‍රයෙහි නොබැදි පිටි හා ගිතෙල් මී සකුරු ආදිය යොදා කළ බැදි පිටිද පිළිගත් සේක. “පච්චග්ඝෙ” මහගිවූ වෙන් වෙන්ව මහගිවූ යන අර්‍ත්‍ථයි. නොහොත් “පච්චග්ඝෙ” අලුත්වූ එකෙණෙහි උපන්නාවූ යන අර්‍ත්‍ථයි. මේ දෙබෑ වෙළෙඳුන්ට වචන දෙකක් වීනුයි. ද්වෙවාචිකා නම් වූහ. නොහොත් බුදුන් දහම් සරණ යෙම්හයි යන වචන දෙකින් උපාසකභාවයට පැමිණියාහුය යන අර්‍ත්‍ථයි. ඔවුහු මෙසේ උපාසකභාවය දන්වා භාග්‍යවතුන් වහන්සේට, ‘ස්වාමීනි’ දැන් අප විසින් අද පටන් කවරක්හට වැඳීම හා දුරදී දැක අසුනෙන් නැගී සිටීම කටයුතුදැ’යි විචාළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිස පිරිමැද්ද සේක. කෙශයෝ අතෙහි ලැගුනාහුය. ‘මේ කෙශයන් පරිහරණය කරවු’යි ඒ කෙශයන් ඔවුනට දුන්සේක. ඔවුහු කෙශධාතු ලබාගෙන අමෘතයෙන් අභිෂෙක ලද්දහු මෙන් තුටු පහටුව භාග්‍යවතුන් වහන්සේට වැඳ ගියහ.
බ්රහ්මයාචනකථා
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දවස ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට කියූ ආකාර ඇති මේ සියලු කෘත්‍යය කොට නිමවා කිරිපලු රුක්මුලින් අජපාල නිග්‍රොධමූලය කරා එළැඹි සේක. “පරිවිතක්කො උදපාදි” එහි වැඩහුන් ඇසිල්ලෙහිම සියලු බුදුවරුන් විසින් පුරුදු කරණ ලද, මැනැවින් පුරුදු කරණලද සිත පිළිබඳ වූ, “අධිගතො ඛො ම්‍යායං ධම්මො” යනාදීවූ මේ පරිවිතර්‍කය පහළවූයේය. සියලු බුදුවරුන්ට මේ පරිවිතර්‍කය කුමක් හෙයින් උපදීද යත්: ධර්‍මයෙහි මහත්බව හා ගරුබව ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමෙන් හා බ්‍රහ්මයා විසින් යාඥා කළකල්හි දේශනා කරනු කැමැති බැවින්ද යන මේ දෙකරුණෙහි බුදුවරයෝ ‘මෙසේ විතර්‍කණය කළ කල්හි බ්‍රහ්ම තෙමේ අවුත් ධර්‍මදේශනාවට යාඥා කරන්නේය. එයින් සත්ත්‍වයෝ ධර්‍මයෙහි ගෞරවය උපදවන්නාහුය, ලෝවැසි තෙමේ බඹහු ගරුකොට ගත්තේය’යි දනීමය. මේ දෙකරුණ හේතුකොට මේ විතර්‍කය උපදියි.