සමොධානපරිවාසකථා
ඉන්පසු පක්‍ෂයක් ප්‍රතිච්ඡන්න වූ ඇවැත් තුළ පිරිවෙස පටන් පස් දවසක් ප්‍රතිච්ඡන්න වූ අන්තරාපත්තියගේ වසයෙන් සමොධාන පරිවාසයද සමොධානමානතද දක්වන ලද්දේය. මෙහිද මානතෙහි හැසිරෙන කාලයෙහි මානතට සුදුසු කාලයෙහි පැමිණි ඇවැත නිමිතිකොට මූලාය ප්‍රතිකර්‍ෂණය කළ කල්හි මානත පිරූ දවස්ද පිරිවෙස් ගෙණ වුසූ දවස්දැයි සියල්ලෝ මකන ලද්දාහු වෙත්. කුමක් හෙයින, යත්: යම්හෙයකින් ප්‍රතිච්ඡන්න වූ අන්තරාත්ති ඇත්තේද එහෙයිනි. එහෙයින්ම “මුලාය පටිකස්සිත්‍වා පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දත්‍වා ඡාරත්තං මානත්තං දෙතු” යි වදාරණ ලදී. ඉන්පසු සියලු අන්තරාපත්තීහු යෙදූ අබ්හානකර්‍මය දක්වා සුක්කවිසට්ඨි වස්තුව නිමවන ලදී.
අග්ඝසමොධානපරිවාසකථා
ඉක්බිති එකාපත්තිමුලකයද ආපත්තිවඩ්ඪනකයද යන නය දෙක දක්වා අග්ඝසමොධානපරිවාසය දක්වන ලද්දේය.
ඉක්බිති සිතා දැන ආරොචනය නොකළ ආපත්ති වස්තුව දක්වා සිතා නොදැන්ම සිහිනොකිරීම විමති ඇතිබව යන මෙයින් ඇවැත ආරොචනය නොකළකල්හි පසුව ලජ්ජි ධර්‍මයෙහි හෝ දැනීම සිහිකිරීම, විමති නැතිබව යන මොවුන් උපන්කල්හි හෝ යමක් කටයුතුද එය දක්වන්නට “ඉධ පන භික්‍ඛවෙ” යනාදිනයින් පෙළ තබන ලද්දීය. ඉක්බිති නොදැනීම සිහි නොකිරීම විමති යන මෙයින් පිළිසන් වූවන්ගේ නොපිළිසන් බව දක්වන්නට එසේම පෙළ තබනලදී.
ද්වෙමාසපරිවාසකථා
ඉක්බිති දෙමසක් පිළිසන් ඇවැත් දෙකක් පිළිබඳව එක් මසක් පිරිවෙස් ඉල්ලීමෙහි වස්තුව දක්වා සිහි නොකොට නොදැනීම සිහිනොකිරීම විමති ඇතිබව යන මේ කරුණුකොට ආරොචනය නොකළකල්හි අන් මසෙක ලජ්ජි ධර්‍මාදිය උපන් කල්හි යමක් කටයුතුද, එය දක්වන්නට නොදැනීම සිහි නොකිරීම විමති යන මෙයින් ප්‍රතිච්ඡන්න කළහුගේ අප්‍රතිච්ඡන්නභාවය දක්වන්නටද පළමුනයින්ම පෙළ තබනලදී.
සුද්ධන්තපරිවාසාදිකථා
ඉක්බිති “ආපත්තිපරියන්තං න ජානාති රත්තිපරියන්තං න ජානාති” යනාදිනයින් සුද්ධන්තපරිවාසය දක්වන ලදී.
ඉක්බිති පාරිවාසිකයා ආදිකොට සිවුරු හැර නැවත උපසම්පන්නාදීන් කෙරෙහි ප්‍රතිපත්තිය දක්වනු පිණිස පෙළතබන ලදී.
එහි “අන්තරා සම්බහුලා ආපත්තියො ආපජ්ජති පරිමාණපටිච්ඡන්නායො” යනාදි තන්හි ආපත්ති පරිච්ඡෙද වසයෙන් ප්‍රමාණ ආපත්තීහුද ප්‍රතිච්ඡන්නාපත්තීහුය යන අර්‍ත්‍ථය.
“පච්ඡිමස්මිං ආපත්තික්‍ඛන්‍ධෙ” එක්ම ඒ ආපත්ති ස්කන්‍ධය. පසුව වැසූ බැවින් “පච්ඡිමස්මිං ආපත්තික්‍ඛන්‍ධෙ”යි කියන ලදී. “පුරිමස්මිං” යන මෙහිද මේ නයම වේ.
“වවත්‍ථිතා සම්භින්නා” මෙය සභාගවිසභාග ආපත්තීන්ට පරියාය වචනයෙකි.
