සත්වැන්නෙහි - සබ්බෙධම්මා යනු (කාමාවචර, රූපාවචර, අරූපාවචර යන) සියලු ත්‍රෛභූමික ධර්මයෝය. නාලං අභිනිවෙසාය යනු තදින් ග්‍රහණය කර ගැනීම සුදුසු නොවේ යන්නයි. සබ්බ නිමිත්තානි යනු (නිමිති වශයෙන් ගත හැකි සියළු සංස්කාරයන් හෙවත්) සියළු සංස්කාර නිමිති යන අදහසයි. අඤ්ඤතො පස්සති යනු දැනුම අඩු ආසාවන් සහිත පුද්ගලයා යම් අයුරකින් (නිමිති) දකී ද, (පිරිපුන් දැනුම ඇති. ආසාවන් රහිත) පුද්ගලයා එයට වෙනස් අයුරකින් නිමිති දකියි යන අදහසයි. දැනුම අඩු, ආසාවන් සහිත පුද්ගලයා සියළු නිමිති ආත්මය වශයෙන් දකියි. පිරිපුන් දැනුම ඇති, ආසාවන් රහිත පුද්ගලයා වනාහී (නිමිති) අනාත්ම වශයෙන් දකියි. ආත්ම වශයෙන් නොදකියි. මෙසේ මේ සූත්‍රයෙහි අනාත්ම ලක්ෂණයම කියන ලදී.
8. සම්බහුලභික්ඛු සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - ඉධ නො මෙහි “නො” අක්ෂරය නිපාතයක් පමණක් වේ. සෙස්ස පැහැදිලිය. මෙහි දී හුදෙක් දුඃඛ ලක්ෂණයට කියන ලද්දේයයි දත යුතුයි.
9. ලෝක සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - ලුජ්ජති යනු වැනසෙයි. බිඳෙයි යන අදහසයි. මෙහි දී අනිත්‍ය ලක්ෂණය කියන ලදී.
10. ඵග්ගුන සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - ඡින්නප්පඤ්ච යනු තෘෂ්ණාව නම් ක්ලේශය සිඳුන බැවින් ඡිනන පපඤ්ච යයි කියන ලදී. යන අදහසයි. (ඡින්න - සිඳුන පපඤ්ච = සසරෙහි පමා කරවන කෙලෙස්) ඡින්න වටුමෙ = තෘෂ්ණාව නම් වූ මාර්ගයාගේම සිඳී බිදී යාම සිදු වු බැවින් ඡින්නවටුමෙ යි කියන ලදී. කිං පුච්ඡාමීති පුඛ්ඡති ඉකුත් බුදුවරුන් විසින් පරිහරණය කරන ලද ඇස් කන් ආදිය විමසමියි ප්‍රශ්න කරයි. නැතහොත් ඉදින් මාර්ගය වැඩූ කල්හි ද අනාගතයෙහි ඇස්, කන් ආදීන්ගේ පැවැත්ම වර්ධනය වන්නේ නම් එය විමසමියි ප්‍රශ්න කරයි.
තෙවන ගිලාන වර්ගය නිමියේය.
9. ඡන්න වර්ගය
1. පලොකධම්ම සූත්‍ර වර්ණනාව
ඡන්න වග්ගයේ පළමු වැන්නෙහි පලොක ධම්මං යනු බිඳී යන ස්වභාවයයි. මෙසේ මෙහි අනිත්‍ය ලක්ෂණයම කියන ලදී.
2. සුඤ්ඤතලොක සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අත්තනීයෙන යනු තමාට අයත් පිරිකරවලින් යන්නයි. මෙසේ මෙහි අනාත්ම ලක්ෂණයම කියන ලදී.
3. සඞ්ඛිත්තධම්ම සූත්‍ර වර්ණනාව
තෙවැන්න ඛන්‍ධවග්ගයෙහි ආනන්‍දොවාද (සූත්‍ර) යෙහි කියන ලද ක්‍රමයෙන් ම දතයුතුය.
