2. තාලපුට සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - තාල පුත්තො = එම නම ඇති අයෙකි. නටුවෙන් ගිලිහුණ ඉදුණ තල්ගෙඩියක් වැනි ඔහු ගේ වර්ණය ඉතා ප්‍රසන්න විය. එබැවින් ඔහුට තාල පුත්ත යයි නම් කළහ. එම තැනැත්තා සම්පූර්ණ කළ ප්‍රාර්ථනාවන් ඇත්තාවූ පශ්චිම භවයෙහි උපන්නා වූ පුද්ගලයෙකි. යම් හෙයකින් වනාහී අහසට දැමු බෝලයක් මෙන් ප්‍රතිසන්ධිය යනු අනියත දෙයක් වේද, එබැවින් මේ තෙමේ නැටුම් කුලයෙක උපන්නේ, වැඩි වියට පත් වූයේ නැටුම් ශිල්පයෙහි අග්‍ර වී මුළු දඹදිව්හිම ප්‍රසිද්ධ වූයේය. ඔහුට ගැල් පන්සියයක් ද, ස්ත්‍රීහු පන්සියයක් ද පිරිවරවූහ. ඔහුගේ බිරිඳට ද එපමණම පිරිවර වූහ. ස්ත්‍රීන් දහසක් ද, ගැල්දහසක් ද සමගින් යම් නගරයකට හෝ නියම් ගමකට පිවිසෙන්නේ ද එහිදී ඔහුට පෙරාතුවම ලක්ෂයක් දෙති. සැණකෙළි වෙස් ගෙන ස්ත්‍රීන් දහසක් සමග ක්‍රීඩා කරන ඔහුට එහි කෙළවරක් නැත. ඔහු එදින ස්ත්‍රීන් දහසක් පිරිවරා ගෙන රජගහ නුවර ක්‍රීඩා කොට මේරු නුවණක් ඇති බැවින් පිරිවර සහිතවම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය.
සච්චාලිකෙන = සත්‍යයෙන් ද අසත්‍යයෙන් ද (වශයෙන්) තිට්ඨතෙතං = එය (එසේ) තිබේවා රජනීයා = රාගය නමැති හේතුව මුල් කරගත්, පඤ්චවර්ණ නූල් (තිර) ඉවත් කරන සුලං වැසි දර්ශනයවීම් ආදිය ද, වෙනත් කාමාස්වාදයන්හට සම්බන්ධ ඉන්‍ද්‍රියචලන හා අංගචලන දක්වන භීය්‍යොසොමත්තාය. අධික වූ ප්‍රමාණයක් ඇති බැවින්. දොසනීයා = වැරැද්දක හේතුව නිසා අත් පා සිඳීම් ආදිය දක්වන ආකාරයන් මොහනීය = මුලාවේ හේතුවෙන් ජලය රැගෙන (එය) තෙල්යයි පෙන්වීම ද, තෙල් රැගෙන (එය) ජලය යයි පෙන්වීම ද යන මේ ආදී විවිධත්වයන්
පහාසො නාම නිරයෝ = වෙනමම “පහාස” නම් වූ නිරයක් නම් නැත්තේය. නිරයෙහි සත්ත්වයෝ නටන්නවුන් මෙන් ද, ගයන්නුන් මෙන් ද වශයෙන් නළුවෙස් ගෙන ම අවීචි (නිර)යේම එක් කොටසක පැසෙති. (හෙවත් දැවෙමින් සිටිති) මෙය ඒ සඳහා කියන ලදී. නාහං භන්තෙ එතං රොදාමි = “ස්වාමීනි, මම භාග්‍යවතුන්ගේ මෙම ප්‍රකාශ කිරීම (අනුව) නොහඬමි”යි යන මෙහි අර්ථය සකර්මක වශයෙන් දත යුතුය. (මේ කරුණ මෙසේ දත යුතු වේ. “රොදාමි” යනු “රුදු” ධාතුවෙන් නිපන් අකර්මක උත්තම පුරුෂ ඒකවචන