බිම්බිසාරසමාගමකථා
“ලට්ඨිවනෙ” තල්උයනෙහි “සුප්පතිට්ඨෙ චෙතියෙ” එක්තරා නුග රුකක. ඒ නුගරුකට මේ නාමය වනාහි. “ද්වාදසනහුතෙහි” මෙහි එක් නහුතයක් දසදහසෙකි. “අජ්ඣභාසි” ඔවුන්ගේ සැක සිඳීම පිණිස වදාළ සේක.
“කිසකොවදානො” තාපස චර්‍ය්‍යාවෙන් කෘශ වූ ශරීර ඇති බැවින් කිසකයි ලැබූ නම් ඇති තවුසන්ට අවවාද දෙන්නෙක. අනුශානා කරන්නෙක යන අර්‍ත්‍ථයි. නොහොත් තෙමේ කෘශ තවුසෙක් වූයේ අන්හට අවවාද දෙන්නේ අනුශාසනා කරන්නේය යන අර්‍ත්‍ථයි. “කථං පහීණං” කවර කරුණකින් ප්‍රහීණවූයේද, ‘තෝ උරුවෙල් දනවුවැසි ගිනිදෙවියා පුදන තවුසන්ට තෙමේ අවවාදචාර්‍ය වූයේ කුමක් දැක ගිනි පිදීම අත්හළේදැ’යි මෙය කියන ලද්දේ වේ. “පුච්ඡාමි තං එතමත්‍ථං” කවර කරුණකින් තාගේ ගිනිපිදීම ප්‍රහීණදැයි මේ කරුණ තාගෙන් විචාරමි.
දෙවන ගාථාවෙහි මේ අර්‍ත්‍ථයි. මේ රූපාදීවූ කාමයන්ද, ස්ත්‍රීන්ද යාගය හෙතුකොට සමෘද්ධයයි කියත්. ඒ මම මේ සියලුම රූපාදී වූ කාමප්‍රභේදය බන්‍ධූපධීන් කෙරෙහි මලයයි දැන, යම්හෙයකින් මේ මහායාගය හා දිනපතා කටයුතු වහ්නිපරිචරණ ප්‍රභෙදවූ යාගහෙතුමලමැයි කියත්. “තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජිං” එහෙයින් මහායාගයෙහි දිනපතා කටයුතු වහ්නි පරිචරණයෙහි නොඇලුනෙමි, යන අර්‍ත්‍ථයි.
තෙවන ගාථාවෙහි “අථ කො චරහි” එසේ ඇති කල්හි කොතැන හැසිරෙහි. සෙස්ස ප්‍රකටමය.
සිවුවන ගාථාවෙහි “පදං” යනු නිර්‍වාණපදයයි. ශාන්ත ස්වභාවතායෙන් ශාන්ත නම්, චතුර්විධ උපධීන්ගේ අභාවයෙන් අනුපධික නම්. රාගකිඤ්චනාදීන්ගේ අභාවයෙන් අකිඤ්චන නම්. භවත්‍රයයෙහි නොඇලුනු බැවින් යම් කාමභවයක් යාගැයි කියත්ද, ඒ කාමභවයෙහිද නොඇලුනු ජාතිජරාමරණයන්ගේ අභාවයෙන් අනඤ්ඤථාභාවී නම. තමන් විසින් වැඩූ මාර්‍ගයෙන්ම අවබෝධ කටයුතුය. අන්කිසිවකින් අවබෝධ නොකොට හැකියයි අනඤ්ඤනෙය්‍ය නම. යම්හෙයකින් මෙබඳු නිර්‍වාණපදයක් දුටුයෙම්ද, එහෙයින් මහා යාගයෙහිද දිනපතා කටයුතු පරිචරණයෙහි නොඇලුනෙමි. එයින් කුමක් දක්වන්නේද, යම්බඳුවූ මම දිව්‍යමනුෂ්‍යලොක සම්පත්තිසාධකවූ මහායාගයෙහි නොඇලුනෙම්ද, දිනපතා කටයුතු වහන්නිපරිචරණයෙහි නොඇලුනෙම්ද, එබඳු මම ‘මේ දෙව්මිනිස් ලොවෙහි නම් ඇලුනු සිත් ඇත්තෙම්’යි කීම, කියන්නෙම්ද,
මෙසේ සියලු ලෙව්හි නොඇලුනුබව පවසා, ඉක්බිති ආයුෂ්මත් උරුවෙලකාශ්‍යප තෙමේ “සාවකොහමස්මි”යි මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකභාවය ප්‍රකාශ කෙළේය. ඒ ප්‍රකාශයද අහසෙහි නොයෙක් පෙළහර දක්වා කෙළේය. “ධම්මචක්‍ඛුං” සෝවන් මග නුවණ.
