තිත්ථියපක්කන්තකකථා
“තිත්ථියපක්කන්තකො භික්ඛවෙ” තීර්ථකයන් අතරට ගියේ පිවිසියේ තිත්ථියපක්කන්තක නම. හෙතෙමේ හුදෙක් උපසපන් නොකටයුත්තේ නොවේ. වැලි කුමක් නොකටයුතුද, යත්: පැවිදිද නොකටයුතුය. මේ එහි විනිශ්චය වේ. උපසපන් මහණෙක්තෙමේ තීර්ථක වන්නෙමි’යි ශ්රමණලිඞ්ගසඞ්ඛ්යාත ස්වකීය ලිඞ්ගයෙන්ම ඒ තීර්ථකයන්ගේ අසපුවටයේද, පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. ඒ තීර්ථකවේශය ගත් ඇසිල්ලෙහිම තිත්ථියපක්කන්තක වේ. යමෙක්, තෙමේම ‘තීර්ථක වන්නෙමි’යි කුසවැහැරි ආදිය අඳීද, තිත්ථිය පක්කන්තකමය. යමෙක් වනාහි නග්නව ස්නානය කරනුයේ තමන් දෙස බලා ‘මට ආජීවකභාවය හොබියි, ආජීවකයෙක් වෙන්නෙමි’යි සිවුරු නොගෙන නග්නවම ආජීවකයන්ගේ අසපුවටයේද, පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. මොහුට අතරමගදී හිරිඔතප් උපදීනම්, දුක්කට දෙසීමෙන් මිදෙන්නේය. ඔවුන්ගේ අසපුවට ගොස්ද ඔවුන් විසින් හෝ අවවාද කරන ලදුයේ තෙමේ හෝ ‘මොවුන්ගේ පැවිද්ද ඉතා දුකැ’යි දැක නවත්නේද, මිදේමය.
‘තොපගේ පැවිද්දෙහි කුමක් උත්කෘෂ්ටද’යි විචාරා ‘හිසකෙස් රැවුලු සිඳීම් ආදිය’යි කියන ලදුයේ එක් කෙසක් නමුදු සිඳවාද, අක්පත්ලෙන් හිඳ තපස් රැකීම් ආදීවූ ව්රත හෝ ගණීද, මොණරපිල් ආදිය හෝ අඳීද, ඔවුන්ගේ වේශය ගනීද, ‘මේ පැවිද්ද ශ්රේෂ්ඨය’යි ශ්රේෂ්ඨභාවයට හෝ පැමිණේද, නොමිදෙන්නේය. තිත්ථියපක්කන්තක වේ. ‘මට තීර්ථකප්රජ්යාව හොබීද, නොහොබීදැ’යි විමසනු පිණිස කුසවැහැරී ආදිය අඳීද, ජටාව හෝ බඳීද, තීර්ථක පිරිකරද හෝ ගනීද, යම්තාක් ඒ ලබ්ධිය නොපිළිගනීද, ඒතාක් රැකේ. පිළිගත් ඇසිල්ලෙහි තිත්ථියපක්කන්තක වේ. සොරු ආදීන් විසින් පැහැරගත් සිවුරු ඇත්තේ, කුසවැහැරි ආදිය අඳිනුයේ, රජබිය ආදිය කරනකොට හෝ තීර්ථකවේශය ගන්නේද ලබ්ධිය නැති බැවින් තිත්ථියපක්කන්තක නොවේමය.
මේ තිත්ථියපක්කන්තක නම් උපසපන් මහණහු කරනකොට කියන ලදී. එහෙයින් හෙරණතෙමේ සියවෙසින්ම තීර්ථායතනයට ගියේද, නැවත පැවිද්ද හා උපසම්පදාව ලබා’යි කුරුන්දියෙහි කියනලදී. පළමුවූ ථෙය්යසංවාසක තෙමේ අනුපසම්පන්න වචනයෙන් කියන ලදී. එහෙයින් උපසම්පන්න තෙමේ කූටවස් ගණින්නේද, අශ්රමණ නොවේ. ශ්රමණ වේශයෙහි උත්සාහ ඇතියේ පාරාජිකයට පැමිණ භික්ෂුවර්ෂාදිය ගණින්නේද ථෙය්යසංවාසය නොවේයයි දතයුතුය.
