බොධිකථා
උභයප්රාතිමොක්ෂ විභඞ්ගයන්ගේ සඞ්ගීතයට අනතුරුව ප්රව්රජ්යාදි චාරිත්ර වාරිත්ර ශික්ෂාපද ප්රඥප්ති සමූහයෙහි දක්ෂ වූ මහතෙරහු බන්ධකයක් සඞ්ගායනා කළාහුද,
යම්හෙයකින් දැන් ඒ බන්ධකයාගේ සංවර්ණනා ක්රමය ඒකරාශී වේද, එහෙයින් ඒ බන්ධකයාගේ මේ අනුත්තාර්ත්ථ වර්ණනා තොමෝ වන්නීය.
පදභාජනයෙහි යම් පදකෙනකුන්ගේ යම් අර්ත්ථ කෙනෙක් ප්රකාශ කරණ ලද්දාහුද, ඒ අර්ත්ථයන් නැවැතත් කියන්නෙමු නම්, කවර කලෙක කෙළවරෙක් වන්නේද,
යම් අර්ත්ථ කෙනෙක් නොගැඹුරුවූවාහු ප්රකට වෙත්ද, ඒ අර්ත්ථයන්ගේ සංවර්ණනාවෙන් කිම, යම් අර්ත්ථ කෙනෙක් වනාහි අධිප්රාය අනුසස් වශයෙන්ද, ව්යඤ්ජන වශයෙන්ද ගැඹුරුවූවාහු අප්රකටවූවාහු වර්ණනා නොකරණ ලද්දාහුද, ඒ අර්ත්ථයේ යම්හෙයකින් අවබෝධ කරන්නට නොහැකිවෙත්ද, එහෙයින් ඒ ගැඹුරු පද අර්ත්ථයන්ගේ මේ සංවර්ණනානය වේ.
“තෙන සමයෙන බුද්ධො භගවා උරුවෙලාය - විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො” මෙහි “තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං” යනාදිතන්හි මෙන් කරණ වචනයෙන්ම “තෙන සමයෙන” යන මේ අභිලාපය ආරොපණය කරණ ලද්දේය. මුලපටන් ආරූඪ වචන වශයෙන්ම මේ කියන ලදැයි දතයුතුය. මෙයින්මතු මෙබඳු අන්තන්හිදු මේනය වේ.
මේ පිළිබඳ වචනයෙහි ප්රයොජන කිමැ’යි මුලපටන් ප්රව්රජ්යාදි විනයකර්මයන්ගේ නිදානය භාග්යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මේ ත්රිවිධශරණගමනයෙන් ප්රව්රජ්යාව හා උපසම්පදාවද අනුදනිමි’යි මෙසේ යම් ප්රව්රජ්යාවක් හා උපසම්පදාවක් අනුදන්නා ලදද, රාජගෘහ ආදියෙහි උපාද්ධ්යාය-උපාද්ධ්යායවත්ත ආචරිය-ආචරියවත්තාදිය අනුදක්නා ලද්දාහුද, ඒ උපාද්ධ්යාය-උපාද්ධ්යායවත්තාදීහු අභිසම්බොධියට පැමිණ සත්සතියක් මුළුල්ලෙහි බෝමැඩ කල්ගෙවා බරණැස දම්සක් පවත්වා මේ ක්රමයෙන් මේ මේ තැනට පැමිණ මේ මේ වස්තුව නිමිතිකොට පණවන ලදහයි මෙසේ මුල පටන් මේ ප්රව්රජ්යාදි විනයකර්මයන්ගේ නිදානය දැක්වීම මේ පිළිබඳ වචනයෙහි ප්රයොජනයයි දතයුතුය.
