පහාසො නාම නිරයෝ = වෙනමම “පහාස” නම් වූ නිරයක් නම් නැත්තේය. නිරයෙහි සත්ත්වයෝ නටන්නවුන් මෙන් ද, ගයන්නුන් මෙන් ද වශයෙන් නළුවෙස් ගෙන ම අවීචි (නිර)යේම එක් කොටසක පැසෙති. (හෙවත් දැවෙමින් සිටිති) මෙය ඒ සඳහා කියන ලදී. නාහං භන්තෙ එතං රොදාමි = “ස්වාමීනි, මම භාග්‍යවතුන්ගේ මෙම ප්‍රකාශ කිරීම (අනුව) නොහඬමි”යි යන මෙහි අර්ථය සකර්මක වශයෙන් දත යුතුය. (මේ කරුණ මෙසේ දත යුතු වේ. “රොදාමි” යනු “රුදු” ධාතුවෙන් නිපන් අකර්මක උත්තම පුරුෂ ඒකවචන වර්තමාන කාලින ආඛ්‍යාත පදයකි. එහෙත් “නාහං භන්තෙ එතං රොදාමි” යන වැකියේ “රොදාමි” යන්න සකර්මක ආඛ්‍යාතයක් ලෙස යොදා තිබේ. සාමාන්‍ය පාලි භාෂා ව්‍යවහාරයේදී “රොදාමි” යන්නට “එතං” යන්න කර්ම පදය මෙහිදී සකර්මක බවට හැරී තිබේ. ඒ බව “සකම්මක” වසෙනෙත්‍ථ අත්‍ථො වෙදිතබ්බො” යයි අටුවාචාරී බුද්ධඝෝෂ තෙරණුවෝ ම ලියා තැබූහ. “මෑණියනි, මළ අය වෙනුවෙන් කඳුලු හෙලමින් හඬන්නාහුය,” යන අදහස් දක්වන පාලි වැකියෙහි ද වෙනස් ව්‍යවහාර ඇත. (එම වැකියෙහි “මතං” (මළ අය) යන කර්ම පදය යොදා “රොදන්ති” (හඬත්) යන්න සකර්මක බවට හරවා ඇත)
3-5. යෝධාජීව ආදි සූත්‍ර වර්ණනා
තෙවැන්නෙහි - යොධාජීවො යුද්ධයෙන් ජීවිකාව කරගන්නා තැනැත්තා ධර්ම සංග්‍රහ කාරක තෙරවරුන් විසින් යොදා ගන්නා ලද නාමයකි. උස්සහතිවායමති = උත්සාහ කරයි. වෑයම් කරයි. පරියාපාදෙන්ති = මරණයට පමුණුවත් දුක්කටං = අයහපත් ලෙස කරන ලද දුප්පණිහිතං = අයහපත් ලෙස පිහිටුවන ලද සරජිතො නාම නිරයො = මෙය ද හුදෙක් එක් නිරයක්ම නොවේ. අවීචියෙහිම එක්තරා කොටසක පඤ්චායුධයෙන් සන්නද්ධ වී අත්හි පලිස් දරා ඇත් අස් රථ මතුයෙහි නැඟී සංග්‍රාමයකදී යුද්ධ කරන්නවුන් මෙන් පැසෙත්. ඒ සඳහා මෙය කියන ලදී. සිවු වැන්නෙහි ද, පස්වැන්නෙහිද මේ පිළිවෙළම වේ.
6. අසිබන්ධක සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - පච්ඡාභූමකා පසු බිමෙහි වසන්නෝ කාමණ්ඩලුකා පැන් කෙණ්ඩි දරන්නෝ (හෙවත් පරිබ්‍රාජකවරු) සෙවාල මාලිකා = උදෑසනම ජලයෙන් සේවාල (හෙවත් දිය සෙවෙල්) ද, උපුල් ආදිය ද ගෙන ජල පරිශුද්ධතාවය දැනගනු පිණිස මාලයක් තනා පළදින තැනැත්තිය. උදකොරොහකා = සවසද, උදෑසන ද ජලයට බසින්නෝ උය්‍යාපෙන්ති = උනන්දුවෙන් මෙහෙයවත්. සඤ්ඤාපෙන්ති = මනාව දැනුවත් කරත්. සග්ගංනාම ඔක්කාපෙන්ති = පිරිවරා ගෙන සිටින්නාහු “මහාබ්‍රහ්මලෝකයට යව”යි කියමින් ස්වර්ග ලෝකයට යවත්. අනුපරිසක්කෙය්‍ය = අවට (හාත් පස, වටේට) හැසිරෙන්නේය. උම්මුජ්ජ = ඉහලට එසවෙන්න, නැගිටින්න. ථලමුප්ලව = ගොඩබිමට නැගගන්න. තත්‍රා යස්ස = එහි යමක් සිදුවන්නේ නම් සක්ඛරා වා කඨලාවා = ගල් කැට ද කැබිලිතිද සාධො ගාමි අස්ස ඇය යටට යන්නී නම්, පහළට යන තැනැත්තියක් වන්නී නම් අධොගච්ඡ = පහළට යන්න.