4. ඡන්න සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි ඡන්න යනු එම නම ඇති තෙර නමකි. අබිනික්මනයෙහිදී (කැටුව) නික්ම ගිය, (පසුව මහණ වූ ඡන්න) තෙරහු නො වෙති. පටිසල්ලාන යනු පල සමවතින් යන්නයි. ගිලාන පුච්ඡකා යනු ගිලන් උවටැන වනාහී බුදුන් විසින් ප්‍රශංසා කරන ලදී. බුදුන් විසින් වර්ණනා කරන ලදී. එබැවින් මෙසේ කීය යන අදහසයි. සීස වෙඨං දදෙය්‍ය යනු හිසෙහි වෙලනය හෙවත් වෙලන රෙද්ද) සීස වෙඨ (හෙවත් හිස් වෙළුම) නම් වෙයි. එය වුවද (අවශ්‍ය වූ විටෙක) දෙන්නේය යන අදහසයි. සත්‍ථං යනු දිවි නසන ආයුධ යි. නාවකඞ්ඛාමි නො කැමැත්තෙමි. පරිච්චණ්ණො පුරුදු කළ (හෙවත් පුරුදු වූ) මනාපෙන යනු සිත්හි සතුට වර්ධනය කරන කායික ක්‍රියා ආදියෙන් යන අදහසයි. මෙහි (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන මාර්ග තුන අවබෝධ කරගත් තිදෙනා ද එම ඵල තුන අවබෝධ කරගත් තිදෙනා ද, අර්හත් මාර්ගයට ප්‍රවිෂ්ට වූ තැනැත්තා ද යන) ශෛක්‍ෂ්‍යයෝ සත් දෙනා පාරිචාරිකව හැසිරෙත් යනු (ශෛක්‍ෂ්‍යයන් සත් දෙනා විසින් පාරිවාරිකව බුදුන් වහන්සේ අනුව හැසිරෙනු, ලබත් යන අදහසයි. රහතන් වහන්සේ පාරිවාරිකව හැසුරුනහ යනු රහතුන් විසින් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරනු ලැබූහ යන අදහසයි.)
එතංහි ආවුසො සාවකස්ස පටිරූපං = ඇවැත්නි, ශ්‍රාවකයාට වූ කලී මෙය සුදුසු වේ. අනුපවජ්ජං = පැවැත්මක් නැති, පිළිසිඳ ගැනීමක් නැති. පුච්ඡාවුසො සාරිපුත්ත සුත්‍වා වෙදිස්සාම = (ඇවැත් ශාරිපුත්‍රයෙනි, ප්‍රශ්න කරන්න, ශ්‍රවණයකොට දැන ගන්නෙමු” යන) මෙය ශ්‍රාවක පවාරණය නම් වේ. එතං මම යන ආදිය තෘෂ්ණා මාන, දෘෂ්ටි ගැනීම (ආදි) වශයෙන් කියන ලදී. නිරෝධංදිස්වා ක්ෂය වීම, වැය වීම දැන ගෙන නෙතං මම නෙසො හමස්මි නමෙසො අත්තාති සමනුපස්සාමි අනිත්‍යය දුඃඛය, අනාත්මය යනුවෙන් දක්නෙමි. මෙතෙක් තන්හි ඡන්න ස්ථවිර තෙමේ සැරියුත් තෙරුන් විසින් ඇසූ ඇසූ ප්‍රශ්න වලට තමා තුළ ඇතැයි හඟවන) රහත් බැව්හි ඇතුළත් කොට පිළිතුරු) කීය. (හෙවත් තමා රහත් කෙනෙකැයි හැඟවෙන සේ පිළිතුරු දුන්හ) සැරියුත් තෙරුන් වහන්සේ වනාහී ඔහුගේ පුහුදුන් බව දැනගෙන වුව ද ඔහු පුහුදුන් අයකුයයි හෝ රහත් කෙනකු යයි හෝ නො කියා නිහඬවූ සේක්මය. චුන්‍ද ස්ථවීර තෙමේ වනාහී (සැරියුත්) තෙරුන් පුහුදුන් යයි හඟවන්නෙමියි සිතා අවවාද දුන්නේය.