තිත්ථියපක්කන්තකකථා නිමි.
තිරච්ඡානගතවත්ථුකථා
“නාගයොනියා අට්ටීයති” ඒ නාග තෙමේ ප්රවෘත්තියෙහි කුසල විපාකය කරණකොටගෙන දිව්ය සම්පත්තිය සමානවූ ඓශ්චර්ය්ය සම්පත්තිය අනුභව කෙරේ. අකුශලවිපාක ප්රතිසන්ධි ඇති ඔහුගේ ස්වකීය ජාති ඇත්තියක සමග මෙවුන්දම් සෙවුමෙහිද නිසැක නින්දට බැසීමෙහිද දියෙහි හැසිරෙන මැඩියන් බුදින නාගශරීරය පහළ වේ. එහෙයින් හෙතෙමේ ඒ නාගයොනිය කරණකොට පෙළෙනු ලැබේ. “තස්ස භික්ඛුනො නික්ඛන්තෙ” ඒ මහණහු නිකුත්කල්හි. නොහොත් ඒ මහණහුගේ නික්මීමෙහි, යන අර්ත්ථයි. “විස්සත්ථො නිද්දං ඔක්කමි” ඔහු නොනික්මුනු කල්හි මරබියෙන් සිහිය නොහැර කපිනිද්රා වශයෙන්ම නිදනුයේ නික්මුනු කල්හි සිහිය හැර නිසැකව නිරාසංකව මහනින්දට පැමිණියේය. “විස්සරමකාසි” භයවශයෙන් ශ්රමණ සංඥාව හැර විරූප වූ මහහඬක් කෙළේය.
“තුම්හෙ ච ඛවත්ථ” තෙපි වනාහි වූවහු. අකාරලොපයකොට කියනලදී. තෙපි නාගයෝ ධ්යානවිදර්ශනා මාර්ගඵලයන්ට අභව්ය බැවින් මේ ධර්ම විනයයෙහි නොවැඩෙන ස්වභාවය ඇත්තාහුය. හටගත් ස්වභාවය ඇත්තහු නොවහුය යන මේ, මෙහි සඞ්ක්ෂිප්තාර්ත්ථයයි. “සජාතියා” හා මෙණෙවියක සමග. යම්කලෙක වනාහි මනුෂ්යස්ත්රී ආදිභෙද ඇති අන් ජාති ඇත්තියක සමග මෙවුන්දම් සෙවනය කෙරේද, එකල්හි දෙවපුත්රයකු මෙන් වේ. මෙහිද ප්රවෘත්තියෙහි නිතර ස්වභාව පහළවන කර්මදර්ශන වශයෙන් ප්රත්යය දෙකෙකැයි කියන ලදී. කාලපසෙක්හි නාගයාගේ ස්වභාවපාතුකර්මය වේ. ප්රතිසන්ධි කාලයෙහි - හැවහරිණ කාලයෙහි - සමානජාති ඇත්තියක සමග මෙවුන්දම් සෙවනය කරන කාලයෙහි - නිසැකවූ නින්දට බට කාලයෙහි චුතිකාලයෙහි යන කලාපයෙහිය.
“තිරච්ඡානගතො භික්ඛවෙ” යන මෙහි නාගයෙක් හෝ වේවා, සුපර්ණමාණවකාදීන් අතුරෙහි එක්තරා එකෙක් හෝ වේවා, යටත් පිරිසෙයින් සක්දෙව් රජහු පටන් යම්කිසි නොමිනිස් ජාති ඇති සියලු සත්වතෙමේ මේ අර්ත්ථයෙහි තිරච්ඡානගතැයි දතයුතුය. හෙතෙමේ උපසපන් නොකටයුතුය. පැවිදි නොකටයුතුය. උපසපන් වූයේද, නැසිය යුතුය.