මුචලින්දකථා
“අකාලමෙඝො” නො පැමිණි වැසි කල්හි සියලු සක්වළ ගැබපුරා උපන් මෙඝයෙක්. මේ මෙඝය ග්‍රීෂ්ම සෘතුවෙහි අවසන් මාසයෙහි පහළ වූයේය. “සත්තාහවද්දලිකා” ඒ මෙඝය උපන් කල්හි සත් දවසක් නොනැවතී පවත්නා හද්දා වැස්සක් වීය. “සීතවාතදුද්දිනී” ඒ හද්දාවැස්ස දිය බිඳුවලින් මිශ්‍ර වූ වට කැරකැවෙන සිහිල් සුළඟින් දූෂිතවූ දවස් ඇති බැවින් සීතවාතදුද්දීනී නම්වූවාය. “අථ ඛො මුචලින්‍දො නාගරාජා” ඒ මිදෙල් රුක සමීපයෙහිවූ පොකුණෙහි උපන් මහත් ආනුභාව ඇති නා රජය. “සත්තක්‍ඛත්තුං භොගෙහි පරික්‍ඛිපිත්‍වා” මෙසේ දරණවැලින් වටකොට මුදුනෙහි මහත් පෙණයක් කොටම සිටියේය. මෙසේ පෙණයකොට සිටිකල්හි ඔහුගේ පරික්‍ෂෙපාභ්‍යන්තරය, ලොහොපහයෙහි භාණ්ඩාගාර ගර්‍භයක් පමණ වූයේය. එහෙයින් භාග්‍යවතුන්වහන්සේ වාසහිත තන්හි පියනලද දොරකවුළු ඇති කුළුගෙයක වැඩහුන් සේක් වැනිවූහ. “මා භගවන්තං සීතං” යනාදිය ඔහු එසේ සිටීමෙහි කරුණු දැක්වීමයි. ඒ නාරදතෙමේ වනාහි ‘භාග්‍යවතුන් වහන්සේට සීතය, පීඩා නොකෙරේවා, උෂ්ණය පීඩා නොකෙරේවා, ඩැහලේ බොන මැසි ආදීන්ගේ ස්පර්‍ශය තෙමේ පීඩා නොකෙරේවා’යි එසේ කොට සිටියේය. එහි කිසිසේත් හද්දාවැස්සෙහි උෂ්ණයක් නැත්තේමය. ඉදින් අතරතුර මෙඝය පහවන්නේ නම්, උෂ්ණය වන්නේය. ඒද ඒ භාග්‍යවතුන් වහන්සේ පීඩා නොකෙරේවායි මෙසේ ඔහුගේ සිතීම සුදුසුය. “විද්ධං” දුරුවූ මෙඝය පහවීමෙන් දුරුවූ යන අර්‍ත්‍ථයි. “විගතවලාහකං” පහවූ මෙඝය ඇති “දෙවං” අහස. “සකවණ්ණං” තමාගේ රූපය.
“සුඛො විවෙකො” නිර්‍වාණ සඞ්ඛ්‍යාත උපධිවිවෙකය සුඛවේ. “තුට්ඨස්ස” චතුර්මාර්‍ගඥාන සන්තොෂයෙන් සතුටු වූ. “සුතධම්මස්ස” පැවසූ දහම් ඇති. “පස්සතො” ඒ විවෙකය දැක්කයුතුවූ යම් කිසිවක් ඇත්තේ නම් වේ ද, ඒ සියල්ල තමාගේ වීර්‍ය්‍ය බලයෙන් අධිගත වූ ඥානචක්‍ෂුසින් දක්නහුගේ. “අබ්‍යාපජ්ඣං” නොකිපෙනබව. මෙයින් මෛත්‍රියෙහි පූර්‍වභාගය දක්වන ලද්දේය. “පාණභූතෙසු සංයමො” සත්ත්‍වයන් කෙරෙහිද, සංයමය අවිහිංසකභාවය සුඛය යන අර්‍ත්‍ථයි. මෙයින් කරුණාවේ පූර්‍වභාගය දක්වන ලද්දේය. “සුඛා විරාගතා ලොකෙ” වීතරාගභාවයද සැපය. කෙබඳු වීතරාගභාවයක් සැපවේද, යත්:- “කාමානං සමතික්කමො” යම් වීතරාගභාවයක් කාමයන්ගේ සමතික්‍රමැයි කියනු ලැබේද, ඒ වීතරාගතාවද සැපය යන අර්‍ත්‍ථයි. මෙයින් අනාගාමීමාර්‍ගය කියන ලද්දේය. “අස්මිමානස්ස යො විනයො” මෙයින් රහත්බව කියනලදී. රහත්බව වනාහි අස්මිමානයෙහි පස්සද්ධිවිනයයි කියනු ලැබේ. මෙයින් අන්‍යවූද සැපයක් නම් නැත්තේය. එහෙයින් “එතං වෙ පරමං සුඛං”යි වදාළ සේක.
