7. ඛෙත්තූපම සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - ඡඞ්ගලං = තද, මෘදු නොවන ඔසරං හටගත් ලුණු ඇත්තේ. පාපභූමි = පහත් තත්ත්වයේ බිම් කොටසක් මංදීපා ආදී තැන්හි (අරුත් මෙසේ දැක්විය හැක) මම මොවුන් හට පහනක් වෙමි, යන අරුතින් “මංදිපා” යයි ද, ආරක්ෂකයකු වන මම මොවුන් හට ඇලී -ගැලී සබඳතා පැවැත්විය හැකි අයෙක්මි යන අරුතින් “මං ලෙණා” යයි ද, මම මොවුන් හට පිහිටක්ය, රැකවරණයක්ය යන අරුතින් “මංතාණා” යයි මම මොවුන් හට පිහිටවන්නෙක්ය, බිය නසන්නෙක්ය යන අරුතින් “මං සරණා” යයිද (පද යොදා ඇත. විහරන්ති = මා හට මෙසේ කටයුතු කොට වාසය කරත්.
ගොභත්තම්පි = ධාන්‍ය ඇට නොමැති බැවින් කපා මිටි වශයෙන් බැඳ තබන ලද කොටස් ග්‍රීෂ්ම කාලයෙහි ගොනුන්ගේද ආහාර වන්නේය යන අදහසයි. උදක මණිකො = උදර කුහරයෙහි පහළ මේඛලා ප්‍රදේශයට මේ නම ලැබී ඇත. බඳුන් වෙසෙසකට ද මේ නම යෙදේ. අහාරි අපරිහාරී = ජලය රැගෙන නො යයි. පරිහරණය නොකරයි, නො ගනියි යන අරුතයි. මෙසේ මේ සූත්‍රයෙහිදී සකස් කොට ධර්ම දේශනය කරන ලදී. බුදුවරුන්ගේ වනාහී සකස් නො කොට කෙරෙන ධර්ම දේශනයක් නම් නැත්තේය. බුදුවරු වනාහී සිංහයන් හට සමාන පැවතුම් ඇත්තෝය. යම්සේ සිංහයා බලවත් හස්තීන් වේවා සාවුන් බළලුන් ආදීන් වේවා අල්වා ගැනීම සඳහා එක සමාන වූ ම වේගයක් යොදවයි ද, එසේම බුදුන් වහන්සේලා ද එක් අයකුට. දෙදෙනකුට, හෝ බොහෝ දෙනකුට වේවා. තීර්ථකයන් හට වේවා දහම් දෙසන්නාහු සකස් කොටම ධර්ම දේශනා කරත්. සිවු පිරිස් වනාහී අදහා ගෙනම, විශ්වාස කොට ගෙන ම (ඒ ධර්මය) ශ්‍රවණය කරත්. (එසේ හෙයින්) එම සර්වඥයන් වහන්සේලාගේ දේශනාවන් සකස් කොට කරනු ලබන දේශන (හෙවත් සක්කච්ච දේසනා) නම් විය.
8. සඞ්ඛධම සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - යං බහුලං යං බහුලං = (යමක් බහුල ද, යමක් බහුල ද යන) මෙයින් නිගණ්ඨ තෙමේ තමාගේ මතය තමාම බිඳ ගනියි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ එවං සන්තෙ න කොචි ආපායිකො = (මෙසේ ඇති කල්හි කිසිවෙක් අපාය ගාමී නොවෙත්) යන ආදිය වදාළහ. මුලින් දැක්වූ පද සතර දෘෂ්ටියක් සඳහා හේතු වෙයි. එබැවින් ඒ පිළිබඳව ද ආදීනව දක්වමින් ඉධ ගාමණි. එකච්චො සත්ථා එවං වාදී හොති (එම්බා ගාමණී, මෙලොව ඇතැම් ශාස්තෲවරයෙක් මෙ වැනි වාද ඇත්තේ (හෙවත් මත දරන්නේ වෙයි) යන ආදිය කීහ. එහි අහම්පහි යනු මම ද වෙමි යනුයි.
මෙත්තා සහගතෙන යන ආදියෙහි යමක් කිවයුත්තේ ද, ඒ සියල්ල භාවනා පිළිවෙළ සමග විශුද්ධි මාර්ගයෙහිදී කියන ලද්දේමය. සෙය්යථාපි ගාමණී බලවා සඞ්ඛධම්මො යන ආදිය වනාහී මෙ ලොව පෙර නොවූ දෙයකි. එහි බල සම්පන්න වූ සක් පිඹින්නෙක් වෙයි. අප්පකසිරෙන = අපහසු බවෙන් තොරව, දුකින් තොරව, දුබල වූ සක්පිඹින්නා වනාහී හක් ගෙඩිය පිඹින්නේ නමුදු සතර දිසාවන්හි (ශංඛ) නාදය පැතිර වීමට නොහැකි වෙයි. ඔහුගේ සක් හඬ හැම දෙසටම පැතිර නොයයි. ශක්තිවන්තයාගේ වනාහි (සක් හඬ) ඉක්මනින් පැතිරෙන්නේ වෙයි. එබැවින් “බලවා” (ශක්තිවන්තයා) යයි කීය.