“අස්සාසකා” ආශිංසනාය. ප්‍රාර්‍ත්‍ථනාය යන අර්‍ත්‍ථයි. “ඵසාහං භන්තෙ” මෙහි වනාහි කිසිසේක් මාර්‍ග ප්‍රතිවෙධයෙන්ම මේ බිම්සර රජහට සිද්ධ වූ සරණගමනයයි. එහි වනාහි නිශ්චය ගමනම ගියේය. දැන් වචනයෙන් ආත්මසන්නිර්‍ය්‍යාතනය කරයි. මාර්‍ගවශයෙන්ම මෙතෙමේ නියත සරණතාවට පැමිණියේය. ඒසරණයට පැමිණි බව වචනයෙන් අන්හට ප්‍රකට කරණුයේ, ප්‍රණපාතගමනද යනුයේ මෙසේ කියයි.
“සිඞ්ගීනික්‍ඛසවණ්ණො” දඹරන් කාසියක් හා සමාන පැහැ ඇති “දසවාසො” දශවිධ ආර්‍ය්‍යවාසයෙහි වුසූ වාසය ඇති. “දසධම්මවිදූ” දශවිධකර්‍මපථය දන්නාවූ, “දසහිවුපෙතො” දශවිධ අශෛක්‍ෂාඞ්ගයෙන් යුක්තවූ “සබ්බධිදන්තො” සියලු රූපාදියෙහි දැමුනු. භාග්‍යවතුන් වහන්සේගේ වනාහි චක්‍ෂුරාදීන් අතුරෙහි නොදැමුනු කිසිවක් නම් නැත්තේය.
“භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි” වළඳා අවසන්කළ පාත්‍රයෙන්ද බැහැරකළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ ගැන සලකා එක් පෙදෙසෙක හුන්නේය යන අර්‍ත්‍ථයි. “අට්ඨිකානං” බුදුන් වැදීම පිණිස ඊමෙන්ද, දහම් ඇසීමෙන්ද ප්‍රයොජන ඇත්තාවූ. “අභික්‍ඛමනීයං” එළඹෙන්නට හැකිවන්නාවූ. “අප්පකිණ්ණං” ආකීර්‍ණ නොවූ. “අප්පසද්දං” වදන් හඬින් නිහඬ බව ඇති. “අප්පනිග්ඝොසං” නගරනිර්‍ඝොෂ ශබ්දයෙන් ඝෝෂා නැත්තාවූ. “විජනවාතං” ඇතුළත හැසිරෙන ජනයාගේ ශරීර වාතයෙන් තොරවූ. “විජනවාද”යිද පාඨයක් වේ. ඇතුළත ජනවාදවිරහිතවූ යන අර්‍ත්‍ථයි. “විජනපාතං”යිද පාඨයක් වේ. ජනසඤ්චාරවිරහිතවූ, යන අර්‍ත්‍ථයි. “මනුස්සරාහසෙය්‍යකං” මිනිසුන්ගේ රහස් ක්‍රියාවනට සුදුසු වූ “පතිසල්ලානසාරුප්පං” විවෙකයට සුදුසුවූ.
සාරිපුත්තමොග්ගල්ලානපබ්බජ්ජාකථා
“සාරිපුත්තමොග්ගල්ලානා” ශාරිපුත්‍රතෙමේද, මෞද්ගල්‍යායන තෙමේද, ඔවුන් අතරින් ‘යමෙක් පළමුකොට නිවනට පැමිණේද, හෙතෙමේ ඒ බව සැලකෙරේවා’යි කතිකා කරණ ලද්දීය. ඒ දෙදෙන වනාහි ගිහිකාලයෙහි උපතිස්ස-කොලිතයි මෙසේ ප්‍රකටනම් ඇත්තාහු, දෙසිය පණසක් මාණවකයන් පිරිවරකොට ඇතියෝ එනම් නෘත්‍යස්ථානයට ගියහ. එහිදී මහජනයා දැක ඔවුන්ට මෙසේ මහජනකාය තෙමේ සියවසක් නොපැමිණි කල්හිම මරුමුවෙහි හෙන්නේයයි මෙබඳු සිතක් වූයේය. නැවත දෙදෙනම, පිරිස නැගී සිටිකල්හි ඔවුනොවුන් විචාරා සම අදහස් ඇතිව එළඹසිටි මරසංඥා ඇත්තාහු ‘යහලුව’ මරණය ඇතිකල්හි අමෘතයක්ද වියයුතුය. එබැවින් අපි අමෘතය සොයමු’යි මන්ත්‍රණය කළහ. අමෘතය සොයනු පිණිස සඤ්ජය නම් ඡන්න පරිව්‍රාජකයාගේ සමීපයෙහි පිරිස් සහිතව පැවිදිව කීප දවසකින්ම ඔහුගේ ඥානවිෂයයෙහි කෙළවරට පැමිණ අමෘතය නොදක්නාහු ‘ආචාර්‍ය්‍ය’ කිම, මෙහි- අනිකුදු හරයක් ඇත්තේදැ’යි විචාළාහුය. ‘ඇවැත්නි’ නැත්තේය. මේ මෙතෙක්මය’යිද අසා, ‘ඇවැත’ මේ සෙස්ස නිසරුය, දැන් අප අතුරෙහි යමෙක් පළමුකොට නිවනට පැමිණේද, හෙතෙමේ අනිකාහට සැලකෙරේවායි කතිකා කළහ. “තෙහි කතිකා කතා හොති” යනාදිය එහෙයින් කියනලදී.