ඛුද්දකවත්ථුකථා
ඛුද්දකවත්ථුක්ඛන්ධකයෙහි “මල්ලමුට්ඨිකා” මුට්ඨිකමල්ලයෝ. “ගාමූපද්දවා” ඡවිරාග කිරීමෙන් සිරුරු සැරසීමෙහි යෙදුණු නාගරික මනුෂ්යයෝ. “ගාමූපද්දවා”යිද පාඨය වේ. මෙහි ඒ අර්ත්ථයම වේ. “ථම්හෙ” නාන තොටෙහි බිම තැන සිටුවනලද ටැඹෙහි.
“කුඩ්ඩෙ” ගඩොල් ගල් දැව යන මෙයින්කළ බිත්ති අතුරෙහි එක්තරා එකෙක්හි. “අට්ඨානෙ නහායන්ති” මෙහි අට්ඨාන නම් රුකක් පුවරුවක් මෙන් සැස අෂ්ටපදාකාරයෙන් රෙඛා සිඳ නානතොටෙහි කැන සිටුවත්, එහි නානසුණු වගුරුවා මිනිස්සු කය උලත්. “ගන්ධබ්බහත්ථෙන” නානතොටෙහි තැබූ දැවයෙන් කළ අතින්. ඒ අතින් සුණු ගෙණ මිනිස්සු ඇඟෙහි ගා ගණිත් “කුරුවින්දිකසුත්තියා” කුරුදු නම් ගල්කුඩු ලාකඩ හා එක්කොට කළ ගුලිමිටි කියනු ලැබේ. ඒ ගුලිමිටිය දෙකොණින් අල්ලාගෙන සිරුර ගටත්. “විග්ගය්ග පරිකම්මං කාරාපෙන්ති” ඔවුනොවුන් සිරුරෙන් සිරුර ගටත්. “මල්ලක” නම් මුවරදත් සිඳ කෙළමලා අඩියක සටහනින් කළ මළාවැයි කියනු ලැබේ. මේ මළාව ගිලන්හටද නොදුසුය.
“අකතමල්ලක” නම් දත් නොසිඳ කරණ ලද්දය. මෙය නොගිලන්හට නොවටියි. ගඩොල් කඩක් හෝ කබල් කඩක් හෝ වටියි. “උක්කාසිකං” යනු රෙදිවැටියය. එහෙයින් ස්නානය කරන යම් කිසිවක්හුගේ නානරෙදි වැටියෙන් පිටඉලීම වටියි. “පුථුපාණිකං”යි අත්පිරියම් කියනු ලැබේ. එහෙයින් මිට නොමොලොවා අතින් පිරියම් කිරීම සියල්ලන්ට වටියි.
“වල්ලිකා” යනු කණින් නික්මුනු මුතුවැල් ආදීන්ට මේ නමෙකි. හුදෙක් මුතුවැලම නොවේ. යම්කිසි කන්පලඳනාවක්වේද, යටත්පිරිසෙයින් තල්පතක් නමුදු නොවටියි. “පාමඞ්ගං” බමුණන් යාග පිණිස එල්ලන හූ ආකාරයෙන් එල්ලනහූය. “කණ්ඨසුත්තකං” බෙල්ලෙහි පලඳින යම්කිසි ආභරණයෙකි. “කටිසුත්තකං” කටියෙහි පලදින යම් කිසිවෙකි. යටත් පිරිසයින් හූතත් පමණකුදු වේ. “ඔවට්ටිකං” අත්පාවළලු කෙයුර ආදිය ප්රකටමය. යම්කිසි ආභරණයක් නොවටියි.
“දුමාසිකං වා දුවඞ්ගුලං වා” ඉදින් කෙස් දෙමසක් තුළ දෙයඟුලක් වැඩී සිටියේද, සිඳිය යුතුය. දෙයඟුල ඉක්මවීම නොවටියි. ඉදින් දිග් නොවූයේද, දෙමසට වඩා එක් දවසකුදු ඉක්මවීම නොලබාමය. මෙසේ දෙකින්ම ඉහලට පිරිසිඳීම වදාරණ ලද්දේය. ඉන් මෙපිට නොවටිනබවෙක් නම් නැත්තේය.
“කොච්ඡෙන ඔසණ්හෙන්ති” තෙත්කොට පනාවෙන් පීරා සමකොට හිඳුවත්. “එණෙන” දත් ආදියෙන් කරණ ලද්දවුන් අතුරෙහි යම් කිසිවකින්. “හත්ථඵණෙන” අතින්ම පිරීම් කිස කරන්නාහු ඇඟිලිවලින් පීරත්. “සිත්ථතෙලකෙන” මීඉටි මැලියම් ආදීන් අතුරෙහි කෙස් එක්වන කැටිවන යම්කිසිවකින්. “උදකතෙලකෙන” දියමුසු තෙලින් පනාවෙන් කෙස් පීරානැමීම් ආදීවූ සියලු ක්රියා සැරසීම පිණිස කිරීම නිමිතිකොට සියලු තන්හි දුක්කටය වේ. උඩුකුරුවූ ලොම් ඇතියහු විසින් ලොම් පහතට හෙලීම පිණිස අත තෙමා හිස පිසිදැමිය යුතුය. උෂ්ණයෙන් රත්වූ රජසින්යුත් හිස් ඇත්තන්හට තෙත් අතින් පිසදැමීම වටියි.
“න භික්ඛවෙ ආදාසෙ වා උදකපත්තෙ වා” මෙහි ලොහොතලි ආදියද සඞ්ග්රහ කරයි. යමෙක්හි මුවසටහන පෙනේද, ඒ සියල්ල කැඩපත් ගණනටම යන්නාහ. එහෙයින් යම්කිසිතැනෙක මුවසටහන බලන මහණහුට දුක්කටය වේ. “ආබාධප්පච්චයා” මාගේ වණය සිවිසහිතද, නොහොත් මෙතෙක් සිවිසහිත නොවූයේදැයි දැනගැනීම පිණිස, ‘මම දිරාගියෙම් වෙම්ද, දිරාගියේ නොවූයෙම්දැ’යි මෙසේ ආයුසංස්කාරය බලන පිණිසද, වටීයයි කියන ලදී.
“මුඛං ආලිම්පන්ති” වෙසෙසින් පහන්සිවිපැහැය කරන්නාවූ මුඛාලෙපයන්ගෙන් ආලෙප කරත්. “උම්මද්දෙන්ති” නොයෙක් වත්සුණුවලින් මුහුණ තවරත්. “චුණ්ණෙන්ති” මුඛචූර්ණය ආලෙප කරත්. “මනොසීලිකාය මුඛං ලඤ්චෙඡන්ති” රත්සිරියෙලින් තිලකාදී ලකුණු කරත්. ඒ තිලකාදිය සිරියල් ආදියෙන් කිරීමද නොවටීමය. අඞ්ගරාගාදීහු ප්රකටමය. සියලු තන්හි දුක්කටය වේ.