අජපාලකථා
“අථ ඛො භගවා සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා උට්ඨහිත්වා බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්රොධො තෙනුපසඞ්කමි” මෙහි වනාහි භාග්යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගිටීමෙන් අනතුරුවම බෝරුක්මුලින් නික්ම අජපාල නිග්රොධ මූලයට නොඑළැඹි සේක. යම්සේ වනාහි ‘අනුභවකොට සයනය කෙරේය’යි කීකල්හි අත නොසෝදා, මුව නොසෝදා, යහන වෙතට නොගොස් අන්කිසි අල්ලාප සල්ලාපයක් නොකොට සයනය කෙරේමයයි කියන ලද්දේ නොවේද, භොජනයෙන් පසු නිදයි. මෙහි සයනය නොකෙරේය යන මේ කරුණ දක්වන ලද්දේ නොවේද, නොමියේකැයි මෙසේ මෙහිද ඒ සමාධියෙන් නැගිට අනතුරුව මෙහි නැගිටීමෙන් පසු වැඩිය සේක. මෙහි නොවැඩිය සේකැයි යන මෙය දක්වන ලද්දේ නොවේ.
අනතුරුවම නොවැඩ භාග්යවතුන්වහන්සේ කුමක් කළ සේක්ද, යත්:- අනිකුදු තෙසතියක් බෝධිය සමීපයෙහිම කල් යැවූසේක. මේ එහි පිළිවෙළ කථාය:- භාග්යවතුන්වහන්සේ බුදු බවට පැමිණ සත් දවසක් එක්පලඟක වැඩහුන් කල්හි ‘භාග්යවතුන් වහන්සේ නොනැගිටින සේක. කිම, අනිකුදු බුදුකුරු දහම් ඇත්තේදැ’යි ඇතැම් දෙවියන්ට කාඞ්ක්ෂාවක් පහළවූය. එකල්හි භාග්යවතුන්වහන්සේ අටවැනි දිනයෙහි සමාපත්තියෙන් නැගිට දෙවතාවන්ගේ කාඞ්ක්ෂාව දැන කාඞ්ක්ෂාව විධ්වංසනය කරනු පිණිස අහසට පැන නැගී යමාමහ පෙළහර දක්වා ඔවුන්ගේ සැකය විනාශකොට, පලඟින් පැදුම්දිග ඇසුරු කළ උත්තර දිසාභාගයෙහි සිට සාරාසඞ්ඛ්ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතාවන්ගේ ඵලාධිගමස්ථානයවූ පලඟද බෝරුකද ධර්මප්රීතිවිස්තාරයෙන් පුබුදුවූ නිමෙෂරහිත ඇසින් බලමින් සතියක් කල් යැවූසේක. ඒ ස්ථානය අනිමිෂ චෛත්යස්ථාන නම් වූයේය. නැවත පලඟටද වැඩසිටිතැනටද අතර පෙරදිගින්ද පැසුළුදිගින්ද දිග්වූ භාග්යවතුන් වහන්සේගේ අදහස් දැන දෙවියන් විසින් මැවූ රුවන්සක්මනෙහි සක්මන් කරමින් සතියක් ඉක්මවූ සේක. ඒ ස්ථානය රත්නචක්රමස්ථාන නම්වූයේය. එයින් පැසුළුදිසාවෙහි දෙවතාවෝ රුවන්ගෙයක් මැවූහ. එහි පලඟින් හිඳ අභිධම්පිටකය විශේෂයෙන්ද, මෙහි අනන්තනය සමන්තපට්ඨානය විමසමින් සතියක් ඉක්මවූ සේක. ඒ ස්ථානය රතනඝර නම් වූයේය.
මෙසේ බෝමැඩ සමීපයෙහිම සිවුසතියක් ඉක්මවා පස්වන සතියෙහි බෝරුක්මුලින් නික්ම අජාපාලනිග්රෝධ මූලයට වැඩිය සේක. එළුවන් රක්නෝ ගොස් ඒ නුගරුක් සෙවණෙහි හිඳිත්නු. එහෙයින් මේ රුකට අජපාලනිග්රෝධයයි නමක් පහළවිය. “සත්තාහං විමුත්තිසුඛපටිසංවෙදී” එහිදු ධර්මය සම්මර්ෂණය කරමින්ම ඵලසමාපත්තිසුඛය විඳිමින්ම වැඩහුන් සේක. බෝමැඩින් පෙරදිග මේ රුක පිහිටියේ වේ. එහි භාග්යවතුන්වහන්සේ සමවතින් නැගිට මෙසේ වැඩහුන් කල්හිද එක් බ්රාහ්මණයෙක් ගොස් ප්රශ්නයක් විචාළේය. එහෙයින් “අථඛො අඤ්ඤෙතරො” යනාදිය කියනලදී. එහි “හුහුඞ්කජාතිකො” ඒ බ්රාහ්මණ තෙමේ වනාහි දිට්ඨමඞ්ගලික නම. මාන වශයෙන්ද ක්රොධ වශයෙන්ද, ‘හුහුං’යි ශබ්ද කරමින් හැසිරෙන්නේය. එහෙයින් ‘හුහුංකජාතික’යි කියනු ලැබේ. හුහුක්කජාතික’යිද හදාරති.
