සාරිපුත්තමොග්ගල්ලානපබ්බජ්ජාකථා
“සාරිපුත්තමොග්ගල්ලානා” ශාරිපුත්රතෙමේද, මෞද්ගල්‍යායන තෙමේද, ඔවුන් අතරින් ‘යමෙක් පළමුකොට නිවනට පැමිණේද, හෙතෙමේ ඒ බව සැලකෙරේවා’යි කතිකා කරණ ලද්දීය. ඒ දෙදෙන වනාහි ගිහිකාලයෙහි උපතිස්ස-කොලිතයි මෙසේ ප්රකටනම් ඇත්තාහු, දෙසිය පණසක් මාණවකයන් පිරිවරකොට ඇතියෝ එනම් නෘත්යස්ථානයට ගියහ. එහිදී මහජනයා දැක ඔවුන්ට මෙසේ මහජනකාය තෙමේ සියවසක් නොපැමිණි කල්හිම මරුමුවෙහි හෙන්නේයයි මෙබඳු සිතක් වූයේය. නැවත දෙදෙනම, පිරිස නැගී සිටිකල්හි ඔවුනොවුන් විචාරා සම අදහස් ඇතිව එළඹසිටි මරසංඥා ඇත්තාහු ‘යහලුව’ මරණය ඇතිකල්හි අමෘතයක්ද වියයුතුය. එබැවින් අපි අමෘතය සොයමු’යි මන්ත්‍රණය කළහ. අමෘතය සොයනු පිණිස සඤ්ජය නම් ඡන්න පරිව්‍රාජකයාගේ සමීපයෙහි පිරිස් සහිතව පැවිදිව කීප දවසකින්ම ඔහුගේ ඥානවිෂයයෙහි කෙළවරට පැමිණ අමෘතය නොදක්නාහු ‘ආචාර්ය්ය’ කිම, මෙහි- අනිකුදු හරයක් ඇත්තේදැ’යි විචාළාහුය. ‘ඇවැත්නි’ නැත්තේය. මේ මෙතෙක්මය’යිද අසා, ‘ඇවැත’ මේ සෙස්ස නිසරුය, දැන් අප අතුරෙහි යමෙක් පළමුකොට නිවනට පැමිණේද, හෙතෙමේ අනිකාහට සැලකෙරේවායි කතිකා කළහ. “තෙහි කතිකා කතා හොති” යනාදිය එහෙයින් කියනලදී.
“පාසාදිකෙන අභික්කන්තෙන” යනාදිතන්හි ඉත්ථම්භූත ලක්ෂණයෙහි කරණවචනය දතයුතුය. “අත්ථිකෙහි උපඤ්ඤාතං මග්ගං” යන මෙය අනුබන්ධනයට කරණවචනයි. මම මේ මහණහු පසුපසැ ලුහුබඳින්නේ නම් මැනවැ’යි මෙය කියන ලද්දේ වේ. කුමක් හෙයින, යත්: යම්හෙයකින් පසුපසැ මේ අනුබන්ධනය නම් දන්නාලද මාර්ගය ප්‍රයොජන ඇතියන් විසින් කටයුත්තේද එහෙයිනි. දන්නා ලද්දාවූද, පැමිණියාවූද, මාර්ගය යන අර්‍ත්‍ථයි. නොහොත් මරණය ඇති කල්හි අමෘතයක්ද වියයුතුය’යි මෙසේ ප්‍රයොජන ඇති අප විසින් නිවන නම් ඇතැයි සලකන ලද්දේය. එය පර්යේෂණ කරණුයේ, සොයනුයේයි මෙහි අර්ත්ථ මෙසේද දතයුත්තේය.
