දාසවත්ථුකථා
“න භික්ඛවෙ දාසො” මෙහි අන්තොජාත-ධනක්කීත-කරමරානීත සාමංදාසව්යං උපගතයි දාසයෝ සිවුදෙනෙක් වෙත් එහි අන්තොජාත නම්, උපතින් දාසවූ ගේදාසියගේ පුත්රතෙමේය. ධනක්කීත නම්, මවුපියන් සමීපයෙන් පුත්‍රයෙක් හෝ, සැමියන්ගේ සමීපයෙන් දාසයෙක් හෝ ධනයදී දාසචාරිත්රයට නගා මිලට ගන්නා ලද්දේය. මේ දෙදෙනම පැවිදි නොකටයුතුය. [missing trans]
කරමරානීත නම්, පිටරටින් පැහැරගෙණ හෝ සඞ්ග්රහයක්කොට නලවා හෝ පිටරටින් නිදහස් මිනිසුන් ගෙන එත්. රට තුළම හෝ කළ අපරාධ ඇති කිසිගමක් පැහැරගණිවු’යි රජතෙමේ අණකෙරේද, එයින් මිනිසුන් ගෙන එත්ද, එහි සියලු පුරුෂයෝ දාසයෝ වෙත්. සියලු ස්ත්‍රීහු දාසියෝ වෙත්. මෙබඳුවූ කරමරාතීත දාසයෙක් යම් කෙනෙකුන් විසින් ගෙන එන ලද්දේද ඔවුන් වෙත වසන්නේ හෝ සිරගෙයි බැඳුනේ හෝ පුරුෂයන් විසින් රකිනු ලබන්නේ හෝ පැවිදි නොකටයුතුය. පලාගියේ ගියතන්හිදී පැවිදි කටයුතුය. සතුටුවූ රජු විසින් ‘කරමරාතීතයන් මුදාහරිවු’යි කියා අභිෂෙකාදියෙහි සියල්ලන්ට සාධාරණ වූ හෝ නයින් බන්ධනයෙන් මිදීම කළ කල්හි පැවිදි කටයුතුමය.
සාමං දාසව්යං උපගතො නම් ජීවත්වීම හෙතුකොට හෝ ආරක්ෂාව හෙතුකොට හෝ “මම තට දාස වෙමි”යි තෙමේම දාසභාවයට පැමිණියේය. රජුන්ගේ ඇත් අස් ගොන් මීමුන් යන මොවුන් රකින්නන් මෙනි. එබඳු දාසතෙමේ පැවිදිකටයුතුය. ‘අපිදු වර්ණදාසියෝ වෙමු’යි තමන්ගේ ආරක්ෂාව පිණිස තුමූම රජුන්ගේ දාසිපත්රයෙහි නම් ලියත්. ඒ වර්ණදාසීන්ගේ පුත්‍රයෝ අමාත්‍ය පුත්‍රයන් සමාන වෙති. ඔවුහුද පැවිදි නොකටයුතුය. නිදහස් ස්ත්‍රීහු සංයම රහිතව වර්ණදාසීන් සමග හැසිරෙත්. ඒ ස්ත්රීන්ගේ පුත්‍රයන් පැවිදි කිරීම වටියි. ඉදින් තුමූම පතට නගා පළකරත්ද, නොවටියි. භට්ටපුත්තගණාදීන්ගේ දාසයෝද ඔවුන් විසින් නොදෙන ලද්දාහු පැවිදි නොකටයුත්තාහුය. රජුන් විසින් විහාරයන්ට ආරාමිකදාසයෝ දෙන ලද්දාහු වෙත්ද, ඔවුන්ට පැවිදි කිරීම නොවටියි. නිදහස් වූවන්කොට පැවිදි කිරීම වරද නොවේ. මහාපච්චරියෙහි අන්තොජාත-ධනක්කීතදාසයන් ගෙනවුත් භික්‍ෂුසඞ්ඝයාහට ආරාමිකයන් දෙමු’යි දෙත්ද, ‘ඔවුහු හිසෙහි මෝරු වක්කළවුන් සමානම වෙත්. ඔවුන් පැවිදි කිරීම වටීයයි කියනලදී. කුරුන්දියෙහි වනාහි ‘ආරාමිකයෙකු දෙම්හ’යි කැප වහරින් දෙත්ද, යම්කිසි ව්‍යවහාරයකින් දෙන