මාතුඝාතකාදිවත්ථුකථා
මාතෘඝාතකාදි වස්තූන්හි “නික්‍ඛන්නිං කරෙය්‍ය” නිෂ්ක්‍රමණය නිර්‍ගමනය ශොධනය කරන්නෙමි, යන අර්‍ත්‍ථයි. “මාතුඝාතකො භික්‍ඛවෙ” මෙහි තමන් මනුෂ්‍යජාති ඇත්තාවූම යමකු විසින් මනුෂ්‍ය ස්ත්‍රී වූ මවුතොමෝ සිතා දැන දිවියෙන් තොරකරන ලදද, මෙතෙමේ අනතුරුව නිරයෙහි විපාක දෙන මාතෘඝාතක කර්‍මයෙන් මාතෘඝාතක වේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය. යමකු විසින් මනුෂ්‍ය ස්ත්‍රියක්වූද, සිය මවුනොවූ වැඩූ මවු හෝ සුළුමවු හෝ මනුෂ්‍ය ස්ත්‍රියක් නොවූ වැදූ මවු හෝ නසන ලදද, ඔහුට පැවිද්ද නොවළකන ලදය. ආනන්තරිකයෙක්ද නොවේ. තමන් තිරිසන් ගියාවූ යමකු විසින් මනුෂ්‍යස්ත්‍රී වූ මවු නසන ලදද, හෙතෙමේද ආනන්තරික නොවේ. තිරිසන්ගිය බැවින් මොහුට ප්‍රව්‍රජ්‍යාව වළකන ලදය. සෙස්ස ප්‍රකටමය. පිතෘඝාතකයා කෙරෙහිද මේනයම වේ. වේසියකගේ පුත්‍රයෙක්වේද, මෙතෙමේ මාගේ පියායි නොදනීද, යමක්හුගේ ශුක්ලයෙන් උපන්නේද, ඒ පියතෙමේත් මොහු විසින් නසන ලද්දේනම් පිතෘඝාතක සඞ්ඛ්‍යාවටම යන්නේය. ආනන්තරියද පහසන්නේය.
අරහන්තඝාතක තෙමේද, මිනිස් රහතුන්ගේ වසයෙන්ම දතයුතුය. මිනිස් ජාතියෙහි වනාහි යටත්පිරිසෙයින් නොපැවිදිවූද රහත් දරුවකු හෝ රහත් දැරියක හෝ දැන දිවියෙන් තොරකරන්නේ අරහන්තඝාතකම වේ. ආනන්තරියද පහස්නේය. මොහුට ප්‍රව්‍රජ්‍යාවද වළකන ලදය. අමනුෂ්‍යජාති ඇති රහතකු හෝ මනුෂ්‍යජාතික වූ අනාගාමී ආදීවූ සෙසු ආර්‍ය්‍යය පුද්ගලයකු හෝ නසා ආනන්තරික නොවේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද නොවළකන ලදය. කර්‍මය වනාහි බලවත් වේ. තිරච්ඡානයෙක් තෙමේ මිනිස් රහතකුද නසා සිටියේ ආනන්තරික නොවේ. කර්‍මය වනාහි බැරෑරුම්ය. මේ මෙහි විනිශ්චයයි. පෙළෙහි වනාහි “සචාචමයං”යි යමක් වදාරණ ලදද, එහි “සචෙමයං”යි මේ අර්‍ත්‍ථයම වේ. “සචෙ චෙ”යි කියයුත්තෙහි “සචාච” යන මේ නිපාතය කියන ලද්දේය. “සචෙච” යිම හෝ පාඨ වේ. එහි “සචෙ” යනු සම්භවනාර්‍ත්‍ථයෙහි නිපාතයි. ච යනු පදපූරණමාත්‍රයෙහිය. “සචජ්ජ මයං” යනුද පාඨයි. එහි “සචෙ අජ්ජ මයං” යන අර්‍ත්‍ථයි.
