කම්මාරභණ්ඩුවත්ථාදිකථා
“කම්මාරභණ්ඩු” රන් ආදිය කිරණාදිය අතින්ගත් මුඩුහිස ඇති ස්වර්‍ණකාරපුත්‍රයෙක්, සිළුපසක් ඇති තරුණ ලදරුවෙකැයි කියන ලද්දේ වේ. “සඞ්ඝං අපලොකෙතුං භණ්ඩුකම්මාය” හිස මුඩු කරනු පිණිස සඞ්ඝයා විචාරන්නට අනුදනිමි, යන අර්‍ත්‍ථයි. එහි මේ විචාරණ විධියයි. සීමාව තුළ සිටි භික්‍ෂූන් රැස් කරවා ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයා එහි පමුණුවා “සඞ්ඝං භන්තෙ ඉමස්ස දාරකස්ස භණ්ඩුකම්මං ආපුච්ඡාමි”යි තෙවරක් හෝ එක්වරක් හෝ කියයුතුය. මෙහිදී “ඉමස්ස දාරකස්ස භණ්ඩුකම්මං ආපුච්ඡාමි”යි හෝ “ඉමස්ස සමණකරණං ආපුච්ඡාමි”යි හෝ “ඉමස්ස පබ්බාජනං ආපුච්ඡාමි”යි හෝ “අයං සමණො හොතු කාමො”යි හෝ “අයං පබ්බජිතුකාමො”යි හෝ කීම වටීමය.
ඉදින් සභාග ස්ථානයක්වේද, දසයක් හෝ විස්සක් හෝ තිසක් හෝ භික්‍ෂූහු වෙසෙත්යි පිරිසිඳීම පෙණේද, ඔවුන් සිටි අවකාශයට හෝ හුන් අවකාශයට හෝ ගොස්ද, පෙරනයින්ම විචාළ යුතුය. ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයා හැරම දහරභික්‍ෂූන් හෝ හෙරණුන් හෝ යවාද, ‘ස්වාමීනි’ එක් ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයෙක් ඇත්තේය, ඔහුට භණ්ඩුකර්‍මය විචාරමි, යනාදි නයින් විචාරවන්නට වටනේය.
ඇතැම් භික්‍ෂූහු සෙනසුනට හෝ ලැහැබ් ආදියකට හෝ ඇතුල්ව නිදත් හෝ මහණදම් කෙරෙත් හෝ විචාරන්නෝද සොයන්නාහුම නොදැක, අප විසින් සියලුදෙන විචාරණ ලදහ’යි සන් ඇත්තාහු වෙත්ද, පැවිද්ද වනාහි ලහු කර්‍මයෙකි. එහෙයින් පැවිදිවූයේ මොනවට පැවිදිවූයේම වේ. පැවිදිකරන මහණහුටද ඇවැත් නොවේ.
විහාරය මහත්වේද, නොයෙක් දහස් ගණන් භික්‍ෂූන්ගේ වාසය ඇත්තේවේද, සියලු භික්‍ෂූන් රැස්කිරීමද දුෂ්කරය, පිළිවෙළින් විචාරීම දුෂ්කරබව කියනුකිම, ඛණ්ඩ සීමාවෙහි හෝ සිට නදීසමුද්‍රාදියට හෝ ගොස් පැවිදි කටයුතුය. යමෙක් වනාහි අලුත් හිස මුඩුකළ එකෙක් හෝ සිවුරු හළ එකෙක් හෝ වේද, නිගණ්ඨාදීන් අතුරෙහි එක්තරා එකෙක් හෝ උනුදෙයඟුල් පමණ කෙස් ඇත්තෙක් හෝ දෙයඟුල් පමණ කෙස් ඇත්තෙක් හෝ වේද, ඔහුගේ කෙස් සිඳීමෙක් නැත්තේය. එහෙයින් භණ්ඩුකර්‍මය නොවිචාරාද එබන්දහු පැවිදි කිරීම හොබනේය. යමෙක් දෙයඟුලට වඩා වැඩුනු කෙස් ඇත්තේවේද, යටත් පිරිසෙයින් එක්සිළුපමණක් දරන්නේද, භණ්ඩුකර්‍මය විචාරාම ඔහු පැවිදි කටයුතුය. උපාලිවස්තුව මහාවිභඞ්ගයෙහි කියූනයමය.
