පඤ්චාබාධවත්ථුකථා
“මගධෙසු පඤ්ච ආබාධා උස්සන්නා හොන්ති” මගධ නම් ජනපදයෙහි මිනිසුන්ටද අමනුෂ්යයන්ටද කුෂ්ට-ගණ්ඩ-කිලාස-ස්වාස-අපස්මාර යන මේ රොග පස උත්සන්න වූවාහු, වැඩීමට පැමිණියාහු, නිපැත්මට පැමිණියාහු වෙත්. ජීවකකොමාරභච්චකථාව චීවරක්ඛන්ධකයෙහි පහළවන්නීය. “න භික්ඛවෙ පඤ්චහි ආබාධෙහි ඵුට්ඨො පබ්බාජෙතබ්බො” යම් ඒ කුෂ්ටාදි ආබාධයෝ උත්සන්න වූවාහුද, එයින් පහස්නා ලද්දේ මඩනා ලද්දේ පැවිදි නොකටයුතුය.
එහි “කුට්ඨං” රක්තකුෂ්ටය හෝ වේවා, කාලකුෂ්ටය හෝ වේවා, යම්කිසි කිටිභද්දදු කච්ඡු ආදිප්රහෙදවූ සියල්ල කුෂ්ටමැයි කියන ලදී. ඒ කුෂ්ටය කනිටු ඇඟිලි, නියපිටු පමණවූයේ වැඩෙන පක්ෂයෙහි සිටියේ නම් පැවිදි නොකටයුතුය. හඳන පොරෝණයන්ගෙන් ස්වභාවයෙන් පිළිසන් තැන නියපිටු පමණවූයේ නොවැඩෙන පක්ෂයෙහි සිටියේ නම් පැවිදි කිරීමෙහි දොසක් නැත්තේය. මුඛයෙහි හෝ අත්පා පිටුවල හෝ නොවැඩෙන පක්ෂයෙහි සිටියේ නම්, නියපිටුවලට වඩා ඉතා කුඩාවූයේ නමුත් නොවටීමයයි කුරුන්දියෙහි කියනලදී. පිළියම් කරවා පැවිදිකරන්නහු විසින්ද පියවි පැහැය හටගත් කල්හිම පැවිදි කටයුතුය. තලගොයිපිටට සමානසුණුවගුරණ සිරුරු ඇත්තහුද පැවිදි කිරීම නොසුදුසුය.
“ගණ්ඩො” මේදයෙන් හටගන්නා ගඩෙක් හෝ වේවා, අන්යම් කිසි ඩෙබර ඇට පමණැති වැඩෙන පක්ෂයෙහි සිටි ගඩෙක් වේනම්, ඔහුද පැවිදි නොකටයුතුය. පිළිසන්තැන, ඩෙබර ඇටපමණ නොවැඩෙන පක්ෂයෙහි සිටියේ වටියි. මුඛාදීවූ නොපිළිසන් තැන නොවැඩෙන පක්ෂයෙහි සිටියේද නොවටියි. පිළියම් කරවා පැවිදිකරන්නහු විසින්ද සිරුර සිවිය සහිත කරවාම පැවිදි කටයුතුය. ගවදෙනකගේ තනමෙන්ද ඇඟිලි මෙන්ද ඒ ඒ තැන එල්බෙන ඉන්නෝ වෙත්ද මොවුහුද ගණ්ඩම වෙත්. ඒ ඉන්නන් ඇති කල්හි පැවිදි කිරීම නොවටියි. ලදරුකාලයෙහි හටගන්නා කිරිපිළිකා, තරුණ කාලයෙහි මුඛයෙහි හටගත් කැකුළුපිළිකාද වෙත්. ඒ පිළිකා මහලු කාලයෙහි නැසීයත්. ගණ්ඩසංඛ්යාවට නොයත්. ඒඩු තුබුනේද පැවිදි කිරීම වටියි. අන්ය වූ බරපිළිකා, අන්යවූ පදුමකණ්ණිකාද සිරුරෙහි වෙත්. අන්යවූ සාසප බීජකපිළිකා නම් අබඇටපමණවූවාහුම මුළු සිරුර පැතිරගනිත්. ඒ සියල්ල කුෂ්ටජාතී වේ. ඒ කුෂ්ඨ ඇති කල්හි පැවිදි නොකටයුතුය.