“භික්‍ඛුණිදූසකො භික්‍ඛවෙ” යන මෙහි එහි යමෙක් තෙමේ ප්‍රකෘති ස්වභාවය ඇති මෙහෙණක තෙවැදෑරුම් මග අතුරෙහි එක්තරා මගෙක දූෂිත කෙරේද, මෙතෙමේ භික්‍ඛුණීදූසක නම. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය. යමෙක් වනාහි කායසංසර්‍ගයෙන් ශීල විනාශයට පමුණුවාද, ඔහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද නොවළකන ලදය. බලාත්කාරයෙන් සුදුවත් ඇන්දවීමකොට නොකැමැත්තියකම දූෂිත කරනුයේද, භික්‍ඛුණීදූසකම වේ. බලාත්කාරයෙන් සුදුවත් ඇන්දවීමකොට කැමැත්තියක දූෂිත කරණුයේ භික්‍ඛුණිදූසක නොවේ. ගිහිබව පිළිගත් ඇසිල්ලෙහිම ඕතොමෝ භික්‍ෂුණියක නොවන්නීද එහෙයිනි. වරක් සිල්විපතට පැමිණියක පසුව දූෂිත කරණුයේ, සික්‍ඛමානාසාමණෙරීන් කෙරෙහිද වැරදි ලෙස පිළිපදිනුයේ භික්‍ඛුණීදූසකයෙක් නොම වේ. ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද ලබයි.
“සඞ්ඝභෙදකො භික්‍ඛවෙ” මෙහි යමෙක් දෙව්දත්හු මෙන් සාසන ධර්‍මයට විරුද්ධ වූවක්, විනයට විරුද්ධවූවක්කොට ධර්‍මවිනයෙන් පහකොට, අපලොකනාදි චතුර්විධ කර්‍මයන් අතුරෙන් එක්තරා එකක්හුගේ වසයෙන් සඞ්ඝයා බිඳීද, මෙතෙමේ සඞ්ඝභෙදක නම්වේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය.
“ලොහිතුප්පාදකො භික්‍ඛවෙ” මෙහිද දෙව්දත්හු මෙන් දුෂ්ටචිත්තයෙන් වධකචිත්තයෙන් තථාගතයන් වහන්සේගේ දිවමන් සිරුරෙහි කුඩා මැස්සකු විසින් බොන පමණ නමුදු ලේ උපදවාද, මෙතෙමේ ලොහිතුප්පාදක නම්වේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය. යමෙක් වනාහි රොගව්‍යුපශමය පිණිස ජීවකයා මෙන් සැතින් පලා කුණුමස්ද ලේද බැහැරකොට පහසු කෙරේද, හෙතෙමේ බොහෝ පින් රැස් කෙරේ.
උභතොබ්යඤ්ජනකවත්ථුකථා
“උභතො බ්‍යඤ්ජනකො” ස්ත්‍රීනිමිත්තොත්පාදක කර්‍මයෙන්ද, පුරුෂනිමිත්තොත්පාදක කර්‍මයෙන්ද යන දෙපසින් වන නිමිත්ත මොහුට ඇත්තේනුයි. උභතොබ්‍යඤ්ජනක නම්වේ. “කරොති” පුරුෂනිමිත්තෙන් ස්ත්‍රීන් කෙරෙහි, මෛථුනව්‍යතික්‍රමණය කරයි. “කාරාපෙති” අන්හු සමාදන් කරවා තමන්ගේ ස්තී‍්‍රනිමිත්තෙහි කරවයි. මෙසේ හෙතෙමේ ඉත්‍ථිඋභතොඛ්‍යඤ්ජනක - පුරිසඋභතොඛ්‍යඤ්ජනකයි දෙවැදෑරුම් වේ.