“අභිවාතකරොගෙන” මාරිනම් ව්‍යාධියෙන්. යම්තැනක ඒ රෝගය උපදීද, දෙපාසිවුපා ඇති සියල්ල සහිත වූ ඒ කුලය නස්නේය. යමෙක් ගෙයිබිත්තිය හෝ සෙවනිය හෝ බිඳ පලායෙත්, පිටත්හි ගම් ආදියට ගියෝ හෝ වෙත්ද, හෙතෙමේ ඒ රෝගයෙන් මිදෙන්නේය. එසේ වෙහිද පිය-පුත් දෙදෙන මිඳුනාහ. “පිතා පුත්තකා ච සෙසා හොන්ති”යි එහෙයින් කියන ලදී.
“කාකුඩ්ඩෙපකං” යමෙක් වමනින් ලීයක්ගෙන දුන්නේ එන එන කවුඩන් පියාඹවා හැර ඉදිරියෙහි තුබූ බත බුදින්නට සමර්‍ත්‍ථවේද, මෙතෙමේ කාකුඩ්ඩෙපක නම. ඔහු පැවිදි කිරීම වටියි.
“ඉත්තරො” ස්වල්පමාත්‍ර වූ කිහිපදවසක්ම විසීම වන්නේය යන අර්‍ත්‍ථයි.
“ඔගණෙන” පිරිහුනු ගණය සමග. “අබ්‍යත්තෙන යාවජීවං” මෙහි ඉදින් මෙතෙමේ වෘද්ධතර ආචාර්‍ය්‍යයෙකු නොලබාද, උපසම්පදාවෙන් සැටවයස් ඇත්තේ හෝ සැත්තෑවයස් ඇත්තේ හෝ වේද? නවකතරවූද ව්‍යක්තයාගේ සමීපයෙහි උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳගෙන “ආචරියො මෙ ආවුසො හොහි, ආයස්මතො නිස්සාය වච්ඡාමි”යි මෙසේ තෙවරක් කියා නිස ගතයුත්තේමය. ගම්වැදීම විචාරන්නහු විසින්ද උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳගෙන ‘ආචාර්‍ය්‍යය’ ගම්වැදීම විචාරමි’යි කියයුතුය. සියලු ආපුච්ඡාවන්හි මේ නයය. පඤ්චකෂට්කයන්හිද යම් පමණ ශ්‍රැතයක් නිසමිදුනහු විසින් කැමති විය යුතුද, එය භික්‍ෂුණොවාදක වර්‍ණනාවෙහි කියනලදී. ඒ ශ්‍රැතය නැති බැවින් අප්පස්සුත නම. ඇති බැවින් බහුස්සුත නම සෙස්ස කියූ නයම වේ.
රාහුලවත්ථුකථා
“යෙන කපිලවත්‍ථු තෙන චාරිකං පක්කමි” මෙහි මේ පිළිවෙළ කතාය. සුද්ධෝදන මහාරජතෙමේ වනාහි බොධි සත්ත්‍වයන්ගෙන් නික්මුනු දිනයෙහි පටන් ‘මාගේ පුත්‍රතෙමේ බුදුවන්නෙමි’යි ගෙයින් නික්මුනේය. කිම, බුදුවූයේ දෝහෝයි තොරතුරු දැනගනු පිණිස යොමුකළ කන් ඇතිවම වෙසෙයි. ඒ රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රදහනර්‍ච්‍යාද, සම්බොධියද, දම්සක් පැවැත්වීම් ආදියද අසන්නේ, ‘දැන් වනාහි මාගේ පුත්‍රතෙමේ රජගහනුවර නිසා වාසය කරන්නේය’යි අසා ‘පුත්‍රය’ මම වෘද්ධයෙමි, මහලුවෙමි, මැනවින්, ජීවත්වන්නා වූ මට පුත්‍රයා දක්වාලවායි එක් ඇමතියක්හට අණ කළේය. හෙතෙමේ ‘යහපතැ’යි පිළිවදන් දී දහසක් පුරුෂයන් පිරිවර කොටඇතිව රජගහනුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ හුන්නේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මොහුට ධර්‍ම දේශනා කළ සේක. හෙතෙමේ පැහැද එතැනදීම පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහු එහි භික්‍ෂුපසම්පදාවෙන් උපසපන් කළසේක. හෙතෙමේ පිරිස් සහිතව රහත්බවට පැමිණ එහිම ඵලසමාපත්තිසුඛය විදිමින් විසූයේය. රජතෙමේ ඒ උපායයෙන්ම අන්දූතයන් අටදෙනකු යැවීය. ඒ සියල්ලෝද පිරිස් සහිතව එසේම රහත්බවට පැමිණ එහිම විසූහ. මෙනම් කරුණෙන් ඔවුහු නොඑත්ය’යි රජහට තොරතුරු පමණකුත් සැල කරණ කිසිවෙක් නැත්තේය.