7. ඛෙත්තූපම සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - ඡඞ්ගලං = තද, මෘදු නොවන ඔසරං හටගත් ලුණු ඇත්තේ. පාපභූමි = පහත් තත්ත්වයේ බිම් කොටසක් මංදීපා ආදී තැන්හි (අරුත් මෙසේ දැක්විය හැක) මම මොවුන් හට පහනක් වෙමි, යන අරුතින් “මංදිපා” යයි ද, ආරක්ෂකයකු වන මම මොවුන් හට ඇලී -ගැලී සබඳතා පැවැත්විය හැකි අයෙක්මි යන අරුතින් “මං ලෙණා” යයි ද, මම මොවුන් හට පිහිටක්ය, රැකවරණයක්ය යන අරුතින් “මංතාණා” යයි මම මොවුන් හට පිහිටවන්නෙක්ය, බිය නසන්නෙක්ය යන අරුතින් “මං සරණා” යයිද (පද යොදා ඇත. විහරන්ති = මා හට මෙසේ කටයුතු කොට වාසය කරත්.
ගොභත්තම්පි = ධාන්‍ය ඇට නොමැති බැවින් කපා මිටි වශයෙන් බැඳ තබන ලද කොටස් ග්‍රීෂ්ම කාලයෙහි ගොනුන්ගේද ආහාර වන්නේය යන අදහසයි. උදක මණිකො = උදර කුහරයෙහි පහළ මේඛලා ප්‍රදේශයට මේ නම ලැබී ඇත. බඳුන් වෙසෙසකට ද මේ නම යෙදේ. අහාරි අපරිහාරී = ජලය රැගෙන නො යයි. පරිහරණය නොකරයි, නො ගනියි යන අරුතයි. මෙසේ මේ සූත්‍රයෙහිදී සකස් කොට ධර්ම දේශනය කරන ලදී. බුදුවරුන්ගේ වනාහී සකස් නො කොට කෙරෙන ධර්ම දේශනයක් නම් නැත්තේය. බුදුවරු වනාහී සිංහයන් හට සමාන පැවතුම් ඇත්තෝය. යම්සේ සිංහයා බලවත් හස්තීන් වේවා සාවුන් බළලුන් ආදීන් වේවා අල්වා ගැනීම සඳහා එක සමාන වූ ම වේගයක් යොදවයි ද, එසේම බුදුන් වහන්සේලා ද එක් අයකුට. දෙදෙනකුට, හෝ බොහෝ දෙනකුට වේවා. තීර්ථකයන් හට වේවා දහම් දෙසන්නාහු සකස් කොටම ධර්ම දේශනා කරත්. සිවු පිරිස් වනාහී අදහා ගෙනම, විශ්වාස කොට ගෙන ම (ඒ ධර්මය) ශ්‍රවණය කරත්. (එසේ හෙයින්) එම සර්වඥයන් වහන්සේලාගේ දේශනාවන් සකස් කොට කරනු ලබන දේශන (හෙවත් සක්කච්ච දේසනා) නම් විය.
8. සඞ්ඛධම සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - යං බහුලං යං බහුලං = (යමක් බහුල ද, යමක් බහුල ද යන) මෙයින් නිගණ්ඨ තෙමේ තමාගේ මතය තමාම බිඳ ගනියි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ එවං සන්තෙ න කොචි ආපායිකො = (මෙසේ ඇති කල්හි කිසිවෙක් අපාය ගාමී නොවෙත්) යන ආදිය වදාළහ. මුලින් දැක්වූ පද සතර දෘෂ්ටියක් සඳහා හේතු වෙයි. එබැවින් ඒ පිළිබඳව ද ආදීනව දක්වමින් ඉධ ගාමණි. එකච්චො සත්‍ථා එවං වාදී හොති (එම්බා ගාමණී, මෙලොව ඇතැම් ශාස්තෲවරයෙක් මෙ වැනි වාද ඇත්තේ (හෙවත් මත දරන්නේ වෙයි) යන ආදිය කීහ. එහි අහම්පහි යනු මම ද වෙමි යනුයි.
මෙත්තා සහගතෙන යන ආදියෙහි යමක් කිවයුත්තේ ද, ඒ සියල්ල භාවනා පිළිවෙළ සමග විශුද්ධි මාර්ගයෙහිදී කියන ලද්දේමය. සෙය්‍යථාපි ගාමණී බලවා සඞ්ඛධම්මො යන ආදිය වනාහී මෙ ලොව පෙර නොවූ දෙයකි. එහි බල සම්පන්න වූ සක් පිඹින්නෙක් වෙයි. අප්පකසිරෙන = අපහසු බවෙන් තොරව, දුකින් තොරව, දුබල වූ සක්පිඹින්නා වනාහී හක් ගෙඩිය පිඹින්නේ නමුදු සතර දිසාවන්හි (ශංඛ) නාදය පැතිර වීමට නොහැකි වෙයි. ඔහුගේ සක් හඬ හැම දෙසටම පැතිර නොයයි. ශක්තිවන්තයාගේ වනාහි (සක් හඬ) ඉක්මනින් පැතිරෙන්නේ වෙයි. එබැවින් “බලවා” (ශක්තිවන්තයා) යයි කීය.