අධම්මකම්මාදිද්වාදසකකථා
“අසම්මුඛා කතං” යනාදීවූ ත්‍රිකය කියූ ආකාර ඇත්තේමය.
අඞ්ගසමන්නාගමය පෙර තර්‍ජනීයාදි කර්‍මයන්ට කියනලද කරුණු හා අසමාන වේ. එහි යම්සේ ලාභ නොලබත්ද, එසේ උත්සාහ කරණුයේ පරාක්‍රම කරණුයේ අලාභය පිණිස උත්සාහය කෙරේනම. අනර්‍ත්‍ථාදීන් කෙරෙහිද මේ නයවේ. එහි “අනත්‍ථො” වැඩ නැසීමය. “අවාසො” එතැන්හි නොවිසීමය. “ගිහීනං බුද්ධස්ස අවණ්ණං.” ගිහියන්ගේ සමීපයෙහි බුදුරජුන්ගේ නුගුණ කියාද, “ධම්මිකං පටිස්සවං න සච්චාපෙති” යම්සේ සත්‍යය ඇත්තේවේද, මෙසේ නොකෙරේද, වස්සාවාසය පිළිගෙණ නොයේද, අන්‍ය වූ හෝ මෙබන්දක් නොකෙරේද, “පංචන්නං භික්‍ඛවෙ” යනාදිය එක් අඞ්ගයක් කරණකොට ගෙණද, කර්‍මයට සුදුසු බව දක්වනු පිණිස වදාරණ ලදී. මෙහි සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. තර්‍ජනීයකර්‍මයෙහිද කියූනය ඇත්තේමය.
ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකථා
ඡන්න වස්තුවෙහි - “ආවාසපරම්පරඤ්ච භික්‍ඛවෙ සංසථ” සියලු ආවාසයන්හි සැලකරවු.
“භණ්ඩනකරකො” යනාදිතන්හි ඩබරකිරීම් ආදිය නිසා පැමිණි ඇවත නගා ඇවැත නොදැක්මෙහිම කර්‍ම කටයුතුය. ත්‍රිකය කියූ ආකාර ඇත්තේමය.
මෙහි මනාව පැවැත්මෙහි තෙසාළිසක් වත්වේ. එහි “න අනුද්ධංසෙතබ්බො” චෝදනා නොකටයුතුය. “න භිඣු භික්‍ඛූහි” අන් මහණෙක් තෙමේ අන් මහණුන් හා නොබිදිය යුතුය. “ න ගිහීධජො” සුදුවත්ද නොසිඳූ දාවලු ඇති මල්දාවලු ඇති වත් නොදැරිය යුතුය. “න ආසදෙතබ්බො” නොගැටිය යුතුය. “අන්තො වා බහි වා” විහාරය තුළ හෝ පිටත හෝ න තිත්‍ථියාදිපදත්‍රය ප්‍රකටමය. සෙසු සියල්ල පරිවාසිකක්‍ඛන්‍ධකයෙහි වර්‍ණනා කරන්නෙමු. සෙස්ස තර්‍ජනීය කර්‍මයෙහි කියූනය ඇත්තේමය. ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂෙපණීය කර්‍මය මේ ප්‍රතිසාරාණීය කර්‍මය සමානම වේ.
අරිෂ්ට වස්තුව ඛුද්දක වර්‍ණනාවෙහි කියනලදී. “භණ්ඩනකාරකො” යනාදිතන්හි යම් දෘෂ්ටියක් නිසා ඩබරකිරීම් ආදිය කෙරේද, ඒ දෘෂ්ටිය නොහැරීමෙහිම උත්ක්‍ෂෙපණීය කර්‍මය කටයුතුය. සෙස්ස තර්‍ජනීය කර්‍මයෙහි කියූනය ඇත්තේමය. මනාව පැවැත්මෙහිද මෙහි තෙසාළිසක්ම වත්වේ.
කම්මක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.
පාරිවාසිකක්‍ඛන්‍ධක වර්‍ණනාව
පාරිවාසිකවත්තකථා
පරිවාසිකක්‍ඛන්‍ධකයෙහි - “පාරිවාසිකා” පිරිවෙස් වසන්නෝය. එහි අපටිච්ඡන්නපරිවාස - පටිච්ඡන්න පරිවාස - සුද්ධන්තපරිවාස - සමොධානපරිවාසයි පරිවාසය සිවුවැදෑරුම් වේ. ඔවුන් අතුරෙහි, ‘මහණෙනි’ අන්‍යවූද පෙර අන්‍යතීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි පැවිද්ද කැමැතිවේද, උපසම්පදාව කැමැතිවේද, ඔහුට සිවුමසෙක් විසීමෙහි පරිවාසය දියයුතුය’යි මෙසේ මහාක්‍ඛන්‍ධකයෙහි කියූ තීර්ථකපරිවාසය තෙමේ අපටිච්ඡන්නපරිවාස නම්වේ. එහි යමක් කියයුතුද, එය කියන ලද්දේමය. මේ පරිවාසය මෙහි අදහස් නොකරණ ලද්දේය. සෙසු පරිවාසයෝ තිදෙන යමකු විසින් සඞ්ඝාදිසෙසාපත්තිතොමෝ පැමිණෙන ලද්දීවේද, වසන ලද්දීවේද, ඔහුට දියයුතුය. ඒ පරිවාසයන්හි යමක් කියයුතුද, ඒ කියයුත්ත සමුච්චයක්‍ඛන්‍ධකයෙහි කියන්නෙමු. මේ පරිවාසයෝ මෙහි අදහස් කරණ ලදහ. එහෙයින් මේ පිරිවෙස් අතුරෙහි යම්කිසි පිරිවෙසක් ගෙණ වසන්නාහු පාරිවාසිකයෝයි දතයුත්තාහ.
