ථෙය්යසංවාසකවත්ථුකථා
“පුරාණකුලපුත්තො” පැරණිවූ පිළිවෙළින් පිරිහීමට ගිය කුලපුත්‍රතෙමේය. මවුපසින් හා පියපසින්, මවුපියන් සහිත සියලු නෑයෝ ක්‍ෂයවූවාහු නැසුනාහු මළාහු මොහුටනුයි ඛීණකොලඤ්ඤ නම “අනුයුඤ්ජිසමානො” එකත් පසකට පමුණුවා හිස-රැවුල හැරීම සිවුරු පිළිගැනීම ශරණගමන උපාද්ධ්‍යායග්‍රහණ කර්‍මවාක්‍ය නිඃශ්‍රයධර්‍මයන් විචාරණු ලබන්නේ “එතමත්‍ථ ආරොචෙසි”. තෙමේ මේ පැවිදිබව මුලපටන් කීයේය.
“ථෙය්‍යසංවාසකො භික්‍ඛවෙ” මෙහි ලිඞ්ගත්‍ථෙනක - සංවාසත්‍ථෙනක - උභයත්‍ථෙනකයයි, ථෙය්‍යසංවාසකයෝ තිදෙනෙක් වෙත්. එහි තෙමේ පැවිදිව විහාරයට ගොස් භික්‍ෂු වර්‍ෂයන් නොගනීද, මහලු පිළිවෙළින් මහණුන්ගේ හා හෙරණුන්ගේ වැඳීම් නොඉවසාද, ආසනයෙන් නොපහ කෙරේද උපොසථපවාරණාදියෙහි නොපැණේද, මෙතෙමේ ලිඞ්ගමාත්‍රයම සොරකම් කළ බැවින් ලිඞ්ගත්‍ථෙනක නම.
යමෙක් තෙමේ භික්‍ෂූන් විසින් පැවිදිකරණ ලද්දේ, හෙරණෙක් වූයේ, විදේශයට ගොස් ‘මම දසවස් ඇත්නෙම් හෝ විසිවක් ඇත්තෙම් හෝයි බොරු කියා භික්‍ෂුවර්‍ෂ ගණීද, මහලුපිළිවෙළින් වැඳීම් ඉවසාද, ආසනයෙන් පහකෙරේද, උපොසථ පවාරණාදියෙහි පැණේද, මෙතෙමේ සංවාසමාත්‍රයම සොරකම්කළබැවින් සංවාසත්‍ථෙනක නම. භික්‍ෂුවර්‍ෂ ගිණීම් ආදී වූ සියලු කි‍්‍රයාභෙදය තෙමේ මේ අර්‍ත්‍ථයෙහි සංවාසයි දතයුතුය. ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානයකොට ‘කිසිවෙක් මා නොදනීය’යි මෙසේ පිළිපදින්නහු කෙරෙහිද මේනයම වේ.
යමෙක් තෙමේ පැවිදිව විහාරයට ගොස් භික්‍ෂුවර්‍ෂ ගණීද, -පෙ- උපොසථපවාරණාදියෙහි පැණේද, මෙතෙමේ ලිඞ්ගය සංවාසයද සොරකම් කළ බැවින් උභයත්‍ථෙනක නම. මේ තෙවැදෑරුම්වූද ථෙය්‍යසංවාසකතමේ හෝ උපසපන්වූයේ උපසපන් නොකටයුතුය. උපසපන් වූයේ නැසිය යුතුය. නැවත පැවිද්ද ඉල්ලනුයේද පැවිදි නොකටයුතුය.
මෙහි නොමුළාබව පිණිස මේ ප්‍රකීර්‍ණය දතයුතුය.
“රාජභය - දුබ්භික්‍ඛභය - කන්තාරභය - රොගභය - වෙරීභය යන මෙයින් හෝ තමන් හළ සිවුරු නැවත වෙහෙරට ගෙනයනු පිණිස හෝ මේ සසුනෙහි යමෙක් තෙමේ ප්‍රව්‍රජිතලිඞ්ගය ගනීද, හෙතෙමේ පිරිසිදු සිත් ඇත්තේ යම්තාක් සංවාසය නොඉවසාද ඒතාක් තමා ථෙය්‍යසංවාසකැයි නොකියනු ලැබේ.