ද්වෙභික්ඛුවාරඑකාදසකාදිකථා
ඉන්පසු යමෙක් වසාද, එහි ප්‍රතිපත්ති දැක්වීම පිණිස “ද්වෙ භික්‍ඛු” යනාදිය කියනලදී. එහි “මිස්සකං” ථුල්ලච්චයාදිය සමග මිශ්‍රවූ. “සුද්ධකං” සඞ්ඝාදිසෙස හැර ලහුකාපත්තික්‍ඛන්‍ධමය.
ඉන්පසු අපිරිසිදු පිරිසිදුබව දක්වනු පිණිස “ඉධපන භික්‍ඛවෙ භික්‍ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා”යනාදිය කියනලදී. එහි ව්‍යඤ්ජන වශයෙන් හෝ අධිප්‍රාය වශයෙන් හෝ අප්‍රකට වූ කිසිවක් නම් නැත්තේය. එහෙයින් හෙද මෙයින් පෙර නොකියනලද සියල්ල පාළි අනුසාරයෙන්ම දතයුතුය.
සමුච්චයක්‍ඛන්‍ධක වර්‍ණනා නිමි.
සමථක්‍ඛන්‍ධක වර්‍ණනාව
සම්මුඛාවිනයකථා
සමථක්‍ඛන්‍ධකයෙහි - “අධම්මවාදී පුග්ගලො” යනාදී වූ මාතෘකා පදසය නික්‍ෂෙපකොට “අධම්මවාදී පුග්ගලො ධම්මවාදීපුග්ගලං සඤ්ඤාපෙති” යනාදිනයින් විස්තරය වදාරණ ලද්දේය. එහි “සඤ්ඤාපෙති” කාරණප්‍රතිරූපකයන් කියා සතුටුකරවා දන්වයි. “නිජ්ඣාපෙති” සුදුසු පරිදි ඒ අර්‍ත්‍ථය කල්පනා කෙරේද, බලාද එසේ කරයි. “පෙක්‍ඛති අනුපෙක්‍ඛති” සුදුසු පරිදි අර්‍ත්‍ථය බලාද නැවැත නැවැත බලාද එසේ කරයි. “දස්සෙති අනුදස්සෙති” ඔවුන්ගේම පර්‍ය්‍යාය වචනයෝය. “අධම්මෙන වූපසම්මති” යම්හෙයකින් ඒ අධර්‍මවාදී පුද්ගලතෙමේ අධර්‍මයම මේ ධර්‍මය’යි යනාදිනයින් මුළාකරවා දක්වාද, එහෙයින් අධර්‍මය කරණකොට ගෙණ සන්සිඳුවා නම.
“ධම්මෙ න වූපසම්මති” යම්හෙයකින් ධර්‍මවාදී පුද්ගල තෙමේ ධර්‍මයම ‘මේ ධර්‍මය’යි යනාදිනයින් මුළානොකරවා දක්වාද, එහෙයින් ධර්‍මය කරණකොටගෙණ සන්සිඳුවා නම.
සතිවිනයකථා
“පඤ්චිමානි භික්‍ඛවෙ ධම්මිකානි සතිවිනයස්ස දානානි” මෙහි පිරිසිදුවූ ඇවැත් රහිතයක්හට සතිවිනය දීම එක් අඞ්ගයෙක, චොදනා කරණලද්දහුට දීම එක් අඞ්ගයෙක, යාඥා කරණලද්දහුට දීම එක් අඞ්ගයෙක, ධර්‍මයෙන් සමගිව දීම එක් අඞ්ගයෙකැයි මෙසේ අඞ්ග පසෙකි. මේ අඞ්ගපස වනාහි එක් එක් අඞ්ගයක්හුගේ වසයෙන් නොලබත්. එහෙයින් මෙය දෙශනා මාත්‍රයකි. පඤ්චාඞ්ගයෙන් යුක්ත වූ සතිවිනයදීම ධාර්මිකය යනු මෙහි මේ අර්‍ත්‍ථයයි. එහිද “අනුවදන්ති” චෝදනා කරති. සෙස්ස ප්‍රකටමය. මේ සතිවිනය වනාහි ක්‍ෂීණාස්‍රවයාහටම දියයුතුය. අනිකක්හට නොදිය යුතුය. යටත් පිරිසෙයින් අනාගාමියක්හටද නොදිය යුතුය. හෙද වනාහි අනිකකු විසින් චොදනා කරණු ලබන්නක්හටම දිය යුත්තේය. චෝදනා නොකරණු ලබන්නක්හට නොදිය යුතුය. චෝදනා නොකරණු ලබන්නක්හට දුන් කල්හි එහි චොදකයාගේ කථාව නොනගියි. චොදනා කරන්නේද ‘මේ ක්‍ෂීණාස්‍රවතෙමේ සනිවිනය ලද්දේය. කවරෙක් තාගේ කථාව ගන්නේදැ’යි පහකටයුතු බවට පැමිණේ.