එහි ඉත්‍ථිඋභතොඛ්‍යඤ්ජනකයාගේ ස්ත්‍රීනිමිත්ත ප්‍රකටව පෙනේ. පුරුෂනිමිත්ත සැඟවී සිටියේය. පුරිසඋභතොඛ්‍යඤ්ජනකයාගේ පුරුෂ නිමිත්ත ප්‍රකට වේ. ස්ත්‍රීනිමිත්ත සැඟවී ගත්තේය. ස්ත්‍රීන් කෙරෙහි පුරිසබව කරන්නා වූ ඉත්‍ථිඋභතොබ්‍යඤ්ජනකයාගේ ස්ත්‍රීනිමිත්ත වැසීයන්නේය. පුරුෂනිමිත්ත ප්‍රකට වේ. පුරුෂයන් පිළිබඳ ස්ත්‍රීභාවයට එළඹෙන්නාවූ පුරිසඋභතොබ්‍යඤ්ජනකයාගේ පුරුෂ නිමිත්ත වැසීයන්නේය. ස්ත්‍රීනිමිත්ත ප්‍රකට වේ. ඉත්‍ථිඋභතොඛ්‍යඤ්ජනක තෙමේ තෙමේම ගැබ් ගණියි. අන්හුද ගන්වයි. පුරිසඋභතොඛ්‍යඤ්ජනකතෙමේ තෙමේ ගැබ් නොගනියි. අන්හු ගන්වයි. මේ මොවුන්ගේ වෙනසය. කුරුන්‍දියෙහි වනාහි ‘ඉදින් ප්‍රතිසන්‍ධියෙහි පුරුෂලිඞ්ගයද, ප්‍රවෘත්තියෙහි ස්ත්‍රීලිඞ්ගයද උපදීයිද ඉදින් ප්‍රතිසන්‍ධියෙහි ස්ත්‍රීලිඞ්ගයද, ප්‍රවෘත්තියෙහි පුරුෂලිඞ්ගයද උපදීයිද කියන ලද්දේද, එහි විචාරණ ක්‍රමය විස්තර වශයෙන් අත්‍ථසාලිනී නම් ධර්‍මසඞ්ගණීඅර්‍ත්‍ථකථාවෙන් දතයුතුය. මේ දෙවැදෑරුම්වූම උභතොබ්‍යඤ්ජනකයාහට ප්‍රව්‍රජ්‍යාව නැත්තීමය. උපසම්පදාව නැත්තීය. මෙහි මෙය දතයුතුය.
අනුපජ්ඣායකාදිවත්ථුකථා
“තෙන ඛො පන සමයෙන” යම්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද නොපණවන ලදද, එකල්හි, “අනුපජ්ඣායකං” උපාද්ධ්‍යාය ග්‍රහණය නොකරවා, මුළුමනින් උපාද්ධ්‍යයයාගෙන් තොරවූ. මෙසේ උපසපන්වූවෝ ධර්‍මයෙන් සඞ්ග්‍රහ නොලබත්. ආමිසයෙන් සඞ්ග්‍රහ නොලබත්. ඔවුහු පිරිහෙත්මය. නොවැඩෙත්. “න භික්‍ඛවෙ අනුපජ්ඣායකො” උපාද්ධ්‍යායයා නොගන්වා උපාද්ධ්‍යායයා නැත්තේ උපසපත් නොකටයුතුය. “ආපත්ති දුක්කටස්ස” ශික්‍ෂාපදප්‍රඥප්තියෙහි පටන් මෙසේ උපසපන් කරන්නහුට ඇවැත් වේ. කර්‍මය වනාහි කොප්‍ය නොවේ. කෙනෙක් කොප්‍යවේයයි කියත්. එය නොගතයුතුය. “සඞ්ඝෙන උපජ්ඣායෙහ” යනාදීවූද උභතොඛ්‍යඤ්ජනක උපාද්ධ්‍යායයා කෙළවරකොට ඇතිතන්හි මේනයම වේ.