1-16. නිබ්බාන ආදි සූත්‍ර වර්ණනා
සාමණ්ඩකාදී සංයුත්තයෙහි ද මේ නයින් ම අර්ථය දත යුත්තේය.
සාමණ්ඩක සංයුත්තය සමාප්තයි.
6. මොග්ගල්ලාන සංයුක්තය
1-8. සවිතක්ක ආදි සූත්‍ර වර්ණනා
මොග්ගල්ලාන සංයුත්තයෙහි - කාම සහ ගතා = නීවරණ පස සමග එකට යෙදුණු ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිටි ඔහුට වනාහී නීවරණ පස නිතර එළඹ සිටියේය. එහෙයින් ඔහුට ප්‍රථම ධ්‍යානය පරිහානිගාමී විය. ඒ ප්‍රමාදය දැක ශාස්තෲන් වහන්සේ ඔහුට ප්‍රමාද නොවන්නැයි අවවාද දුන්හ. ද්විතීය ධ්‍යාන ආදියෙහි ද මේ පිළිවෙළින්ම අරුත් දත යුත්තේය. අරමුණ සමග එක්වීම යන අදහස සඳහා ම මෙහිදී “එක්වීම (සහගත)” යයි කියන ලදී.
9. අනිමිත්ත සූත්‍ර වර්ණනාව
අනිමිත්තං චෙතො සමාධිං = නිතර පවත්නා නිමිති ආදිය අත්හැර, පවත්නා විදර්ශනා සමාධිය ම සඳහා මෙය කියන ලදී. නිමිත්තානුසාරි විඤ්ඤාණං හොති = මෙසේ මේ විදර්ශනා සමාධි විහරණයෙන් වසනා තෙරුන් හට (තමා) තියුණු සියුම් විදර්ශනා ඥානය දරන කල්හි “ශූර භාවය ඇති වී (විදර්ශනාවට යොමු වූ) ඥානය තමා තුළ පවතීය” යි සිතී විදර්ශනාව අරභයා තෘෂ්ණාව උපදී. කෙසේද යත්: - යම් සේ රුකක් සිඳ දැමීමට තියුණු පොරවක් දරන පුරුෂයා තමා එය මනාව දරා සිටී යයි සිතමින් ක්ෂණයක් පාසා තමා දරා සිටින පොරව දෙස බලයි ද, එවිට ගස කැපීමේ කාර්යය මනාව සිදු නොවන්නාක් මෙනි. ඉක්බිති විදර්ශනා කෘත්‍යය සිදු කිරීමට නො හැකි වේ. ඒ සඳහා “නිමිත්තානු සාරී විඤ්ඤාණං හොති” (හෙවත් නිමිත්ත අනුව යන විඤ්ඤාණය ඇති වේ) යයි කියන ලදී. සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතො සමාධිං උපසම්පජ්ජ විහාසිං = නිත්‍ය සැප සහිත වූ ආත්මයක් පිළිබඳ සියලු ම නිමිති මෙනෙහි නො කිරීමෙන් උසස් තත්ත්වයට පමුණු වන. විදර්ශනාවෙන් යුක්ත, චිත්ත සමාධිය වූ, නිවන අරමුණු කරගත් ඉහළ ම මාර්ග ඵල සමාධියට පැමිණ වාසය කෙළෙමි.
10-57. සක්ක ආදි සූත්‍ර වර්ණනා
අවෙච්චප්පසාදෙන = නො සැලෙන පැහැදීමෙන් දසහි ඨානෙහි = දස වැදෑරුම් කරුණුවලින් අධිගණහන්ති = මැඩ පවත්වති. ඉක්මවා සිටිති. සෙස්ස පහසු අරුත් සහිත වේමය.
මොග්ගල්ලාන සංයුත්තය සමාප්තයි.
7. චිත්ත සංයුක්තය
1. චිත්ත වර්ගය
1. සංයොජන සූත්‍ර වර්ණනාව
චිත්ත සංයුත්තයේ පළමු වැන්නෙහි - මච්ඡිකා සණ්ඩෙ - එම නමින් යුත් වන රොදෙහි අයමන්තරා කථා උදපාදි = පැරණි තෙරවරහු ශිෂ්ට කථා ඇත්තාහු වෙති. නොදන්නා අය හුන් තැනදීම ප්‍රශ්න මතු කොට විමසති. දන්නා අය (ඒවා) විසඳති. ඒ අනුව ඔවුන් අතර මේ කථාව මතු විය. මිග පථකං තමාගේ මේ නම ඇති ගොදුරු ගම එය ඇඹරැල්ල වනයට පිටු පසෙහි පිහිටියේ වෙයි. තෙනුපසඞ්කමි = තෙරවරුන්ගේ ප්‍රශ්න විසඳා පහසු වාසස්ථානයක් කොට දෙන්නෙමියි සිතා පැමිණියේය. ගම්භීරබුද්ධවචනෙ = අර්ථයෙන් ගැඹුරු වූ ද, ධර්මයෙන් ගැඹුරු වූ ද බුද්ධ වචනයෙහි පඤ්ඤා චක්‍ඛු කමති = නුවණැස දරා සිටියි. පවත්වා ගනියි.
2. ඉසිදත්ත සූත්‍ර වර්ණනාව