“කිලාසො” නොබිඳෙන, නොවැගිරෙණ, රත්පියුම්, සුදුපියුම් පස්පැහැති කුෂ්ටය. එයින් ගොනුන්ගේ මෙන් සිරුර කබර පැල්ලම් සහිත වේ. ඒ කුෂ්ටයෙහි විනිශ්චය කියූනයින්ම දතයුතුය. “සොසො” ශ්වාසව්යාධියයි. ඒ ඇති කල්හි පැවිදි නොකටයුතුය. “අපමාරො” පිත්තොන්මොදය හෝ යක්ෂොන්මාදය හෝය. එහි පූර්වවෛරී වූ අමනුෂ්යයකු විසින් ගන්නා ලද්දේ පිළියම් නොකටහැකි වේ. ස්වල්පමාත්ර වූද අපස්මාරය ඇති කල්හි පැවිදි නොකටයුතුය.
පඤ්චාබාධවත්ථුකථාව නිමි.
රාජභටවත්ථුකථා
රාජභටවස්තුවෙහි - “පච්චන්තං උච්චිනථ” ප්රත්යන්තය වඩවු. සොරුන් පලවාහැර සොරබියෙන් නැගීගිය ගමෙහි වාසය කරවා, ආරක්ෂාවදී ගොවිකම් ආදිය පවත්වාලවු’යි කියන ලද්දේ වේ. රජතෙමේ වනාහි සොතාපන්න බැවින් ‘සොරුන් නසවු, වනසවු’යි නොඅණවයි. “උපජ්ඣායස්ස දෙව සීසං ඡෙත්තබ්බං” යනාදි සියල්ල ‘පැවිද්දෙහි උපාද්ධ්යායතෙමේ ශ්රේෂ්ඨය, අනතුරුව ආචාර්ය්යතෙමේ ශ්රේෂ්ඨය, ඉන් ගණය ශ්රේෂ්ඨය’යි සිතා මෙය අධිකරණ විනිශ්චයෙහි ආයේය’යි කීහ. “න භික්ඛවෙ රාජභටො පබ්බාජෙතබ්බො” මෙහි අමාත්යයෙක් හෝ වේවා, මහාමාත්යයෙක් හෝ සේවකයෙක් හෝ කිසිතනතුරකට පැමිණියෙක් හෝ නොපැමිණියෙක් හෝ වේවා, යම්කිසි රජුගේ බත්වැටුපෙන් රැකෙන්නෙක්වේද, ඒ සියලු දෙන රාජභටැයි ගිණීමට යන්නේය. හෙතෙමේ පැවිදි නොකටයුතුය. ඔහුගේ පුත්රභාතෘවූ යම් කෙනෙක් රජුගෙන් බත්වැටුප් නොගනිත්ද, ඔවුන් පැවිදිකිරීම වටියි. යමෙක් වනාහි රජුගෙන් ලැබූ නිබද්ධභොගයක් හෝ මාස අවුරුදු වැටුපක් හෝ රජුටම පාවාදේද, පුත්ර භාතෘන්ට හෝ එතැන පාවාදී ‘මම දැන් දෙවයන්වහන්සේගේ භටයෙක් නොවෙමි’යි රජු විචාරාද, යමකු විසින් කර්මයක් කිරීමෙන් යම් වැටුපක් ගන්නා ලදද, ඒ කර්මය කරන ලද්දේවේද, යමෙක් හෝ ‘පැවිදිවවු’යි රජු විසින් අනුදන්නා ලද්දේ ද, ඔහුද පැවිදි කිරීම වටියි.