13. පාටලිය සූත්‍ර වර්ණනාව
තෙළෙස්වැන්නෙහි - දුතෙය්‍යානි = දූත ක්‍රියාවන් සඳහා යොදා ගන්නා ලිපි හා වාචික පණිවුඩ පාණාතිපාතඤ්චාහං = මෙය කුමක් හෙයින් අරඹන ලද්දේද? හුදෙක් මෙපමණක් දන්නෙම් නොවෙමි. අන් දෙය ද මේ මේ දෙය ද දනිමියි සර්වඥභාවය දැක්වීම පිණිස අරඹන ලදී. සන්ති හි ගාමණි එකෙ සමණ බ්‍රාහ්මණ = සෙසු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ලබ්ධිය පෙන්වා එය ඉවත් කරවීම පිණිස මෙය අරඹන ලදී.
මාලී කුණ්ඩලී = මාලා (මල්දම්) යන්නෙන් “මාලී” යනු ද, කුණ්ඩලෙහි (කර්ණාභරණ යන්ගෙන්) යන්නෙන් “කුණ්ඩලී” යනු ද සැදේ. ඉත්‍ථි කාමෙහි = ස්ත්‍රීන් කෙරෙහි කැමැත්තෝ “ඉත්‍ථි කාමා” නම් වෙති. ඔවුන් විසින් යන අරුතින් “ඉත්‍ථි කාමෙහි” නම් වේ. ආවසථාගාරං = කුල ගෙයක එක් තැනෙක් හි එක් අයකුගේ ම සුව පහසු වාසය පිණිස සාදන ලද වාසස්ථානය තෙනාහං යථා සන්ති යථාබලං සම්හඡාමි = තමාගේ ශක්තියට අනුරූප වන ලෙස ද, බලයට අනුරූප වන ලෙස ද මම ඔහුට කොටස් වෙන් කරමි. අලං = යුතු වූ (සුදුසුවූ) කඞ්ඛනියෙ ඨානෙ = සැක කළයුතු කරුණෙහි. චිත්ත සමාධිං = එම ධර්ම සමාධියෙහි සිටියාවූ ඔබ විදර්ශනාව සමග මාර්ග සතර වශයෙන් ඉදින් චිත්ත සමාධිය ලබා ගන්නෙහියයි දක්වයි. අපණ්ණකතායමය්හං = මේ පිළිවෙත මාගේ සත්‍ය භාවය (හා) නිර්දෝෂිභාවය නිසා මෙසේ පවතී යන අරුතයි. කටග්ගාහො = රළුදේ ග්‍රහණය කිරීම.
අයං ඛො ගාමණී ධම්මසමාධි තත්‍ර චෙ ත්‍වං චිත්ත සමාධිං පටිලභෙය්‍යාසි = මෙහි “ධම්ම සමාධි” යනු දශකුශල ධර්ම මාර්ගයට අයත් ධර්මයන්ය. “චිත්ත සමාධි” යනු විදර්ශනාව සහිතවූ මාර්ග සතරය. නැතහොත් ප්‍රමෝදය උපදියි ද, ප්‍රමෝදය පත්වූවහට ප්‍රීතිය උපදියි ද යනුවෙන් මෙසේ කියන ලද්දාවූ ප්‍රමෝදය ප්‍රීතිය ශාන්තභාවය සුඛය සමාධිය සංඛ්‍යාත වූ පඤ්චධර්මයෝ “ධම්ම සමාධි” නම් වෙති. “චිත්ත සමාධිය” වනාහී විදර්ශනාව සහිතව මාර්ග සතරමය. වැලිදු දස කුසල දහම් මග හා සතර බඹ විහරණ යන මෙය “ධම්ම සමාධි” නම් වේ. එය පුරන්නහුට උපන් සිත එකඟ බව “චිත්ත සමාධි” නම් වේ. එවං ත්‍වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්‍යාසි = මෙසේ ඔබ ඉහත විස්තර කියූ මෙම ධර්ම සමාධියෙහි පිහිටියේ. ඉදින් මෙසේ චිත්ත සමාධිය ලැබ ගන්නෙහියයි එක් අංශයකින් මෙම සැකය ඉවත් කරන්නෙහිය යන අරුතයි. සෙස්ස සියළු තන්හිම කියනලද පරිදිම දත යුත්තේය.
ගාමණී සංයුත්තය සමාප්තයි
9. අසඞ්ඛත සංයුක්තය
1. අසඞ්ඛත වර්ගය
1-11. කායගතාසති ආදි සූත්‍ර වර්ණනා
අසංඛත සංයුත්තයෙහි පළමුවැන්නෙහි - අසංඛතං = නො සාදන ලද හිතෙසිනා = යහපත සොයන්නහු විසින් අනුකම්පකෙන = අනුකම්පා කිරීමෙන් අනුකම්පං උපාදාය = අනුකම්පාව සිතෙන් ග්‍රහණය කොට අනුකම්පාව හේතු කොට ගෙන යයි ද කියන ලද්දේ වෙයි. කතං වා තං මයා = මෙම අසංස්කාරිතය (හෙවත් නිවන) ද, අසංස්කාරිතයට යන මඟ ද දේසනා කරන තථාගතයන් වහන්සේ විසින් ඔබහට කරන ලද දේශනාව වූ අවිපරීත (වෙනස් නොවන) ධර්ම දේශනය මෙපමණ සානුකම්පක වූ ශාස්තෲන් වහන්සේගේ කෘත්‍යයයි. මින් මතුවට වනාහී ප්‍රතිපත්ති රැකීම නම් ශ්‍රාවකයන්ගේ කෘත්‍යයකි. එසේ හෙයින් එතානි භික්‍ඛවෙ රුක්‍ඛමූලානි - මේ අම්හාකං අනුසාසති = යයි කියන ලදී. මෙයින් වෘක්ෂමූල සේනාසනය දක්වයි. සුඤ්ඤාගාරානි = මෙයින් ජනශුන්‍යවූ ස්ථානයක් ගැන කියවේ. (රුක්ඛමුල, සුඤ්ඤාගාර යන) දෙකින්ම භාවනාවට යෝග්‍ය වූ සෙනසුන ගැන කියයි. (ලෝකෝත්තර) දායාදය ලබා දෙයි.