රාජායතනකථා
“මුචලින්‍දමූලා” මහබෝමැඩින් පැදුම්දිග කොණ පිහිටි මිදෙල් රුක්මුලින් නික්ම “රාජායතනං” දකුණුදිග පිහිටි කිරිපලුරුක කරා එළැඹි සේක. “තෙන ඛො පන සමයෙන” කවර කලෙක්හිද, යත්: කිරිපලුරුක මුල සත්දවසක් මුළුල්ලෙහි එක් පලඟින් හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේට සමතින් නැගිටින දවසෙහි අරුණ නගින වේලාවෙහිම භොජන කෘත්‍යය වියයුතුය’යි දැන සක්දෙව් රජතෙමේ බෙහෙත් අරළු සමග දැහැටි එළවූයේය. භාග්‍යවතුන් වහන්සේ එය පරිභොග කළසේක. පරිභොග කළ ඇසිල්ලෙහිම ශරීරකෘත්‍යය වූයේය. ශක්‍ර තෙමේ මුව දෝනා පැන් පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ මුව දොනාකොට එම රුක්මුල වෙතම වැඩහුන් සේක. මෙසේ අරුණ නැගි කල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි,
ඒකාලයෙහි “තපස්සුභල්ලිකා වාණිජා” තපස්සුද භල්ලිකද යන වෙළෙඳ දෙබෑයෝ “උක්කලා” උක්කලජනපදයෙන් “තං දෙසං” යම් දෙසෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සේක්ද, කවරනම් දෙසෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සේක්ද, යත්: මද්ධ්‍යම දේශයෙහිය. එහෙයින් මැදුම් දෙසට යන්නට දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්යි මෙහි මේ අර්‍ත්‍ථය වේ. “ඤාතිසාලොහිතා දෙවතා” ඒ තපස්සු භල්ලිකයන්ගේ පෙර නෑවූ දෙවතාතොමෝ. “එතදවොච” ඕතොමෝ වනාහි ඒ වෙළඳ දෙබෑයන්ගේ සියලු ගැල් නොපෙරළෙනබවට පත්කළාය. ඉක්බිති ඔවුහු ‘මේ කිමැ’යි මාර්‍ගදෙවතාවනට බිලිපුද කළාහුය. ඔවුන්ගේ බිලියම් කාලයෙහි ඒ දෙවතාතොමෝ නොපෙණෙන සිරුරින් යුක්තව මෙය කිවුය. “මන්‍ථෙනච මධුපිණ්ඩිකායච” නොබැදිපිටියෙන්ද, ගිතෙල්, මී, සකුරු ආදිය සමග යොදා බැදි පිටියෙන්ද, “පතිමානෙථ” උවැටන් කරවු. “තං වො” ඒ උවැටන තොපට. බොහෝ කලක් මුළුල්ලෙහි හිත සැප පිණිස වන්නේය. “යං අම්හාකං” යම් පිළිගැනීමක් වේද, ඒ පිළිගැනීම අපට බොහෝ කල් හිත සැප පිණිස වන්නේය. “භගවතො එතදහොසි” මේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රදහනවීර්‍ය්‍යයෙහි යෙදෙන කාලයෙහි යම් පාත්‍රයක්වීද, ඒ පාත්‍රය සුජාතාව කිරිබත් පිළිගන්වන්නට එන කල්හිම අතුරුදහන් වූයේය. ‘එහෙයින් මට පාත්‍රයෙක් නැත්තේය, පූජිත තථාගතවරයෝ අතින් නොපිළිගත්තාහුමය. කුමකින් මම මන්‍ථය හා මධුපිණ්ඩිකය පිළිගන්නෙම්දැ’යි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් වූයේය.