එහි තස්මා “යම් හෙයකින් මරණාන්තික වේදනාවක් ඉවසීමට නොහැකිව (ඔබ) ආයුධයක් ගෙන එමියි කියන්නෙහි ද එහෙයින් පෘථග්ජනයෙක් වන ආයුෂ්මත් හු ඒ හේතුව නිසා මෙය ද සිහි කරන්නැ” යි දැක්වේ. යම් හෙයකින් වනාහී (චක්‍ඛු සොත ආදී) සළායතනයන්ගේ නිරුද්ධ වීම දැක ඇස් ආදිය (අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන) ත්‍රිවිධ ආකාරයෙන් සලකා බලන්නෙමි යයි කියන්නෙහි ද, ඒ හේතුවෙන් මේ කරුණ ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුසාසනයකැයි ආයුෂ්මතුන් විසින් සිහි කළ යුතුයයි (තමාගේ) පුහුදුන් බවම දක්වමින් (සැරියුත් තෙරුන් වහන්සේට) කියයි.
නිච්ච කප්පං = සදා කාලික නිස්සිතස්ස = තෘෂ්ණ, මාන, දෘෂ්ටීන් හා බැඳුන අයත්, චලිතං = කම්පනය වෙයි. යම් හෙයකින්, උපන්නා වූ මෙම වේදනාව ඉවසීමට නොහැකි වන්නා වූ ද, මගේ වේදනාව මම ම විඳගනිමියි යනුවෙන් (අරමුණු) ග්‍රහණය කිරීමෙහි අඩුවක් නො දක්වන්නා වූ ද ආයුෂ්මතුන් හට මෙවිට කම්පනයක් ඇති වෙති, මේ හේතුව නිසා ද ඔබ පුහුදුන් අයෙක්ම යයි ඔහුට කියයි. (සැරියුත් තෙරුන් හට කියයි)
පස්සද්ධි යනු කයෙහි ද සිතෙහි ද නිවී යාම කෙළෙස් නිවී යාමක්ම වේය යන අදහසයි. රති තෘෂ්ණාවේ ඇලීමෙහි. අසති (කාම, රූප, අරූප යන) භවයන් තුනෙහි ඇලීමේ බලවත් ආශාව මැඩ ගෙන නැගී සිටීමක් නැති කල්හි යන අදහසයි. ආගති ගති න හොති යනු (මවු කුස පිළිසිඳීම් වශයෙන් සිදුවන මෙලොවට) පැමිණිම හෝ (මෙලොවින්) චුත වීම් වශයෙන් (සිදුවන) ගමන හෝ සිදු නොවේ යන අදහසයි. චුතූපපාතො මරණයට පත් වීම වශයෙන් “චුති” යනු ද, ඉපදීම වශයෙන් උපපාත යනු ද යෙදේ නෙවිධ න හුරං න උභය මන්තරෙන යනු මෙලොවදී නොවේ, පරලොව දී නොවේ, දෙලොවෙහිදීම නොවේ යන අදහසයි. එසෙවන්තො දුක්‍ඛස්ස පැවැත්ම නිසා ඇතිවන දුකෙහිත්, කෙළෙස් නිසා ඇති වන දුකෙහිත් කෙළවර මෙය ම වන්නේය. පිරිසිඳීම මෙයම වන්නේය, මාර්ගය විවෘත වන්නේය යන මෙයම මෙහි අර්ථයයි. යමකු වනාහී “උභයත්‍ථමන්තරො” යන වචන ගෙන අන්තරා භවයක් (පිළිගැනීමට) රිසි වෙත් නම් (=කියත් නම්) ඔවුන්ගේ වචන නිරර්ථක වේ. අන්තරාභවය පිළිබඳ අදහස අභිධර්මයෙහි දී ප්‍රතික්‍ෂේප කරන ලද්දේමය. “අන්තරෙන” යන වචනය වූ කලී අමතර වූ අතරතුරක් (යන අදහස) ගෙන දෙයි. එහෙයින් මෙහි අරුත මෙසේ වන්නේය. (කෙසේදයත්) මෙලොවදී නො වේ, පරලොවදී නොවේ, වෙනත් විකල්පයක් (ලෙස කියත හොත්) දෙලොවදීම නොවේ.