තිවිධසලාකග්ගාහකථා
“සඤ්ඤත්තියා” අවබෝධ කරවීම පිණිසය. හැඟවීම පිණිසය. “ගූළ්හකං” යනාදිතන්හි අලජ්ජීන් උත්සන්නවූ පිරිසෙහි වැසූ සීට්ටු ගැන්වීම කටයුතුය. ලජ්ජීන් උත්සන්න පිරිසෙහි නොවැසු විවෘත වූ සීට්ටු ගැන්වීම කටයුතුය. අඥයන් උත්සන්න පිරිසෙහි කණට කොඳුරා කීමෙන්යුත් සලාක ගැන්වීම කටයුතුය. “වණ්ණාවණ්ණයො කත්‍වා” ධර්‍මවාදීන්ගේද අධර්‍මවාදීන්ගේද සලාක (සීට්ටු) නිමිත්ත සංඥාවට නගා හෙවත් කුදුමහත් අයුරට නගා ඔවුනොවුන් විසභාග කටයුත්තාහ. ඉක්බිති සියලුම සලාක සිවුරු කොන් නමා එහි මැද තබා කියූ නයින්ම ගැන්විය යුත්තාහ. “දුග්ගහොති පච්චුකඩ්ඪිතබ්බං” අධර්‍මවාදීහු බොහෝ වෙත්නම්, සලාකයෝ වැරදි ලෙසට ගන්නා ලදහ’යි කියා දුන් සලාක නැවැත ඔවුන් අතින් ගෙන තුන්යලක් දක්වා ගැන්විය යුතුය. “සුග්ගහොති සාවෙතබ්බං” එක් ධර්‍මවාදියකු වැඩි වූ කල්හි සලාකයෝ නිවැරදි ලෙසට මොනවට ගන්නා ලදහ’යි ඇස්විය යුතුය. ධර්‍මවාදීහු යම්සේ කියත්නම් ඒ අධිකරණය එසේ සන්සිඳවිය යුතුය. එකල්හි තුන්යලක් දක්වාද, අධර්‍මවාදීහු ඉතා වැඩිවෙත් නම් ‘අද කල් නොවන්නේය, හෙට දැන ගන්නෙමු’යි නැගිට අලජ්ජීන්ගේ පක්‍ෂය බිඳිනු පිණිස ධර්‍මවාදී පක්‍ෂයක් සොයාගෙන දෙවන දවසෙහි සලාක ගැන්වීම කටයුතුය. මෙය වැසූ සීට්ටු ගැන්වීමය.
සකණ්ණජප්පක සලාක ගැන්වීමෙහි වනාහි “ගහිතෙ වත්තබ්බො” යන මෙහි ඉදින් සඞ්ඝස්ථවිර තෙමේ අධර්‍මවාදීන්ගේ සලාකය ගණීද, හෙතෙමේ ‘ස්වාමීනි’ යුෂ්මත්හු මහලුවහුය. වැඩිවයසට පැමිණියහුය. යුෂ්මත්හට මේ නොසුදුසුය. මේ වනාහි ධර්‍මවාදීන්ගේ සලාකැයි මෙසේ අවබෝධ කරවිය යුතුය. ඔහුට අනික් ධර්‍මවාදීන්ගේ සලාක දැක්විය යුතුය. ඉදින් හෙතෙමේ එය ගණීනම් දිය යුතුය. තවද අවබෝධ නොමකෙරේද, ඉන්පසු කිසිවක්හට නොකියවයි කියයුතුය. සෙස කියූනය ඇත්තේමය. නොවැසූ ප්‍රකට වූ සලාක ගැන්වීම් විවෘතාර්‍ත්‍ථ ඇත්තේමය.
තස්සපාපියසිකාවිනයකථා
“පාරාජිකසාමන්තං” යන මෙහි මෛථුන ධර්‍මයෙහි පාරාජිකයට ලංවූයේ නම් දුක්කටය වේ. අදත්තාදානාදීන්හි ථුල්ලවච්චය වේ. “නිබ්බෙඨෙනතං” ‘න සරාමි’ යන වචනයෙන් නිර්‍වෙධනය කරනු ලබන්නහු. “අතිවෙඨෙති” “ඉඞ්ඝායස්මා” යනාදි වචනයන්ගෙන් තදින් වෙළාද “සරාමි ඛො අහං ආවුසො” යනු පාරාජිකය වසනු පිණිස මෙසේ පිළිදන්වාද, නැවත ඔහු විසින් තදින් වෙළනු ලබන්නේ ‘සිහිකරමි’යි පිළිණදී ‘දැන් මා නසන්නාහ’ යන බියෙන් “දවා මෙ” යනාදිය කීයේය. මෙසේ සඟමැද චෝදනාකොට ඇවැතට පැමිණියේ සැබෑදැයි විචාළ කල්හි අනිකක් කියා සඞ්ඝයා වෙහෙසානම් ඒ මහණහුට තස්සපාපිය්‍යසිකා කර්‍මය කටයුතුය. ඉදින් සිල්වත් වන්නේනම් පැමිණි සඟවෙසෙසට නිසිවත පුරා සහනය ලබන්නේය. වත නොපුරා නම් එසේ නසන ලද්දෙක්ම වන්නේය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
සමථක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.
ඛුද්දකවත්‍ථුක්‍ඛන්‍ධක වර්‍ණනාව
ඛුද්දකවත්ථුකථා
ඛුද්දකවත්‍ථුක්‍ඛන්‍ධකයෙහි “මල්ලමුට්ඨිකා” මුට්ඨිකමල්ලයෝ. “ගාමූපද්දවා” ඡවිරාග කිරීමෙන් සිරුරු සැරසීමෙහි යෙදුණු නාගරික මනුෂ්‍යයෝ. “ගාමූපද්දවා”යිද පාඨය වේ. මෙහි ඒ අර්‍ත්‍ථයම වේ. “ථම්හෙ” නාන තොටෙහි බිම තැන සිටුවනලද ටැඹෙහි.
“කුඩ්ඩෙ” ගඩොල් ගල් දැව යන මෙයින්කළ බිත්ති අතුරෙහි එක්තරා එකෙක්හි. “අට්ඨානෙ නහායන්ති” මෙහි අට්ඨාන නම් රුකක් පුවරුවක් මෙන් සැස අෂ්ටපදාකාරයෙන් රෙඛා සිඳ නානතොටෙහි කැන සිටුවත්, එහි නානසුණු වගුරුවා මිනිස්සු කය උලත්. “ගන්‍ධබ්බහත්‍ථෙන” නානතොටෙහි තැබූ දැවයෙන් කළ අතින්. ඒ අතින් සුණු ගෙණ මිනිස්සු ඇඟෙහි ගා ගණිත් “කුරුවින්‍දිකසුත්තියා” කුරුදු නම් ගල්කුඩු ලාකඩ හා එක්කොට කළ ගුලිමිටි කියනු ලැබේ. ඒ ගුලිමිටිය දෙකොණින් අල්ලාගෙන සිරුර ගටත්. “විග්ගය්ග පරිකම්මං කාරාපෙන්ති” ඔවුනොවුන් සිරුරෙන් සිරුර ගටත්. “මල්ලක” නම් මුවරදත් සිඳ කෙළමලා අඩියක සටහනින් කළ මළාවැයි කියනු ලැබේ. මේ මළාව ගිලන්හටද නොදුසුය.