රාහුලවත්ථුකථා
“යෙන කපිලවත්‍ථු තෙන චාරිකං පක්කමි” මෙහි මේ පිළිවෙළ කතාය. සුද්ධෝදන මහාරජතෙමේ වනාහි බොධි සත්ත්‍වයන්ගෙන් නික්මුනු දිනයෙහි පටන් ‘මාගේ පුත්‍රතෙමේ බුදුවන්නෙමි’යි ගෙයින් නික්මුනේය. කිම, බුදුවූයේ දෝහෝයි තොරතුරු දැනගනු පිණිස යොමුකළ කන් ඇතිවම වෙසෙයි. ඒ රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රදහනර්‍ච්‍යාද, සම්බොධියද, දම්සක් පැවැත්වීම් ආදියද අසන්නේ, ‘දැන් වනාහි මාගේ පුත්‍රතෙමේ රජගහනුවර නිසා වාසය කරන්නේය’යි අසා ‘පුත්‍රය’ මම වෘද්ධයෙමි, මහලුවෙමි, මැනවින්, ජීවත්වන්නා වූ මට පුත්‍රයා දක්වාලවායි එක් ඇමතියක්හට අණ කළේය. හෙතෙමේ ‘යහපතැ’යි පිළිවදන් දී දහසක් පුරුෂයන් පිරිවර කොටඇතිව රජගහනුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ හුන්නේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මොහුට ධර්‍ම දේශනා කළ සේක. හෙතෙමේ පැහැද එතැනදීම පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහු එහි භික්‍ෂුපසම්පදාවෙන් උපසපන් කළසේක. හෙතෙමේ පිරිස් සහිතව රහත්බවට පැමිණ එහිම ඵලසමාපත්තිසුඛය විදිමින් විසූයේය. රජතෙමේ ඒ උපායයෙන්ම අන්දූතයන් අටදෙනකු යැවීය. ඒ සියල්ලෝද පිරිස් සහිතව එසේම රහත්බවට පැමිණ එහිම විසූහ. මෙනම් කරුණෙන් ඔවුහු නොඑත්ය’යි රජහට තොරතුරු පමණකුත් සැල කරණ කිසිවෙක් නැත්තේය.
ඉක්බිතිව රජතෙමේ බොධිසත්ත්‍වයන් සමග එක දවසෙහි උපන් කාලුදායි නම් අමාත්‍යයා හරිනු කැමැත්තේ පෙර නයින්ම ඉල්ලා සිටියේය. ඒ කාලුදායී තෙමේ ‘මම පැවිදිවීම ලබම් නම් දක්වන්නෙමි’යි කීයේය. එකල්හි රජතෙමේ ‘පැවිදිවද මට පුත්‍රයා දක්වාලව’යි ඔහු යැවීය. ඒ කාලුදායී තෙමේද පුරුෂයන් දහසක් පිරිවරකොට ඇතිව ගොස් එසේම පිරිස් සහිතව රහත්බවට පැමිණියේය. ඒ ඇමති තෙමේ එක් දවසක් දනවුවැසි මිනිසුන් රැස්කළ සියලු සස්‍ය ඇති කල්හි, හළ කර්‍මාන්ත ඇතිකල්හි, දිය ගොඩ හටගන්නා මල් මොනවට පිපුනු කල්හි, පිළිපැදීමට සුදුසු මාර්‍ගයෙහිදී භාග්‍යවතුන් වහන්සේට වැඳ සැටක් පමණ ගාථාවන්ගෙන් ගමනෙහි ගුණවර්‍ණනාව කෙළේය. භාග්‍යවතුන් වහන්සේ ‘මේ කිමැ’යි විචාළ සේක. ‘ස්වාමීනි’, ඔබ වහන්සේගේ පියවූ සුද්ධෝදන මහරජතෙමේ ‘මම මහලුවෙමි’ ජීවත්වන්නාවූම මට මාපුතු දක්වාලව’යි මා පිටත්කොට එවූයේය, ‘ස්වාමීනි’ මැනව, භාග්‍යවතුන් වහන්සේ නෑයන්ට සඞ්ග්‍රහ කරණ සේක්වා, චාරිකාවෙහි වැඩම කරන්නට මේ කාලය’යි දැන්වීය. ‘එසේ නම් භික්‍ෂූහු ගමියවත පුරන්නාහයි සඞ්ඝයාට සැලකරව’යි