7. ගෙලඤ්ඤ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - යෙන ගිලාන සාලා තෙනුපසඞ්කමී = දෙවියන් සහිත ලෝකයෙහි උත්තම පුද්ගලයා වූ තථාගතයන් වහන්සේ ද ගිලානෝපස්ථානය සඳහා වඩිති. භික්ෂු තෙමේ උවටැන් ලැබිය යුත්තන් නම් ගිලනුන් යයි අදහා විශ්වාස කොට උවටැන් ලැබිය යුතු ගිලනුන් ගැන සිතමින් ද, යමකු එහි සුදුසු කමටහන් නැතිව වෙසෙත් නම් ඒ අයට කමටහන් කියන්නෙමියි සිතමින් ද එහි පැමිණියේය. කායෙ කායානුපස්සී = යමක් කිව යුතුනම් එය පසුව කියමු. අනිච්චානුපස්සී = අනිත්‍ය භාවය අනුව මෙනෙහි කරනුයේ වයානුපස්සී = ව්‍යය වීම අනුව මෙනෙහි කරනුයේ. විරාගානුපස්සී = රාගයෙන් තොර වීම අනුව මෙනෙහි කරනුයේ. නිරෝධානුපස්සී = නිරෝධය අනුව මෙනෙහි කරනුයේ පටිනිස්සග්ගානු පස්සී = අත්හැරීම අනුව මෙනෙහි කරනුයේ.
මෙපමණකින් කුමක් දක්වන ලද්දේ වේද? මේ භික්ෂුව තමා විසින් පැමිණිය යුතු ප්‍රතිපදාව වන සතිපට්ඨානයන් ද පූර්වභාග කෘත්‍යයන්මය. නුවණින් විමසා බැලීමෙහිදී ද අනිත්‍යය අනුව මෙනෙහි කිරීම, ව්‍යය වීම අනුව මෙනෙහි කිරීම, විරාගය (නොඇලීම) අනුව මෙනෙහි කිරීම යන මේ තුන් වැදෑරුම් මෙනෙහි කිරීම් ද පූර්වභාග කෘත්‍යයන්මය. නිරෝධය අනුව මෙනෙහි කිරිම. අත්හැරීම අනුව මෙනෙහි කිරීම යන මේ දෙක එකිනෙක මිශ්‍ර වී ඇත. මෙපමණකින් මේ භික්ෂුවගේ භාවනා කාලය දක්වන ලදී. සෙස්ස කියන ලද පිළිවෙල අනුවම වේ.
8-9. දුතිය ගෙලඤ්ඤ ආදි සූත්‍ර වර්ණනා
අට වැන්නෙහි - ඉමමෙව ඵස්සං පටිච්ච = අවබෝධ කර ගන්නවුන්ගේ අදහස් වශයෙන් කියන ලදී. අර්ථ වශයෙන් වනාහී මෙය විවිධ කරුණු සහිතය. මෙහි ස්පර්ශය යන්නෙන් කය ද කියන ලදී. නව වැන්න පැහැදිලි වේමය.
10. ඵස්සමූලක සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි - සුඛ වෙදනීයං = සුඛ වේදනාවට හේතු වූ සෙසු තැන්හි ද මේ පිළිවෙළම වේ. පදානු පදිකව කෙරෙන වර්ණනාවන් වනාහී මෙහි යට විස්තර කරන ලදී. මේ සූත්‍ර දෙකෙහි දී ස්පර්ශයන්හි වින්දනය කියන ලදී.
පළමුවන සහගාථා වර්ග නිමියේය.
2. රහොගත වර්ගය