එහි මේ විස්තාරනයය. මේ ලෝකයෙහි ඇතැම් එකකුට රජතෙමේ කිපියේ වේද, හෙතෙමේ ‘මෙසේ මට සැප වන්නේය’යි තෙමේම ශ්‍රමණලිඞ්ගය ගෙන පලායේද, ඔහු දැක අන් කෙනෙක් රජුට සැලකෙරෙත්ද, එවිට රජතෙමේ ‘පැවිදිවූයේ නම් ඔහුට කිසිවක් කරන්නට නොලැබේය’යි ඔහු කෙරෙහි ක්‍රෝධය සංසිඳුවාද, හෙතෙමේ ‘මට රජබිය සංසිඳුනේය’යි සඟමැදට නොබැසම ගිහිලිඞ්ගය ගෙන ආයේ, පැවිදි කටයුතුය. තවද ‘සසුන නිසා මා විසින් ජීවිතය ලද්දේය, එබැවින් දැන් මම පැවිදිවෙමි’යි උපන් සංවේග ඇත්තේ ඒ ගිහිලිඞ්ගයෙන්ම අවුත් ආගන්තුකවත් නොඉවසාද, භික්‍ෂූන් විසින් විචාරණ ලදුයේ හෝ නොවිචාරණ ලදුයේ හෝ තමන්ට වූ සැටි ප්‍රකාශකොට පැවිද්ද ඉල්ලාද, ගිහිලිඞ්ගය පහකොට පැවිදි කටයුතුය. වත් ඉවසාද, පැවිද්දෙහි ආලය දක්වාද, සියලු පෙර කියූ වස් ගණන් කීම් ආදී ප්‍රභෙද විධියට පැමිණේද, මෙතෙමේ පැවිදි නොකටයුතුය.
මේ ලොකයෙහි ඇතැම් එකෙක් දුර්භික්‍ෂ කාලයෙහි ජීවත්වන්නට නොහැකිවනුයේ තෙමේම ශ්‍රමණවෙශ ගෙන සියලු සාමයිකයනට සාධාරණකොට පැණවූ බත් අනුභව කරණුයේ දුර්භික්‍ෂය ඉක්මගිය කල්හි සඟමැදට නොබැසම ගිහිලිඞ්ගය ගෙන ආයේය යන සියල්ල පළමු කියනලද්ද හා සමානම වේ.
අනෙකෙක් මහා කාන්තාරයක් තරණය කරනු කැමැත්තේ වේ. ගැල්ගෙන යන ජනසමූහ තෙමේද පැවිද්දන් ගෙනයෙයි. හෙතෙමේ ‘මෙසේ ගැල් ගෙන යන ජනසමූහතෙමේ මා ගෙනයන්නේය’යි තෙමේම ශ්‍රමණවෙශය ගෙන බඩුගෙන වෙළඳාමට දේශාන්තරයට යන ජන සමූහයා සමග කාන්තාරය තරණයකොට, බියරහිත තැනකට පැමිණ, සඟමැදට නොබැසම ගිහිලිඞ්ගය ගෙන ආයේය යන සියල්ල පළමු කියනලද්ද හා සමානම වේ.
අනෙකෙක් රෝබිය උපන්කල්හි ජීවත්වනු නොහැකිවනුයේ තෙමේම ශ්‍රමණවේශය ගෙන සියලු සාමයිකයනට පැණවූ බත් අනුභව කරමින් රෝබිය සංසිඳුන කල්හි සඟමැදට නොබැසම ගිහිවෙශය ගෙන ආයේය යන සියල්ල පළමු කියනලද්ද හා සමානම වේ.