ලද්දෙක් වේවා, නොම පැවිදි කටයුතුය’යි කියන ලදී. දිළිඳු මිනිස්සු සඞ්ඝයා නිසා ජීවත්වන්නෙමු’යි විහාරයෙහි කැපකරුවෝ වෙත්ද, මොවුන් පැවිදි කිරීම වටියි. යමක්හුගේ මවුපියෝ දාසයෝ වෙත්ද, මවුතොමෝම හෝ දාසිය වන්නීද, පියතෙමේ දාසයෙක් නොවේද, ඔහු පැවිදි කිරීම නොහොබී. යමක්හුගේ මවුතොමේ දැස්සක් නොවන්නීය. පිය තෙමේ දාසයෙක් වේ. ඔහු පැවිදි කිරීම වරදක් නොවේ. මහණක්හට නෑයෝ හෝ උපස්ථායකයෝ හෝ ‘මොහු පැවිදිකළ මැනවැ’ ඔබ වහන්සේට වතාවත් කරන්නේය’යි දාසයෙකු දෙත්ද තමාගේ හෝ දාසයෙක් ඇත්තේද, නිදහස් කරන ලද්දේම පැවිදි කටයුතුය. සැමියෝ ‘මොහු පැවිදි කළ මැනවැ, ඉදින් සසුනෙහි ඇලෙන්නේ නම් දාසයෙක් නොවේ. සිවුරු හරින්නේ නම් අපගේ දාසයාම වන්නේය’යි දාසයෙකු දෙත්ද, මේතෙමේ තාවකාලික නම. ඔහු පැවිදි කිරීම නොවටීය’යි කුරුන්දියෙහි කියනලදී. සැමියන් නැති දාසයෙක් වේද, හෙතෙමේද, නිදහස් කරණ ලද්දේම පැවිදි කටයුතුය. නොදන්නේ පැවිදිකොට හෝ උපසපන්කොට හෝ පසුව දනීද, නිදහස් වූවකු කරන්නටම වටියි.
මේ අර්ත්ථය පවසනු පිණිස මේ වස්තුව කියත් :- එක් කුලදාසියක් වනාහි එකකු සමග අනුරාධපුරයෙන් පලාගොස් රුහුණ වසන්නී පුතකු ලැබූය. හෙතෙමේ පැවිදිව උපසපන්වූ කල්හි ලජ්ජිවූ කුක්කුච්චකයෙක් වූයේය. ඉක්බිති එක් දවසක් ‘උවැසිය’ තීගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් හෝ නැත්තේද, කිසි නෑයෙකු නොදක්නෙමි’යි මවුගෙන් විචාළේය. ‘පින්වත’ මම අනුරාධපුරයෙහි කුලදාසියක් වෙමි’ ඔබගේ පියා සමග පලා අවුත් මෙහි වසමි’යි ඕතොමෝ කිවූය. සිල්වත් මහණතෙමේ ‘මාගේ පැවිද්ද අපිරිසිදුය’යි සංවේගයට පැමිණ මවු අතින් ඒ කුලයේ නාමගොත්‍රය අසා අනුරාධපුරයට පැමිණ ඒ කුලයාගේ ගෙදොර සිටියේය. “අතිච්ඡථ භන්තෙ”යි කියන ලද්දේද පිටත්ව නොයයි. ඔවුහු අවුත් ‘ස්වාමීනි’ කිමැ’යි ඇසූහ. ‘තොපගේ මෙනම් දාසියක් පලාගියා ඇත්තීදැ’යි ඇසූයේය. ‘ඇත, ස්වාමීනි’යි ඔවුහු කීහ. එවිට ඒ මහණතෙමේ ‘මම ඒ දාසියගේ පුත්‍රයෙක්මි’ ඉදින් තෙපි මට අනුදනිහු නම්, මම පැවිද්ද ලබමි, තෙපි මාගේ හිමියෝ වහුයි කීයේය. ඔවුහු තුටු පහටුව ‘ස්වාමීනි’ ඔබවහන්සේගේ පැවිද්ද, පිරිසිදුය’යි නිදහස්කොට මහාවිහාරයෙහි වාසය කරවූහ. සිවුපසයෙන් පිළිදැගුම් කළහ. ස්ථවිරතෙමේ ඒ කුලය නිසා වසන්නේම රහත්බවට පැමිණියේය.