“පිණ්ඩපාතං ආදාය පටික්කමි” සුදින්න කාණ්ඩයෙහි කියූ අයුරු ඇති එක්තරා බිත්ති මුල්ලක් වෙතට පැමිණ හුන්නේය. ශාරිපුත්රතෙමේද, ‘ප්‍රශ්නයක් විචාරන්නට තවම කල්නොවේය’යි කල් බලමින් එකත්පසෙක සිට වත්පිළිවෙත් පුරණු පිණිස කළබත්කිස ඇති තෙරුන්හට තමන්ගේ කෙණ්ඩියෙන් පැන් පිළිගන්වා සේදූ අත්පා ඇති තෙරුන් සමග පිළිසඳරකොට ප්‍රශ්නයක් විචාළේය. එහෙයින් “අථ ඛො සාරිපුත්තො පරිබ්බාජතො” යනාදිය කියනලදී. “න තාහං සක්කොමි” මම තට නොහැකියෙමි. මෙහිද ප්රතිසම්භිදාප්රාප්ත ස්ථවිර තෙමේ මෙපමණක් නොහැකි නොවේ. වැලි මොහුට ධර්මගෞරවය උපදවන්නෙමියි සියලු ආකාරයෙන් බුද්ධ විෂයයෙහි අවිෂයභාවය ගෙන මෙසේ කීයේය.
“යෙ ධම්මා හෙතුප්පභවා” හෙතුප්රභවයෝ නම් පඤ්චස්කන්ධයෝය. එයින් මේ පිළිබඳ දුඃඛසත්‍යය දක්වාලන්නේය. “තෙසං හෙතුං තථාගතො ආහ” ඔවුන්ගේ හෙතු නම් සමුදය සත්‍යයයි. එද තථාගතයන් වහන්සේ වදාළ සේකැයි දක්වාලන්නේය. “තෙසං ච යො නිරොධො” ඒ සත්‍ය ද්වයයෙහි යම් නොපැවැත්මක් යම් නිරොධයක්වේද, එද තථාගතයන් වහන්සේ වදාළ සේක. එයින් මේ පිළිබඳ නිරොධ සත්‍යය දක්වාලන්නේය. මෙහි මාර්‍ගසත්‍යය වනාහි ස්වරූප වශයෙන් නොදක්වන ලද්දේ ද, නයවශයෙන් දක්වන ලද්දේ වේ. නිරොධය දැක්වූ කල්හි එයට පමණුවන මාර්ගය දක්වන ලද්දේම වේ. නොහොත් “තෙසං ච යො නිරොධො” යන මෙහි ඔවුන්ගේ යම් නිරොධයක්වේද, නිරොධූපායයෙක් වේදැ’යි මෙසේ සත්යද්වය දක්වන ලද්දේවේයයි දතයුතුය. දැන් ඒ අර්ත්ථයම ප්රතිපාදනය කරණුයේ “එවං වාදී මහාසමණො”යි කීයේය.
“එසොව ධම්මො යදි තාවදෙව” ඉදින් මේ සොතාපත්තියෙන් මත්තෙහි අන්යමාර්ගත්රය නැත්තේය. මෙපමණක්මය. මේ සොතාපත්තිඵල මාත්රයටම පැමිණිය යුතුය. එසේද මාවිසින් සොයාගන්නා ලද මේ නිර්වාණධර්මයමය යන අර්‍ත්‍ථයි. “පච්චබ්යථා පදමසොකං” අපි යමක් සොයමින් හැසිරෙමුද, ශොක විරහිතවූ ඒ නිර්වාණපදය තෙපි ප්‍රතිවෙධ කළාහුය, තොප විසින් එයට පැමිණෙන ලදය යන අර්‍ත්‍ථයි. “අදිට්ඨං අබ්හතීතං බහුකෙහි කප්පනහුතෙහි” අප විසින් නම් මේ නිර්වාණපදය බොහෝවූ කල්පනහුතයකින් නොදක්නා ලද්දේමය. ඉක්මවන ලද්දේය. මෙසේ ඒ නිර්වාණපදය නොදුටු බැවින් බොහෝ කාලයක් මුළුල්ලෙහි තමන්ගේ මහත් පිරිහීම දක්වන්නේය.