1. අබ්යාකත වර්ගය
1. ඛෙමා සූත්ර වර්ණනාව
අබ්යාකත සංයුත්තයේ පළමුවැන්නෙහි - ඛේමා = ගිහි කල බිම්බිසාර (මහරජු) ගේ මෙහෙසිය වූ උපාසිකා තොමෝ සැදැහැයෙන් පැවිදි වූවාය. එම මහා ස්ථවිර තුමිය “මහණෙනි. මගේ භික්ෂූණී ශ්රාවිකාවන්ගේ මහා ප්රඥාවන්ත තැනැත්තියන් කෙරෙන් මේ “ඛේමා” භික්ෂුණිය” අග්රවන්නීය”යි භාග්යවතුන් වහන්සේ විසින් මහත් වූ ප්රඥාවන්ත භාවයෙන් අග්රස්ථානයෙහි තබන ලද්දීය. පණ්ඩිතා - පණ්ඩිත භාවයෙන් යුක්ත වූවාහු බ්යත්තා = ව්යක්ත භාවයෙන් යුක්ත වූවාහු මෙධාවිනී = ඥානයෙන්, ප්රඥාවෙන් යුක්ත වූවාහු බහුස්සුතා = ධර්මය ඉගෙනීමෙන්ද, සත්යය ඉගෙනීමෙන් ද යුක්ත වූවාහු
ගණකො = නිවැරදිව ගණන් කිරීමෙහි දක්ෂ වූ මුද්දිකො = ඇඟිලිවල ලන මුදු ගණනයෙහි දක්ෂ වූ සඞ්ඛායකො = අහර පිඬු ගණනයෙහි දක්ෂ වූ, ගම්භීරො = යොදුන් අසූහාර දහසක් ගැඹුරු වූ අප්ප මෙෙය්යා = මැනීමට, ගණනය කිරීමට අපහසු තරම් අධික වූ දුප්පරියොගාහො = මැන ගැනීමට මිම්මක් භාවිත කිරීමට අපහසු වූ යෙන රූපෙන තථාගතං = දික්වූ, කෙටි වූ, කළු වූ, සුදුවූ, යන තත්ත්වයන්ගෙන් යුක්තවූ යම් රූපාකාරයකින් තථාගතයන් වහන්සේ පිළිබඳව ප්රකාශ කරන්නේද යත් තං රූපං තථාගතස්ස පහීනං = හේතුව දුරුවීම නිසා සර්වඥ වූ තථාගතයන් වහන්සේගේ (ද) පෙර කියන ලද ආකාර ඇති රූපය ප්රහීන විය. රූප සඞ්ඛ යා විමුත්තො = මතු කල්හි ද රූපයක් වන්නේය යන අදහසින් රූප හා අරූප කොටසින් ද මෙබඳුම රූපයක් වන්නේ යයි යන ව්යවහාරයෙන් ද සන්සිඳීමක් වන බැවින් රූපයාගේ පැවැත්මෙන් ද මිදුණේ වෙයි. ගම්භීරො = අදහස්හි ගැඹුරු බැවින් ද, ගුණයෙහි ගැඹුරු බැවින් ද “ගම්භීර” යයි යෙදේ. ගැඹුරු ගුණ ඇත්තාවූ, සිහි ඇත්තාවූ ඒ තථාගතයන් වහන්සේට යම් කරුණක් නිසා “සත්ව සංඛ්යාත වූ තථාගතයන් වහන්සේ” යයි ව්යවහාර වේද, එය නොමැති වීමෙන් එම ව්යවහාරයේ අභාවය දකින්නහුට මේ සත්ව සංඛ්යාත වූ හොති තථාගතො පරම්මරණා (හෙවත් තථාගතයන් වහන්සේ මරණින් පසු පවතින්නේ වේය) යන මේ කියමන ඇති නොවේ. නොයෙදේ න හොති තථාගතො පරම්මරණා (හෙවත් තථාගතයන් වහන්සේ මරණින් පසු නො පවතින්නේ වේය) යන කියමන ද ඇති නොවේ, නොයෙදේ යනු (ගමභීරො යන්නෙහි) අර්ථය වේ.
සංසන්දිස්සති යනු එකක් බවට පත්වන්නේය යන අදහසයි. සමෙස්සති නිතර සිදුවන්නේය යන විහායිස්සති = සතුරු වූ ශබ්දයක් නොවන්නේය. අග්ග පදස්මිං = දේසනාව වනාහී මෙහි “අග්ග පද” යයි අදහස් කෙරේ.