අනිකක්හට එක් වෛරීපුද්ගලයෙක් කිපියේ වේ. ඔහු නසනු කැමතිව හැසිරේ. එකල්හි හෙතෙමේ ‘මෙසේ මට ක්‍ෂෙමය වන්නේය’යි තෙමේම ශ්‍රමණවෙශය ගෙන පලයෙයි. වෛරීතෙමේ ‘ඔහු කොහිදැ’යි සොයන්නේ ‘පැවිදිවී පලාගියේය’යි අසා, ඉදින් පැවිදිවූයේ නම්, ඔහුට කිසිවක් කරන්නට නොලබාය’යි ඔහු කෙරෙහි වූ ක්‍රෝධය සංසිඳුවා ගනියි. හෙතෙමේ ‘මාගේ වෛරීභය සංසිඳුණේය’යි සඟමැදට නොබැසම ගිහිවේශය ගෙන ආයේය, යන සියල්ල පළමු කියනලද්ද සමානම වේ.
අනෙකෙක් නෑ කුලයකට ගොස් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානයකොට ගිහිව මෙහි සිවුරු නැසී යන්නේය, මේ සිවුරුගෙන විහාරයට යන්නෙම් නම්, අතරමගදී මා සොරෙකැයි අල්ලාගන්නාහ, මම මේ සිවුරු කායපාරිහාරියකොට යන්නෙම් නම් යෙහෙකැ’යි සිවුරු ගෙනයනු පිණිස සිවුරු හැඳ පොරොවාගෙන විහාරයට යෙයි. එන්නාවූ ඔහු දුරදීම දැක හෙරණෝද ලදරු භික්‍ෂූහුද ඉදිරියට එත්ද, වත්දක්වත්ද, හෙතෙමේ නොඉවසාද, තමාට වූ පරිදි ප්‍රකාශ කෙරේද, භික්‍ෂූහු ‘දැන් අපි ඔහු නොමුදාහරින්නෙමු’යි බලාත්කාරයෙන් ගෙන පැවිදිකරණු කැමැත්තාහු වෙත්ද, හැඳතුබූ සිවුරු පහකොට නැවත පැවිදි කටයුතුය. ඉදින්වනාහි ‘මොවුහු මා ගිහිවූබව නොදනිත්’යි. ඒ භික්‍ෂුභාවයම පිළිදන්වා සියලු පෙරකියනලද වර්‍ෂගණණාදිප්‍රභෙදවිධියට පිළිපදීද, මෙතෙමේ පැවිදි නොකටයුතුය.
අනික් මහා හෙරණෙක් නෑකුලයකට ගොස් සිවුරු හැර සීසෑම් ගෙරිරැකීම් ආදීවූ කර්‍මාන්ත කිරීමෙන් පෙළුනේවී නැවත ‘මම දැන් ශ්‍රමණයෙක්ම වන්නෙමි’ ස්ථවිරතෙමේද මාසිවුරු හළ බව නොදනීය’යි එම පාසිවුරු ගෙන විහාරයට ඒද, ඒ කරුණු භික්‍ෂූන් නොදන්වාද, හෙරණ බව පිළිණ කෙරේද, මෙතෙමේ ථෙය්‍යසංවාසකයෙක්ම වේ. පැවිද්ද නොලබයි. ඉදිනුදු මොහු ශ්‍රමණවේශය ගන්නා කාලයෙහි, ‘මම කිසිවක්හට නොදන්වන්නෙමි’යි මෙබඳු සිතෙක් විහාරයටද ගියේ සැලකෙරේද, ශ්‍රමණවේශය ගැනීමෙන්ම ථෙය්‍යසංවාසක වේ. නැවතද මොහුට ශ්‍රමණවෙශය ගන්නා කාලයෙහි කියන්නෙමි’යි සිත උපන්නේ වේද වෙහෙරටද ගොස් ‘ඇවැත’ තෝ කොහි ගියෙහිදැ’යි විචාරණ ලදුයේ, දැන් මොවුහු මා ගැන නොදනිත්’යි වඤ්චාකොට නොකියාද, නොකියන්නෙමි’යි ධුරනික්‍ෂෙපය සමග මෙතෙමේද ථෙය්‍යසංවාසකයෙක්ම වේ. ඉදින් මොහුට ශ්‍රමණවේශය ගන්නා කාලයෙහි කියන්නෙමි’යි සිතක් උපන්නේ වේද, විහාරයට ගොස්ද කියානම් මෙතෙමේ නැවත පැවිද්ද ලබයි.