“එතමත්ථං විදිත්වා” මෙසේ ඔහු විසින් විචාළ වචනයෙහි කෙළ පැමිණි කරුණු දැන ඒ වේලාවෙහි මේ ප්රීතිවාක්යය පැවැත්වූ සේක. ඒ ප්රීතිවාක්යය පිළිබඳ අර්ත්ථය මෙසේය: යමෙක් තෙමේ බහා තැබූ පාපධර්මතාවෙන් බ්රාහ්මණවේද, හෙතෙමේ දිට්ඨමඞ්ගලිකතාවයෙන් බ්රාහ්මණ නොවේ. මානාදිය නිසා පවත්නා හුහුංකාරකභාවාදි පාපධර්මයෙන් යුක්තව හුදෙක් ජාතිය පමණින් බ්රාහ්මණභාවය පිළිදන්වාද හෙතෙමේ බ්රාහ්මණ නොවේ. බහා තැබූ පව් ඇති බැවින් බ්රාහ්මණ වේ. මානාදිය නිසා පවත්නා හුහුංකාර ප්රහාණයෙන් පහවූ හුහුංකාර ශබ්ද ඇත්තේය. රාගාදිකසට නැති බැවින් පහවු කසට ඇත්තේය. භාවනාවෙහි එක්වන් යෙදුනු සිත් ඇති බැවින් ‘යතත්ත’ නම. චතුර්විධ මාර්ගඥානසඞ්ඛ්යාතවෙදයෙන් නිවනට, වෙදයන්ගේ හෝ කෙළවරට ගිය බැවින් වෙදන්තගු නම් වේ. මාර්ගබ්රහ්මචර්ය්යය වැඩනිමවනලද බැවින් වුසිතබ්රහ්මචරිය නම. “ධම්මෙන බ්රහ්මවාදං වදෙය්ය” ‘මම බ්රාහ්මණ වෙම්’යි මේ බ්රාහ්මණවාදය ධර්මයෙන් කියන්නේය. යමක්හට සකලලොකසන්නිවාසයෙහි කිසිතැනෙක එක් අරමුණෙකද රාගුස්සද-දෙසුස්සද-මොහුස්සද-මානුස්සද-දිට්ඨුස්සද යන මේ උස්සදයෝ නැත්තාහුද හෙතෙමේ බ්රාහ්මණැයි කියමි’යි උදන් ඇනූ සේක.
මුචලින්දකථා
“අකාලමෙඝො” නො පැමිණි වැසි කල්හි සියලු සක්වළ ගැබපුරා උපන් මෙඝයෙක්. මේ මෙඝය ග්රීෂ්ම සෘතුවෙහි අවසන් මාසයෙහි පහළ වූයේය. “සත්තාහවද්දලිකා” ඒ මෙඝය උපන් කල්හි සත් දවසක් නොනැවතී පවත්නා හද්දා වැස්සක් වීය. “සීතවාතදුද්දිනී” ඒ හද්දාවැස්ස දිය බිඳුවලින් මිශ්ර වූ වට කැරකැවෙන සිහිල් සුළඟින් දූෂිතවූ දවස් ඇති බැවින් සීතවාතදුද්දීනී නම්වූවාය. “අථ ඛො මුචලින්දො නාගරාජා” ඒ මිදෙල් රුක සමීපයෙහිවූ පොකුණෙහි උපන් මහත් ආනුභාව ඇති නා රජය. “සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා” මෙසේ දරණවැලින් වටකොට මුදුනෙහි මහත් පෙණයක් කොටම සිටියේය. මෙසේ පෙණයකොට සිටිකල්හි ඔහුගේ පරික්ෂෙපාභ්යන්තරය, ලොහොපහයෙහි භාණ්ඩාගාර ගර්භයක් පමණ වූයේය. එහෙයින් භාග්යවතුන්වහන්සේ වාසහිත තන්හි පියනලද දොරකවුළු ඇති කුළුගෙයක වැඩහුන් සේක් වැනිවූහ. “මා භගවන්තං සීතං” යනාදිය ඔහු එසේ සිටීමෙහි කරුණු දැක්වීමයි. ඒ නාරදතෙමේ වනාහි ‘භාග්යවතුන් වහන්සේට සීතය, පීඩා නොකෙරේවා, උෂ්ණය පීඩා නොකෙරේවා, ඩැහලේ බොන මැසි ආදීන්ගේ ස්පර්ශය තෙමේ පීඩා නොකෙරේවා’යි එසේ කොට සිටියේය. එහි කිසිසේත් හද්දාවැස්සෙහි උෂ්ණයක් නැත්තේමය. ඉදින් අතරතුර මෙඝය පහවන්නේ නම්, උෂ්ණය වන්නේය. ඒද ඒ භාග්යවතුන් වහන්සේ පීඩා නොකෙරේවායි මෙසේ ඔහුගේ සිතීම සුදුසුය. “විද්ධං” දුරුවූ මෙඝය පහවීමෙන් දුරුවූ යන අර්ත්ථයි. “විගතවලාහකං” පහවූ මෙඝය ඇති “දෙවං” අහස. “සකවණ්ණං” තමාගේ රූපය.