තිණවත්ථාරකාදිකථා
“කක්‍ඛළත්තාය වාළත්තාය” කර්කශභාවය පිණිසද ව්‍යාලභාවය පිණිසද “භෙදාය” සඞ්ඝභෙදය පිණිස “සබ්බහෙව එකජ්ඣං” කිසිවක්හුගේ ඡන්‍දය නොගෙණ ගිලනුන්ද එහිම ගෙණ අවුත් එකට රැස්විය යුතුය. “තිණවත්‍ථාරකෙන වූපසමෙය්‍ය” මෙහි මේ කර්‍මය තිණවත්‍ථාරකයක් සමාන බැවින් තිණවත්‍ථාරකැයි වදාරණ ලදී. යම්සේ ගූථය හෝ මූත්‍රය හෝ ගටනු ලබන්නේ දුගද බැවින් පෙළාද, එපරිද්දෙන්ම යම් අධිකරණයක් මූලානුමූලයට ගොස් සන්සිඳුවනු ලබන්නේ කර්‍කශභාවය පිණිස ව්‍යාලභාවය පිණිස සඞ්ඝභෙදය පිණිස පවතීද, ඒ අධිකරණය මේ කර්‍මයෙන් සන්සිඳුනේ ගූථයක් මෙන් පිළිසන්වූයේ සන්සිඳුනේ වේය’යි මේ කර්‍මය තිණවත්‍ථාරකයක් සමාන බැවින් තිණවත්‍ථාරකැයි වදාරණ ලදී.
“ථුල්ලවජ්ජං” පාරාජිකාපත්තියද, සඞ්ඝාදිසෙසාපත්තියද. “ගිහීපටි සංයුත්තං” ගිහින්ට ලාමකබැවින් කුලමලකීම, ගැරහීම, දැහැමි යමක් පැවැත්ම යන මොවුන් අතුරෙහි පැමිණි ඇවැත.
“එවඤ්ච පන භික්‍ඛවෙ තෙ භික්‍ඛූ තාහි ආපත්තීහි වුට්ඨිතා හොන්ති” මෙසේ තිණවත්‍ථාරක කර්‍මවාක්‍යය කළකල්හි කර්‍මවාක්‍යයාගේ කෙළවර යම් පමණ භික්‍ෂූහු එහි රැස්වූවාහුද යටත්පිරිසෙයින් නිදිගත්තාහුද ඒ ඒ ක්‍රියාවන්ට පැමිණියාහුද, අන්‍යවිහිත වූවාහුද ඒ සියලු භික්‍ෂූහු උපසම්පදා මාළකයෙහි පටන් ථුල්ලවජ්ජ ගිහි පටිසංයුත්තද හැර සෙසු ආපත්තීන්ට පැමිණියාහුද ඒ සියලු ඇවැතින් නැගීසිටියාහු වෙත්. යම් කෙනෙක් ‘මට මෙය නොරුස්නේය’යි ඔවුනොවුන් දෘෂ්ටි ප්‍රකාශය කෙරෙත්ද, නොහොත් ඔවුන් සමග ඇවතට පැමිණද එහි නොආවාහුද අවුත් ඡන්‍දය දී පිරිවෙන් ආදියෙහි හුන්නහු හෝ වෙත්ද, ඔවුහු ඇවතින් නොනැගිටිත්. එහෙයින් “ඨපෙත්‍වා දිට්ඨාවිකම්මං ඨපෙත්‍වා යෙ න තත්‍ථ හොන්ති” යනු වදාරණ ලදී.
අධිකරණකථා
“භික්‍ඛුණිනං අනුපඛජ්ජ” භික්‍ෂුණීන්ගේ අභ්‍යන්තරයට වැද විවාදාධිකරණාදීන්ගේ වචනාර්‍ත්‍ථය දුට්ඨදොස වර්‍ණනාවෙහි කියන ලද්දේමය. “විපච්චතාය වොහාරො” සිත්හි දුක් පිණිස ව්‍යවහාරය. පරුෂ වචනය යන අර්‍ත්‍ථයි. “යො තත්‍ථ අනුවාදො” ඔවුන් චෝදනා කරණකල්හි යම් දොෂාරෝපණයක් වේද, “අනුවදනා” යන මෙය කියූ විපත් අතරෙහි එක්තරා එකකින් චෝදනා කරන ආකාරය දැක්වීමය. සමීපව කීමම යන අර්‍ත්‍ථයි. “අනුල්ලපනා අනුභණනා” යන පද දෙක චොදනාකරය පිළිබඳ වෙවචන මාත්‍රයෙක්මය. “අනුසම්පවංකතා” නැවැත නැවැත කායවාචාචිත්තයෙන් එහිම තදින් නැමුනු බවය. අවනතභාවය යන අර්‍ත්‍ථයි. “අබ්භුස්සහනතා” කුමක් හෙයින් මෙසේ උපවාද නොකරන්නෙම්දැ’යි උත්සාහකොට චොදනා කිරීමය. “අනුබලප්පදානං” මුල්වචනයට කරුණු දක්වා පසු වචනයෙන් බලය දීමය.
