8. සූචිලොම සූත්‍ර වර්ණනාව
සුචිලෝම වස්තුවෙහි - “සූතො” යනු අශ්වයන් දමනය කරන, ගවයන් දමනය කරන්නෙකු” යැයි කියත්මය. ඔහුට කෙවිටි යකඩකුරින් විඳින බවම නිමිති විය. එනිසා “සුචිලොමපෙතො” ඉඳිකටු ලොම් ඇති ප්‍රේතයෙක්ව උපන්නේය.
9. දෙවැනි සූචිලොම සූත්‍ර වර්ණනාව
දෙවැනි සුචිලෝම වස්තුවෙහි “සූචකො” යනු කේලාම් කියන්නෙකි. ඔහු පෙර මිනිස්සු ඔවුනොවුන් කෙරෙහි බිඳුවීය. රජ පවුලෙහිද මෙනම් ඇත්තෝ ඇත. මොහුට මේ නම අස, අසා (සුචෙත්‍වා, සුචෙත්‍වා) ව්‍යසනයට පමුණුවන බැවින් තබන ලදී. එහෙන් මෙහෙන් අසන දෙයින් මිනිස්සු බිඳෙති. එසේ ඉඳිකටුවලින් අනින්නාක් මෙන් දුක් අනුභව කරන මේ කර්මයම නිමිති කරගෙන “සුචිලොම පෙතො” ඉඳිකටුලෝම සහිත ප්‍රේතයා උපන්නේය.
10. කුම්භණ්ඩ සූත්‍ර වර්ණනාව
අණ්ඩභාරි වස්තුවෙහි - (කුම්භණ්ඩ සූත්‍රය) “ගාමකූටො” යනු විනිශ්චය කරන ඇමතියායි. ඔහුට කළ කර්මය අනුවම කළයක් පමණ වූ මහා ඝටසක් පමණ වූ අණ්ඩකෝෂයෝ වූහ. ඔහු යම් සැඟවුණු තැනකදී අල්ලස් ගෙන කපටි විනිශ්චයේදී දොස් වසමින් වස්තු හිමියන්ට වස්තු අහිමි කළේය. එනිසා ඔහුගේ රහසඟ ප්‍රකටව පෙනෙන සේ පහළ විය. යම්හෙයකින් දඩ පිහිටුවමින් අනුන්ගේ නොඉවසිය හැකි බර පැටවීය. එනිසා ඔහුගේ රහසඟ නොඉසිලිය හැකි බරින් යුක්තව පහළ විය. යම්තැනක සිටි සමාන වූ අදහස් ඇත්තන්, එහි හිඳ විසම වූවන් කළේ ද එහි විපාක වශයෙන් ඔහුගේ රහසඟ විෂම වී හිඳගත්තේ වේ.
පළමු වර්ගය නිම විය.
2. දෙවනි වර්ගය
1. ගුථකූප සූත්‍ර වර්ණනාව
පාරදාරික වස්තුවෙහි - ඒ පුද්ගලයා අනිකකු විසින් රක්නා ලද, ආරක්ෂා කළ සැමියා සහිත අඹුවන්ගේ පහස ලබමින් අසුචි සැපයෙහි, කාම සැපයෙහි සිත් අලවා විසූ කර්මයට සුදුසු පරිදිම අසුචිවල ස්පර්ශය ලබමින් දුක් අනුභව කිරීමට එහි පහළ විය.
2. ගූථඛාදි සූත්‍ර වර්ණනාව
දුට්ඨ බ්‍රාහ්මණ වස්තුව - මෙහි අර්ථ ප්‍රකටය. (දුෂ්ට බමුණු කථාව)
3. නිච්ඡවිත්ථි සූත්‍ර වර්ණනාව
‘නිච්ඡවිත්‍ථි (සම නැති ස්ත්‍රියගේ) වස්තුවෙහි - යම් හෙයකින් ස්ත්‍රිය නම් තමාගේ ස්පර්ශයෙහි අස්වාමිකව, ස්වාමියාට අයත් ස්පර්ශය සොරකම් කර, වෙනත් අයෙකුට කැමැත්ත ඉපිදවූවාය. ඒ කර්මයට සුදුසු පරිදි සැප ස්පර්ශයෙන් මිදී දුක්ඛිත ස්පර්ශයක් විඳීමට සමක් නැති ස්ත්‍රියක්ව උපන්නීය.
4. මඞ්ගුලිත්ථි සූත්‍ර වර්ණනාව
මංකුළිත්‍ථි (පිළිකුල් ස්ත්‍රියගේ) වස්තුවෙහි - “මංකුලිං” (මංගුලි) යනු විරූපී වූ, දැකීම අපහසු වූ, බියජනක වූ. ඇය පෙර යක්‍ෂ-දේව දාසියක්ව මේ මේ අයුරින් මෙසේ බලිකර්ම කලවිට, නුඹලාගේ මෙනම් දෙය වැඩෙන්නේ යැයි මහජනයාගේ ගඳමල් ආදී පුදපූජා ගනිමින් - ඔවුන් රවටා, මහජනයාට නපුරු දෘෂ්ටියක්, මිථ්‍යා දෘෂ්ටියක් ඇතිකරවූවාය. එනිසා ඇයට ඒ කර්මයට සමාන වූ ලෙස, ගඳමල් වංචාවෙන් ගත් බැවින් අතිශය දුර්ගන්‍ධයක්ද නපුරු පිළිගැනීම් ඇතිකරවූ නිසා බැලීමට අපහසු, විරූපී, පිළිකුල් සහගත රුවක් ඇතිව ඉපදුනාය.