තිරච්ඡානගතවත්ථුකථා
“නාගයොනියා අට්ටීයති” ඒ නාග තෙමේ ප්‍රවෘත්තියෙහි කුසල විපාකය කරණකොටගෙන දිව්‍ය සම්පත්තිය සමානවූ ඓශ්චර්‍ය්‍ය සම්පත්තිය අනුභව කෙරේ. අකුශලවිපාක ප්‍රතිසන්‍ධි ඇති ඔහුගේ ස්වකීය ජාති ඇත්තියක සමග මෙවුන්දම් සෙවුමෙහිද නිසැක නින්දට බැසීමෙහිද දියෙහි හැසිරෙන මැඩියන් බුදින නාගශරීරය පහළ වේ. එහෙයින් හෙතෙමේ ඒ නාගයොනිය කරණකොට පෙළෙනු ලැබේ. “තස්ස භික්‍ඛුනො නික්‍ඛන්තෙ” ඒ මහණහු නිකුත්කල්හි. නොහොත් ඒ මහණහුගේ නික්මීමෙහි, යන අර්‍ත්‍ථයි. “විස්සත්‍ථො නිද්දං ඔක්කමි” ඔහු නොනික්මුනු කල්හි මරබියෙන් සිහිය නොහැර කපිනිද්‍රා වශයෙන්ම නිදනුයේ නික්මුනු කල්හි සිහිය හැර නිසැකව නිරාසංකව මහනින්දට පැමිණියේය. “විස්සරමකාසි” භයවශයෙන් ශ්‍රමණ සංඥාව හැර විරූප වූ මහහඬක් කෙළේය.
“තුම්හෙ ච ඛවත්‍ථ” තෙපි වනාහි වූවහු. අකාරලොපයකොට කියනලදී. තෙපි නාගයෝ ධ්‍යානවිදර්‍ශනා මාර්‍ගඵලයන්ට අභව්‍ය බැවින් මේ ධර්‍ම විනයයෙහි නොවැඩෙන ස්වභාවය ඇත්තාහුය. හටගත් ස්වභාවය ඇත්තහු නොවහුය යන මේ, මෙහි සඞ්ක්‍ෂිප්තාර්‍ත්‍ථයයි. “සජාතියා” හා මෙණෙවියක සමග. යම්කලෙක වනාහි මනුෂ්‍යස්ත්‍රී ආදිභෙද ඇති අන් ජාති ඇත්තියක සමග මෙවුන්දම් සෙවනය කෙරේද, එකල්හි දෙවපුත්‍රයකු මෙන් වේ. මෙහිද ප්‍රවෘත්තියෙහි නිතර ස්වභාව පහළවන කර්‍මදර්‍ශන වශයෙන් ප්‍රත්‍යය දෙකෙකැයි කියන ලදී. කාලපසෙක්හි නාගයාගේ ස්වභාවපාතුකර්‍මය වේ. ප්‍රතිසන්‍ධි කාලයෙහි - හැවහරිණ කාලයෙහි - සමානජාති ඇත්තියක සමග මෙවුන්දම් සෙවනය කරන කාලයෙහි - නිසැකවූ නින්දට බට කාලයෙහි චුතිකාලයෙහි යන කලාපයෙහිය.
“තිරච්ඡානගතො භික්‍ඛවෙ” යන මෙහි නාගයෙක් හෝ වේවා, සුපර්‍ණමාණවකාදීන් අතුරෙහි එක්තරා එකෙක් හෝ වේවා, යටත් පිරිසෙයින් සක්දෙව් රජහු පටන් යම්කිසි නොමිනිස් ජාති ඇති සියලු සත්‍වතෙමේ මේ අර්‍ත්‍ථයෙහි තිරච්ඡානගතැයි දතයුතුය. හෙතෙමේ උපසපන් නොකටයුතුය. පැවිදි නොකටයුතුය. උපසපන් වූයේද, නැසිය යුතුය.
තිරච්ඡානගතවත්‍ථුකථා නිමි.