එහි “උරුවෙලායං” මහත් රැසෙක්හි, මහත් වැලිරැසෙක යන අර්ත්ථය නොහොත් “උරු” යන්නෙන් වාලිකාද ‘වෙලා’ යන්නෙන් මර්ය්යාදාවද කියනු ලබා සීමාතික්රමණය හෙතුකොටගෙණ එනලද වැලිරැස ‘උරුවෙලා’යි මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය. බුදුරජුන් නොඋපන් කල්හි දසදහසක් කුලපුත්රයෝ තවුස්පැවිද්දෙන් පැවිදිව ඒ ප්රදේශයෙහි වසන්නාහු එක් දවසක් කායකර්මවාක්කර්මයෝ නම් අන්හුගේ ඉදිරියෙහිද ප්රකටව පෙණෙත්. මනසේකර්මය වනාහි ප්රකටව නොපෙණේ. එහෙයින් යමෙක් කාමවිතර්කයක් හෝ ව්යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ විර්තකණය කෙළේද, ඔහුට අන්යචොදකයෙක් නම් නැත්තේය. හෙතෙමේ තමාම තමාට චෝදනාකොට තල්පත් ආදියෙන් කළ කොළගොටුවකින් වැලි ගෙන අවුත් මෙතන්හි දමවා මේ මොහුට දඬුවමැ’යි කතිකා කළහ. එතැන් පටන් යමෙක් එබඳු විතර්කයක් විර්තකණය කෙරේද, හෙතෙමේ කොළගොටුවෙන් වැලිගෙණ අවුත් දමන්නේය. මෙසේ එහි පිළිවෙළින් මහත්වැලි රැසක් වූයේය. ඉන්පසු පැසුළු ජනසමූහතෙමේ ඒ වැලි රැස වටකොට චෛත්යස්ථානයක් කළේය. ඒ සඳහා “උරුවෙලායන්ති මහාවෙලායං, මහන්තෙ වාලිකරාසිම්භීති අත්ථො”යි කියනලදී. එම කරුණ සඳහාම “අථවා උරුති වාලිකා වුච්චති වෙලාති මරියාදා වෙලාතික්කමනහෙතු ආහටා උරු උරුවෙලාති එවම්පෙත්ථ අත්ථො දට්ඨබ්බොති” කියනලදී.
“බොධිරුක්ඛමූලෙ” චතුර්විධ මාර්ගයන්හි වූ නුවණ බොධියි කියනු ලැබේ. භාග්යවතුන් වහන්සේ මෙහිදී ඒ බොධියට පැමිණි සේකැයි වෘක්ෂයද බොධිවෘක්ෂයමැයි නම ලැබීය. ඒ බොධි වෘක්ෂ මූල සමීපයෙහි’ය ‘බොධිරුක්ඛමූලේ නම. “පඨමාභිසම්බුද්ධො” අභිසම්බොධියට පැමිණි ප්රථමයෙන් බුදුව පළමුවර අභිසම්බුද්ධව සියල්ලට පළමුවටය යන අර්ත්ථයි. “එකපල්ලඞ්කෙන” වරකුදු නොනැගිට බැන්දසේ එක්ම පර්ය්යඞ්කයෙන් “විමුත්තිසුඛපටිසංවෙදී” තදඞ්ග-වික්ඛම්භණ-සමුච්ඡෙද-පටිප්පස්සද්ධි - නිස්සරණ යන පංචවිධ විමුත්ති අතුරෙහි පටිප්පස්සද්ධිවිමුත්ති සැපය, ඵලසමාපත්ති සැපය විදිමින්.