2. අනුරාධ සූත්ර වර්ණනාව
දෙවැන්න ඛන්දිය වර්ගයෙහි විස්තර කරන ලද්දේමය. අබ්යාකත අධිකාරයෙන් (හෙවත් ප්රකාශ නොකළ කොටස් අඩංගු අධිකාරයෙන්) මෙය කියන ලදී.
3-8. උපගත ආදි සූත්ර වර්ණනා
තුන්වැන්නෙහි - රූපගත මෙතං = මෙහි රූප මාත්රය පමණක්ම වේ. මෙහි රූපයෙන් තොර වූ කිසියම් සත්ත්වයෙක් නම් නැත්තේය. රූපය ඇති කල්හි වනාහී නාම මාත්රවූ මෙය පවතී යයි දැක්වේ. වෙදනාගතමෙතං යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. අයං ඛො ආවුසොහෙතු මෙය රූප ආදියෙන් තොරව නොලැබිය හැකි තත්ත්වයකිය යන්න භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලද්දකි. සිවු වැන්න ආදිය පහසු අරුත් දරන්නේ වේ.
9. කුතූහලශාලා සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - කුතුහල සාලායං = කුතූහල සාලා නමින් වෙනම ශාලාවක් නැත. යම් ශාලාවෙක වනාහී විවිධ වූ තීර්ථකයෝ ද, ශ්රමණ බ්රාහ්මණයෝ ද නා නා විධ කථාවන් පවත්වත් ද, “මේ තෙමේ කුමක් කියයි ද, මේ තෙමේ කුමක් කියයිද” යනුවෙන් බොහෝ දෙන ප්රශ්න කරත් ද, මෙසේ බොහෝ දෙනාට කුහුල උපදවන තැනක් බැවින් “කුතුහලසාලා” යයි කියනු ලැබේ. දුරම්පි ගච්ඡති = ආභස්සර නම් බ්රහ්ම ලෝකය දක්වා වුවද යයි. ඉමඤ්ච කායං නික්ඛිපති චුති චිත්තය හේතු කොට ගෙන බහා තබයි. අනුප්පන්තො හොති චුති චිත්තයෙහි ම ප්රතිසන්ධි චිත්තය නූපන් බැවින් අනුප්පන්නො හොති (හෙවත් නො ඉපදුනේ වෙයි) යයි යෙදිණ.
10. අත්ථත්ත සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - තෙසමෙතං ලද්ධි අභවිස්ස = ඔවුන් ගේ විශ්වාස සමග මේ එක් දෙය සිදු විය. -පෙ- අනුලොම් ලෙස සිදු විය. -පෙ- නුවණ පහළ වීම සඳහා ධර්මයන් අනාත්මය යනුවෙන් (ඉගැන්වෙන) යමක් වේ නම් එය සියළු ධර්මයන් ම අනාත්ම වේ යන විදර්ශනා ඥානය උපදවයි. කෙසේ වුව ද මෙහි අනුලෝම තත්ත්වය සිදුවන්නේය යන අර්ථය වේ.
11. සභිය සූත්ර වර්ණනාව
එකොළොස් වැන්නෙහි - එත්තකෙන එත්තකමෙව = ඇවැත්නි, යම් කිසි දෙයකට වනාහී මෙය මෙපමණ කලකින් හේතුවක් ඇති වූ කල්හි, රූපයක්ය යන ආදී ප්රඥප්තියක් ඇති වේද, හේතුවක් ඇති නොවූ කල්හි රූපයක්ය යන ප්රඥප්තියක් ඇති නොවේයයි ප්රකාශ වන්නේද ඔහුට බෙහෙවින් මේ ප්රමාණයන්ම ඇති වන්නේය. කොපන වාදො අභික්කන්තෙ = ප්රියජනක වූ කල්හි වනාහී බොහෝ මනාප වූ ධර්මදේශනා පිළිවෙළෙහි කිනම් වාදයෙක්ද? ඒ පිළිබඳව විවාදයක් නැත. කථාව සිඳී ගියේය.
අව්යාකත සංයුත්තය සමාප්තයි.
සාරත්ථප්පකාසීනි නම් වූ සංයුත්ත නිකාය අට්ඨ කථාවෙහි
සළායතන වර්ග වර්ණනාව මෙතෙකින් නිමියේය.
සළායතන වර්ග වර්ණනාව මෙතෙකින් නිමියේය.