වර්තමාන කාලින ආඛ්‍යාත පදයකි. එහෙත් “නාහං භන්තෙ එතං රොදාමි” යන වැකියේ “රොදාමි” යන්න සකර්මක ආඛ්‍යාතයක් ලෙස යොදා තිබේ. සාමාන්‍ය පාලි භාෂා ව්‍යවහාරයේදී “රොදාමි” යන්නට “එතං” යන්න කර්ම පදය මෙහිදී සකර්මක බවට හැරී තිබේ. ඒ බව “සකම්මක” වසෙනෙත්‍ථ අත්‍ථො වෙදිතබ්බො” යයි අටුවාචාරී බුද්ධඝෝෂ තෙරණුවෝ ම ලියා තැබූහ. “මෑණියනි, මළ අය වෙනුවෙන් කඳුලු හෙලමින් හඬන්නාහුය,” යන අදහස් දක්වන පාලි වැකියෙහි ද වෙනස් ව්‍යවහාර ඇත. (එම වැකියෙහි “මතං” (මළ අය) යන කර්ම පදය යොදා “රොදන්ති” (හඬත්) යන්න සකර්මක බවට හරවා ඇත)
3-5. යෝධාජීව ආදි සූත්‍ර වර්ණනා
තෙවැන්නෙහි - යොධාජීවො යුද්ධයෙන් ජීවිකාව කරගන්නා තැනැත්තා ධර්ම සංග්‍රහ කාරක තෙරවරුන් විසින් යොදා ගන්නා ලද නාමයකි. උස්සහතිවායමති = උත්සාහ කරයි. වෑයම් කරයි. පරියාපාදෙන්ති = මරණයට පමුණුවත් දුක්කටං = අයහපත් ලෙස කරන ලද දුප්පණිහිතං = අයහපත් ලෙස පිහිටුවන ලද සරජිතො නාම නිරයො = මෙය ද හුදෙක් එක් නිරයක්ම නොවේ. අවීචියෙහිම එක්තරා කොටසක පඤ්චායුධයෙන් සන්නද්ධ වී අත්හි පලිස් දරා ඇත් අස් රථ මතුයෙහි නැඟී සංග්‍රාමයකදී යුද්ධ කරන්නවුන් මෙන් පැසෙත්. ඒ සඳහා මෙය කියන ලදී. සිවු වැන්නෙහි ද, පස්වැන්නෙහිද මේ පිළිවෙළම වේ.
6. අසිබන්ධක සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - පච්ඡාභූමකා පසු බිමෙහි වසන්නෝ කාමණ්ඩලුකා පැන් කෙණ්ඩි දරන්නෝ (හෙවත් පරිබ්‍රාජකවරු) සෙවාල මාලිකා = උදෑසනම ජලයෙන් සේවාල (හෙවත් දිය සෙවෙල්) ද, උපුල් ආදිය ද ගෙන ජල පරිශුද්ධතාවය දැනගනු පිණිස මාලයක් තනා පළදින තැනැත්තිය. උදකොරොහකා = සවසද, උදෑසන ද ජලයට බසින්නෝ උය්‍යාපෙන්ති = උනන්දුවෙන් මෙහෙයවත්. සඤ්ඤාපෙන්ති = මනාව දැනුවත් කරත්. සග්ගංනාම ඔක්කාපෙන්ති = පිරිවරා ගෙන සිටින්නාහු “මහාබ්‍රහ්මලෝකයට යව”යි කියමින් ස්වර්ග ලෝකයට යවත්. අනුපරිසක්කෙය්‍ය = අවට (හාත් පස, වටේට) හැසිරෙන්නේය. උම්මුජ්ජ = ඉහලට එසවෙන්න, නැගිටින්න. ථලමුප්ලව = ගොඩබිමට නැගගන්න. තත්‍රා යස්ස = එහි යමක් සිදුවන්නේ නම් සක්ඛරා වා කඨලාවා = ගල් කැට ද කැබිලිතිද සාධො ගාමි අස්ස ඇය යටට යන්නී නම්, පහළට යන තැනැත්තියක් වන්නී නම් අධොගච්ඡ = පහළට යන්න.