මාතුඝාතකාදිවත්ථුකථා
මාතෘඝාතකාදි වස්තූන්හි “නික්‍ඛන්නිං කරෙය්‍ය” නිෂ්ක්‍රමණය නිර්‍ගමනය ශොධනය කරන්නෙමි, යන අර්‍ත්‍ථයි. “මාතුඝාතකො භික්‍ඛවෙ” මෙහි තමන් මනුෂ්‍යජාති ඇත්තාවූම යමකු විසින් මනුෂ්‍ය ස්ත්‍රී වූ මවුතොමෝ සිතා දැන දිවියෙන් තොරකරන ලදද, මෙතෙමේ අනතුරුව නිරයෙහි විපාක දෙන මාතෘඝාතක කර්‍මයෙන් මාතෘඝාතක වේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය. යමකු විසින් මනුෂ්‍ය ස්ත්‍රියක්වූද, සිය මවුනොවූ වැඩූ මවු හෝ සුළුමවු හෝ මනුෂ්‍ය ස්ත්‍රියක් නොවූ වැදූ මවු හෝ නසන ලදද, ඔහුට පැවිද්ද නොවළකන ලදය. ආනන්තරිකයෙක්ද නොවේ. තමන් තිරිසන් ගියාවූ යමකු විසින් මනුෂ්‍යස්ත්‍රී වූ මවු නසන ලදද, හෙතෙමේද ආනන්තරික නොවේ. තිරිසන්ගිය බැවින් මොහුට ප්‍රව්‍රජ්‍යාව වළකන ලදය. සෙස්ස ප්‍රකටමය. පිතෘඝාතකයා කෙරෙහිද මේනයම වේ. වේසියකගේ පුත්‍රයෙක්වේද, මෙතෙමේ මාගේ පියායි නොදනීද, යමක්හුගේ ශුක්ලයෙන් උපන්නේද, ඒ පියතෙමේත් මොහු විසින් නසන ලද්දේනම් පිතෘඝාතක සඞ්ඛ්‍යාවටම යන්නේය. ආනන්තරියද පහසන්නේය.
අරහන්තඝාතක තෙමේද, මිනිස් රහතුන්ගේ වසයෙන්ම දතයුතුය. මිනිස් ජාතියෙහි වනාහි යටත්පිරිසෙයින් නොපැවිදිවූද රහත් දරුවකු හෝ රහත් දැරියක හෝ දැන දිවියෙන් තොරකරන්නේ අරහන්තඝාතකම වේ. ආනන්තරියද පහස්නේය. මොහුට ප්‍රව්‍රජ්‍යාවද වළකන ලදය. අමනුෂ්‍යජාති ඇති රහතකු හෝ මනුෂ්‍යජාතික වූ අනාගාමී ආදීවූ සෙසු ආර්‍ය්‍යය පුද්ගලයකු හෝ නසා ආනන්තරික නොවේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද නොවළකන ලදය. කර්‍මය වනාහි බලවත් වේ. තිරච්ඡානයෙක් තෙමේ මිනිස් රහතකුද නසා සිටියේ ආනන්තරික නොවේ. කර්‍මය වනාහි බැරෑරුම්ය. මේ මෙහි විනිශ්චයයි. පෙළෙහි වනාහි “සචාචමයං”යි යමක් වදාරණ ලදද, එහි “සචෙමයං”යි මේ අර්‍ත්‍ථයම වේ. “සචෙ චෙ”යි කියයුත්තෙහි “සචාච” යන මේ නිපාතය කියන ලද්දේය. “සචෙච” යිම හෝ පාඨ වේ. එහි “සචෙ” යනු සම්භවනාර්‍ත්‍ථයෙහි නිපාතයි. ච යනු පදපූරණමාත්‍රයෙහිය. “සචජ්ජ මයං” යනුද පාඨයි. එහි “සචෙ අජ්ජ මයං” යන අර්‍ත්‍ථයි.
“භික්‍ඛුණිදූසකො භික්‍ඛවෙ” යන මෙහි එහි යමෙක් තෙමේ ප්‍රකෘති ස්වභාවය ඇති මෙහෙණක තෙවැදෑරුම් මග අතුරෙහි එක්තරා මගෙක දූෂිත කෙරේද, මෙතෙමේ භික්‍ඛුණීදූසක නම. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය. යමෙක් වනාහි කායසංසර්‍ගයෙන් ශීල විනාශයට පමුණුවාද, ඔහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද නොවළකන ලදය. බලාත්කාරයෙන් සුදුවත් ඇන්දවීමකොට නොකැමැත්තියකම දූෂිත කරනුයේද, භික්‍ඛුණීදූසකම වේ. බලාත්කාරයෙන් සුදුවත් ඇන්දවීමකොට කැමැත්තියක දූෂිත කරණුයේ භික්‍ඛුණිදූසක නොවේ. ගිහිබව පිළිගත් ඇසිල්ලෙහිම ඕතොමෝ භික්‍ෂුණියක නොවන්නීද එහෙයිනි. වරක් සිල්විපතට පැමිණියක පසුව දූෂිත කරණුයේ, සික්‍ඛමානාසාමණෙරීන් කෙරෙහිද වැරදි ලෙස පිළිපදිනුයේ භික්‍ඛුණීදූසකයෙක් නොම වේ. ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද ලබයි.