“පකතත්තානං භික්‍ඛූනං” නවකතර පාරිවාසිකයා හැර සෙසු මූලායපටිකස්සනරහාදීන්ගේද “අභිවාදනං පච්චුට්ඨානං” ඔවුහු යම් අභිවාදනාදියක් කෙරෙත්ද, එය ඉවසත්, පිළිගණිත්, ප්‍රතික්‍ෂෙප නොකෙරෙත්ය යන අර්‍ත්‍ථයි. ඒ අභිවාදනාදිය අතුරෙහි “සාමිචිකම්මං” අභිවාදනාදිය හැර පවන් සැලීම් ආදී වූ අන්‍යවූ සුදුසු ආභිසමාචාරිකයට මේ නමෙකි. “ආසනාභිහාරං” අසුන් එළවීම. අසුනක් ගෙණ යෑමය. නොහොත් පැණවීමම වේ. සෙය්‍යාභිහාරයෙහිද මේනයම වේ. “පාදොදකං” පාදෝනාදිය. “පාදපීඨං” දෙවූපා තබන පුටුව. “පාදකඨලිකං” නොදෙවූ පාතබන දඩුකඩ. පාගටන සක්‍ඛර කඨලාදිය හෝ ය. “ආපත්ති දුක්කටස්ස” සද්ධිවිහාරිකයන්ගේද වත්පිළිවෙත් ඉසන්නහුට දුක්කටමය. එහෙයින් ‘මම විනය කර්‍මයක් කරමි’ මට වත් නොකරවු ගම් වැදීම ගැන හෝ මා නොවිචාරවු’යි ඔවුන්ට කියයුතුය. ඉදින් සැදැහයෙන් පැවිදිවූ කුලපුත්‍රයෝ ‘ස්වාමීනි’ ඔබවහන්සේ ඔබවහන්සේගේ විනයකර්‍ම කරගනු මැනැවැ’යි කියා වත් කෙරෙත්නම් ගම්වැදීමත් විචාරත් නම් වැළකු කලපටන් ඇවැත් නොවේ. “මිථු යථාඛුඩ්ඪං” ඔවුනොවුන් පාරිවාසික භික්‍ෂූන් අතුරෙහි යමෙක් යමෙක් මහලුවේද, ඔහු ඔහු විසින් නවකතරයාගේ වත් ඉවසන්නට.
“පඤ්ච යථාඛුඩ්ඪං” පකතත්ත භික්‍ෂූන්ද සමග වැඩිමහල් පිළිවෙළින්ම එහෙයින් පාමොක් උදෙසන කල්හි අත්පස හිඳීම වටියි. මහාපච්චරියෙහි වනාහි පෙළට නොඉඳ, පෙළහැර අත්පස නොමුදන්නහු විසින් හිඳියයුතුයයි කියනලදී. පාරිසුද්ධි උපොසථය කරණකල්හි සඞ්ඝනවකස්ථානයෙහි හිඳ, එහිම හුන්නහු විසින් තමන්ගේ පෙළෙහි පාරිසුද්ධි උපොසථය කටයුතුය. පවාරණයෙහිද සඞ්ඝනවකස්ථානයෙහි හිඳ එහිම හුන්නහු විසින් තමන්ගේ පෙළෙහි පැවරිය යුතුය. සඞ්ඝයා විසින් ගෙඩිය ගසා බෙදනු ලබන වැසිසළුවද තමන්ට පැමිණි තන්හිදී ගැණීම වටියි.
“ඔනොජනං”යි අන් දවසට කල්තැබීම කියනු ලැබේ. ඉදින් පරිවාසිකයාහට දෙකක් තුනක් උද්දෙසභත්තාදිය ලැබෙත්නම්, මේ පාරිවාසිකයාගේ අන්‍යවූද, පුග්ගලිකභත්තාදිය පිළිබඳ ප්‍රත්‍යාශාවක් වේද, ඒ බත් ආදිය පිළිවෙළින් ගෙණ ‘ස්වාමීනි’ යට ගැන්වුව මැනැවැ, අද මට භත්තප්‍රත්‍යාශාවක් තිබේ, හෙට ගන්නෙමි’යි හැරිය යුතුය. මෙසේ ඒ බත් පුනපුනා දවස්හි ගන්නට ලැබේ. පසුදවසෙහි සියල්ලන්ට පළමුව මොහුට දියයුතුය’යි කුරුන්‍දියෙහි කියනලදී. ඉදින් නොගණීද, නොහරීද, දෙවන දවසෙහි නොලබන්නේය. මේ ඔනොජනය පාරිවාසිකයාහටම උදෙසා අනුදන්නාලදී. කුමක් හෙයින, යත්:- සඞ්ඝනවකස්ථානයෙහි හුන් ඔහුට වනාහි භත්තාග්‍රයෙහි කැඳ කැවිලි ආදිය පැමිණෙත් හෝ නොපැමිණෙත් හෝ, එහෙයින් හෙතෙමේ භික්‍ෂාහාරයෙන් ක්ලාන්ත නොවේවා’යි මෙය මොහුට සඞ්ග්‍රග කරණු පිණිස උදෙසා අනුදන්නාලදී.