“කිච්චයතා කරණීයතා” මෙහි කිච්චම කිච්චය නම. කෘත්‍යයාගේ භාවය කිච්චයතාය. කරණීයයාගේ භාවය කරණීයතාය. මේ දෙකම සඞ්ඝකර්‍මයටම නමෙකි. “අපලොකනකම්මං” යනාදිය වනාහි එහිම ප්‍රභෙද දැක්වීමය. එහි අපලොකනකම්ම නම් සීමාවෙහි සිටි සඞ්ඝයා පිරිසිදුකොට හෙවත් අත්පසට සඞ්ඝයාගේ අනුමැතියෙන් තෙවරක් අස්වා කටයුතු කර්‍මයයි. ඤත්තිකම්ම නම් කියූ නයින්ම සමග්‍ර සඞ්ඝයාගේ එක් ඤත්තියකින් හා එක් අනුශ්‍රාවණයකින්දැයි මෙසේ ඤත්තිය දෙවනකොට ඇති අනුශ්‍රාවණයෙන් කටයුතු කර්‍මයයි. ඤත්තිචතුත්‍ථකම්ම නම් කියූ නයින්ම සමග්‍ර සඞ්ඝයාගේ අනුමැතියෙන් එක් ඤත්තියකින් හා අනුශ්‍රාවණ තුනකිනැයි මෙසේ ඤත්තිය සතරවැනිකොට අනුශ්‍රාවණ තුනකින් කටයුතු කර්‍මයයි.
එහි අපලොකන කර්‍මය අපලොකනය කොටම කටයුතුය. ඤත්තිකර්‍මාදි වශයෙන් නොකටයුතුය. ඤත්තිකර්‍මයද එක් ඤත්තියක් තබාම කටයුතුය. අපලොකන කර්‍මාදීන්ගේ වසයෙන් නොකටයුතුය. ඤත්තිදුතිය කර්‍මය වනාහි අපලොකනය කොට කටයුත්තේද ඇත්තේය. නොකටයුත්තේද ඇත්තේය. එහි සීමා සම්මුති, සීමාසමූහනන, කඨිනදාන, කඨිනුබ්හාර, කුටිවත්‍ථු දෙසනා, විහාරවත්‍ථුදෙසනා යන මේ කර්‍ම සය ගරුක වෙත්. එහෙයින් අප ලොකනය කරන්නට නොවටියි. ඤත්තිදුතිය කර්‍මවාක්‍යය අස්වාම කටයුත්තාහ. සෙසු තෙළෙස් සම්මුතීහුද සෙනාසනගාහක මතක චීවරදානාදි සම්මුතිහුදැයි යන මෙබඳු ලහුකකර්‍ම අපලොකනය කොටද කරන්නට වටිත්. ඤත්තිකර්‍මය, ඤත්ති චතුර්‍ත්‍ථකර්‍ම වශයෙන් වනාහි නොකටයුතුමය. ඤත්තිචතුර්‍ත්‍ථකර්‍මය ඤත්තියද අනුශ්‍රාවණ කර්‍මවාක්‍ය තුනද අස්වාම කටයුතුය. අපලොකනකර්‍මාදි වශයෙන් නොකටයුතුය යනු මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි.
විස්තර වශයෙන් වනාහි “ඉමානි චත්තාරි කම්මානි කතිහාකාරෙහි විපජ්ජන්ති” යනාදිනයින් පරිවාරාවසානයෙහි කර්‍මවර්‍ගයෙහි මොවුනගේ විනිශ්චය ආයේමය. එහි යමක් ප්‍රකට නොවුයේද, එය කර්‍මවර්‍ගයෙහිම වර්‍ණනා කරන්නෙමු. මෙසේ ඇති කල්හි අයුතුතන්හි කළ වර්‍ණනාවක් නොවන්නීය. මුල පටන්ද ඒ ඒ කර්‍මය දත්බැවින් මොනවට දත හැක්කේ වේ.
“විවාදාධිකරණස්ස කිං මූලං” යනාදිය පෙළවිසින්ම දතයුතුය.
“විවාදාධිකරණං සියා කුසලං” යනාදි තන්හි යම් සිතක් කරණකොට ගෙණ විවාද කෙරෙත්ද, ඒ චිත්තොත්පාදය විවාද නම් වේ. සමථයන් කරණකොට ගෙන කටයුතු බැවින් අධිකරණය යන මේ ආදිනයින් අර්‍ත්‍ථය දතයුතුය.