මෙත්තාය චෙතො විමුත්තියා මෙහි “මෙත්තා” යි කියු කල්හි (ධ්‍යානයට පූර්වයෙන් වන) මූලික කටයුතු ද, ධ්‍යානය ද සැලකේ. “චෙතො විමුත්ති”යි කියූ කල්හි වනාහි ධ්‍යානයම සැලකේ. යං පමාණකතං කම්මං = ප්‍රමාණ කරන ලද ක්‍රියාව වනාහි කාමාවචරයයි කියනු ලැබේ. ප්‍රමාණ නො කරන ලද ක්‍රියාව වනාහී රූපාවචර වේ. එය වනාහී පමණ ඉක්මවා. නියම කරන ලද්දාවූද, නියම නොකරන ලද්දාවූ ද දිසාවන්හි පැතිරවීම් වශයෙන් වර්ධනය කොට කරන ලද බැවින් ප්‍රමාණ නොකරන ලදැයි කියනු ලැබේ.
න තං තත්රාව සිස්සති නතං තත්රාව තිට්ඨති = කාමාවචර කර්මය එම රූපාවචර අරූපාවචර කර්මයන්හි නො පිහිටයි. නො සිටියි. කුමක් කියන ලද්දේද යත්. එම කාමාවචර කර්මය යථොක්ත රූපාවචර හා අරූපාවචර කර්මයාගේ අතරෙහි ඇලී ගැලී පැවතීමට හෝ සිටීමට හෝ රූපාවචර අරූපාවචර කර්මය පතුරවා සම්පූර්ණයෙන් ග්‍රහණය කොට තමාට අවස්ථාවක් ලබාගෙන පිහිටා සිටීමට හෝ නොහැකි වෙයි. මහදිය කඳක් ස්වල්ප වූ ජලයක් විසුරුවා මැඩ පවත්වා තමාට අවකාශයක් ඇතිකර ගන්නාක් මෙන් රූපාවචර අරූපාවචර කර්මයම කාමාවචරය විසුරුවා මැඩ පවත්වා තමාට අවකාශ ඇති කරගෙන සිටියි. ඔහුගේ විපාකය වළක්වා තමා ම බ්‍රහ්ම සමාගමයට පමුණුවයි. මෙසේ මේ සූත්‍රය මුලදී කෙලෙස් වශයෙන් නැගී අවසානයේදී බ්‍රහ්ම විහාර වශයෙන් ගන්නා ලද බැවින් අනුපිළිවෙළින්ම ගෙන යන ලදී.
9. කුල සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - දුබ්භික්ඛා = ආහාර හිඟ බව, ද්වීහිතිකා = ජීවත් වන්නෙමුද, නොවන්නෙමු ද යනුවෙන් මෙසේ පැවතී උත්සාහවත් බව (හෙවත් දරා ගැනීම) දුහිතිකා යනුවෙන් ද පාඨයක් වේ. (එහිද) මේ අරුත ම වේ. “දුක්ඛං ඊහති” හෙවත් (දුකසේ දරා ගනියි) යන මෙහි කිසිම ක්‍රියාවක් පහසුවෙන් සිදු කිරීමට නොහැක්කේය යන අරුතින් “දුහිතිකා” නම් වේ. ඒ ඒ තන්හි මළ මිනිසුන් ගේ විසුරුණා වූ සුදු පැහැති ඇට මෙහි ඇත යන අදහසින් සෙතට්ඨිකා (යි යෙදවන) සලාකවුත්තා = සලාක මාත්‍රයක් පමණක් බෙදා හරින ලදී. එහි යමක් විසුරුවන ලද්දේ ද, වපුරන ලද්දේ ද එය සලාක මාත්‍රයක් පමණක්ම විය. ප්‍රතිඵල නො උපදවන්නේය යන අර්ථයයි.
උග්ගිලිතුං = අන්ත දෙකම බැහැර කොට කියන්නට නොහැක්කේ ගිලගැනීමට හෝ වැමෑරීමට නො හැකි විය. ඔගිලිතුං = වාලධියෙහි දොසක් දැක. ඉවත් කිරීමට නොහැක්කේ ගිල ගැනීමට හෝ ඇතුලු කර ගැනීමට නොහැකි විය.
ඉතො සො ගාමණි එක නවුතො කප්පො = නාසයෙන් නික්මෙන්නාවූ වාතය යම්තාක් වූ කාලයක් තුළ නැවත ඇතුල් නොවේද, එපමණ කාලයකින් (හෙවත් එක් හුස්ම ගැනීම් කාලයක් තුළ) කල්ප අනූ එකක් සිතින් සිහිපත් කළේය. පිසූ ආහාර දන්දීම නිසා පෙර පැමිණි කිසිවකු නිවසේ සිටීදැයි දැන ගැනීම පිණිස (යොමු වූයේ නමුදු) එක් අයකුදු නො දක්නේ “ඉතොසො ගාමණී” යන ආදිය කීහ. දැන්, දන්දීම් ආදියෙහි අනුසස් දෙසන්නාහු “අථ ඛො යානි තානි කුලානි අඞ්ගානි” (ආඪ්‍යව පවත්නා. යම් බඳු වූ එම කුල ගෙවල් වේද) යනුවෙන් දම් දෙසුම ඇරඹූහ. එහි දාන සම්භුතානි යනු දානයෙන් හටගත්. දානයෙන් උපන් යන අදහසයි. සෙසු පද දෙකෙහි ද අරුත් මේ පිළිවෙළින්ම වේ. මෙහි වනාහී “සච්චං” (සත්‍යය) නම් සත්‍යවාදී බවයි. “සඤ්ඤමං” (සංයමය) නම් සෙසු සීලයයි. විකිරති = නුසුදුසු ලෙස වළඳමින් විසුරුවා හරියි. විධමති = ගිනි අවුලන්නාක් මෙන් වනසයි. විද්ධංසෙති = නසයි. අනිච්චතා = අනිත්‍ය භාවයට පත් වී අභාවයට යාමයි. නැතහොත් බොහෝ කලක් තුළ රැස් කරගත් දෙය සැණෙකින් අතුරුදන් වීමයි.