වදාළ සේක. ස්ථවිරතෙමේ ‘ස්වාමීනි’ යහපතැයි එසේ කෙළේය. භාග්‍යවතුන් වහන්සේ අඟුමගධ දෙරට වැසි කුලපුතුන් දසදහසකින්ද කිඹුල්වත් පුරවැසි කුලපුතුන් දස දහසකින්දැයි සියලු විසිදහසක් රහතුන් විසින් පිරිවරණ ලදසේක් රජගහ නුවරින් නික්ම රජගහ නුවර පටන් සැටයොදුන් ඇති කිඹුල්වත් පුරයට දවසක් දවසක් පාසා යොදුනක් යමින් දෙමසකින් පැමිණෙන්නෙමි’යි අතුරිතචාරිකාවෙන් වැඩිය සේක. “යෙන කපිලවත්‍ථු තෙන චාරිකං පක්කමි” යනු එහෙයින් කියන ලදී.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ නික්මුනු කල්හිද උදායී ස්ථවිරතෙමේ නික්මුනු දිනය පටන් සුද්ධොදන මහරජහුගේ මාලිගාවෙහි බත්කිස කරන්නේය. රජතෙමේ තෙරුන් වලඳවා පාත්‍රය සුවඳ සුණෙන් උළා උතුම් බොජුනෙන් පුරවා භාග්‍යවතුන් වහන්සේට දෙන්නේය’යි තෙරුන්ගේ අතෙහි තබන්නේය. ස්ථවිරතෙමේද එසේ කරයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අතරමගදී රජුගේම පිණ්ඩපාතය වැලඳූ සේක. ස්ථවිර තෙමේද බත්කිස කෙළවර දවසක් දවසක් පාසා ‘භාග්‍යවතුන් වහන්සේ අද මෙපමණ තැන් වැඩියහ’යි රජුට සැල කරන්නේය. බුද්ධගුණප්‍රතිසංයුක්තවූ කථාවෙන් ශාක්‍යයන්ට බුදුරජුන් කෙරෙහි ශ්‍රද්ධාව ඉපදවූයේය. එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ “එතදග්ගං භික්‍ඛවෙ මම සාවකානං භික්‍ඛූනං කුලප්පසාදකානං යදිදං කාලුදායී”යි උදායි තෙරුන් එතදග්‍රයෙහි තැබූ සේක.
ශාක්‍යයෝද භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ කල්හි ‘අපගේ ඥාතිශ්‍රෙෂ්ඨයා දකින්නෙමු’යි රැස්වී භාග්‍යවතුන් වහන්සේට විසීමට තැනක් විමසන්නාහු නිග්‍රොධශාක්‍යයාගේ ආරාමය සිත්කලුය’යි සලකා එහි සියලු පිළිදැගුම්විදි කරවා සුවඳමල් ගත් අත් ඇත්තාහු පෙරගමන් කරන්නෝ සියලු අබරණින් සැරසුනු නුවරවැසි තරුණයන්, නුවරවැසි තරුණියන්ද පළමුකොට යැවූහ. ඉන්පසු රජකුමරුද රජකුමරියන්ද යැවූහ. ඔවුන් අතර තුමූ ගොස් සුවඳමල් සුණු ආදියෙන් පුදමින් භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ගෙණ නිග්‍රොධාරාමයටම ගියහ. එහි භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතුන් විසින් පිරිවරණ ලද්දාහු, පැණවූ, උතුම් බුද්ධාසනයෙහි වැඩහුන් සේක. ශාක්‍යයෝ මානය ස්වභාවයකොට ඇත්තාහු මානයෙන් තදවගියහ. ඒ ශාක්‍යයෝ ‘සිද්ධාර්‍ත්‍ථකුමාර තෙමේ අපට වඩා ඉතා ලදරුමය. අපගේ කනිටුය. බුහුනනියගේ පුත්‍රය. මුනුබුරුයයි සිතා ඉතා ලදරු රජකුමරුන්ට ‘තෙපි වඳිවු, අපි තොපගේ පිටුපසින් හිඳින්නෙමු’යි කීහ.