“පටිච්චසමුප්පාදං” අවිද්යාදිප්රත්යයාකාරධර්මය, ප්රත්යයාකාරය වනාහි ඔවුනොවුන් නිසා එක්වූ ධර්මයන් උපදවානුයි ප්රතීත්යසමුත්පාදයයි කියනු ලැබේ. මේ මෙහි සඞ්ක්ෂෙපයයි. විස්තරය වනාහි විශුද්ධිමාර්ගයෙන් ගතයුත්තේය. “අනුලොමපටිලොමා” අනුලොමයද, ප්රතිලොමයද, එහි “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදි නයින් කියනලද අවිද්යාව ආදිකොට ඇති ප්රත්යයාකාරය තමන් විසින් කළයුතු කෘත්යයන් කරන බැවින් අනුලොමැයි කියනු ලැබේ. “අවිජ්ජායත්වෙව අසෙස විරාගනිරොධා සඞ්ඛාරනිරොධො” යනාදිනයින් කියනලද ඒ ප්රත්යයාකාරයම අනුත්පාදනිරොධයෙන් නිරුද්ධවනුයේ ඒ කෘත්යය නොකෙරේයයි ඒ කෘත්යය නොකරන බැවින් ප්රතිලොමැයි කියනු ලැබේ. නොහොත් “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදි පෙර නයින් කියන ලද ප්රත්යායාකාරය කියන ලද්දේ සංස්කාර ප්රවෘත්තියට අනුලොමැයි කියනු ලැබේ. අනික ඒ ප්රවෘත්තියට ප්රතිලොමැයි මෙසේද මෙහි අර්ත්ථ දතයුතුය. මුලපටන් වනාහි යම්තාක් කෙළවරද කෙළවර පටන් යම්තාක් ආදියටද පමුණුවා නොකියූ බැවින් මෙහි මෙයින් අන්යවූ අර්ත්ථයකින් අනුලොම ප්රතිලොමය නොයෙදේ.
“මනසාකාසි” අවිද්යාදිප්රත්යයභාවය අවිපරීත කොට අනවශෙෂ ප්රත්යවෙක්ෂා වශයෙන් මෙනෙහි කළ සේක. එහි යම්සේ අනුලොමය මෙනෙහි කළසේක්ද, ඒතාක් මේ දක්වනු පිණිස “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදිය කියනලදී. එහි අවිද්යාව වූවාද, ඕමය. ප්රත්යය වූයේද ඒ මනුයි. “අවිජ්ජා පච්චයා” නම. එහෙයින් අවිද්යාව ප්රත්යයකොට සංස්කාර වෙයි. මෙනයින් සියලු පදයන්හි අර්ත්ථ දතයුතුය. මේ මෙහි සඞ්ක්ෂෙපයයි. විස්තරය වනාහි සර්වාකාරයෙන් යුත් විනිශ්චය කැමැතියහු විසින් විශුද්ධිමාර්ගයෙන්ම ගත යුතුය.
ප්රතිලොමය යම්සේ මෙනෙහි කළසේක්ද, මෙය දක්වනු පිණිස “අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො” යනාදිය කියන ලදී. එහි “අවිජ්ජායත්වෙව” යනු දුඃඛාදිචතුස්සත්යයන්ගේ නොදැනීම නම්වූ අවිද්යාවගේම, “අසෙසවිරාගනිරොධා” විරාගසඞ්ඛ්යාත මාර්ගයකරණකොට අනවශෙෂනිරොධයෙන් “සඞ්ඛාරනිරොධො” පුණ්ය අපුණ්ය - ආනෙඤ්ජාභිසංස්කාර වශයෙන් ත්රිවිධ වූ ලෞකික කුශලාකුශල චෙතනා සඞ්ඛ්යාත සංස්කාරයන්ගේ අනුත්පාදනිරොධය වේ. මෙසේ අනුත්පාදනිරොධයෙන් නිරුද්ධ වූ සංස්කාරයන්ගේ නිරොධයෙන් ලෞකික විපාක විඥාන වශයෙන් දෙතිස් වැදෑරුම්වූ විඥානය නිරුද්ධ වේ. යථොක්ත විඥානාදීන්ගේ නිරොධයෙන් වෙදනාදි ස්කන්ධත්රය හා භූතරූපාදීහු නිරුද්ධම වෙත්යි දක්වනු පිණිස “සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො” යනාදිය වදාරා “එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති”යි වදාරණ ලද්දේය. එහි “කෙවලස්ස” සියලු. පිරිසිදුවූ. සත්ත්ව විරහිත වූ යන අර්ත්ථයි. “දුක්ඛක්ඛන්ධස්ස” දුක් සමූහයාගේ “නිරොධො හොති” අනුත්පාදය වේ.