1. අට්ඨිසඞ්ඛලික සූත්‍ර වර්ණනාව
ලක්ඛණ සංයුක්තයේ - යමෙක් මේ “ආයස්මාච ලක්ඛණො” යනුවෙන් ලක්ඛණ තෙරුන් සඳහා කියන ලදී. උන්වහන්සේ දහසක් ජටිලයන් අතුරින් ඒහිභික්‍ෂු මහණ උපසම්පදාව ලබා, ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවසානයේ රහත් බවට පත්වූ එක් මහා ශ්‍රාවකයෙකි. ලක්‍ෂණ සියල්ලෙන්ම, සර්වාකාරයෙන්ම බ්‍රහ්මයකු බඳු පිරිපුන් ආත්මභාවයක් ලබන ලද බැවින් ‘ලක්ඛණ’ යන නාමය ගිහි ගෙයිදී ලැබුණි. මහමුගලන් තෙරුන් වහන්සේ පැවිදිවී සත්වැනි දින රහත් වූ ගෞතම බුද්ධ ශාසනයේ දෙවැනි මහා ශ්‍රාවකයා වෙති.
“සීතං පාත්‍වාකාසී” යනු මද සිනහ පහළ කළේය. ප්‍රකාශ කළේය. දැක්වීය යනුයි. කුමක් දැකීම නිසා තෙරුන් වහන්සේ සිනහ පහළ කළසේක්ද? ත්‍රිපිටක බුදුවදනෙහි එන එක් ඇටසැකිල්ලක් බඳු ප්‍රේතලොව උපන් සත්ත්වයකු දැකීමෙනි. එය හුදෙක් දිවැසින් ම දක්නා ලද සේක. මසැසින් නොවේ. මසැසට මෙම ආත්ම භාවයන් ගෝචර නොවේ. මෙබඳු ආත්ම භාවයක් දැක කරුණාව දැක්විය යුතුව තිබියදී සිනහසුණේ ඇයි? තමන් වහන්සේගේද බුද්ධ ඥානයේද හේතුසම්පත් සිහිකිරීමෙන්, මෙම ප්‍රේතයා දැක තෙරුන්වහන්සේට, “නොදක්නා ලද සත්‍යය නමැති පුද්ගලයාගේ ලැබීම හේතුවෙන් මෙබඳු ආත්මභාවයෙන් මම මිදුනෙමි. මට වූයේ ලාභයෙක. මට වූයේ යහපතකි”යි තමාගේ සම්පත් සිහිකර, අනේ භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන්ගේ ඥාන සම්පත්තිය මහා පුදුමයකි. “මහණෙනි! කර්ම විපාක පිළිබඳව සිතිය නොහැක. එනිසා ඒ පිළිබඳව නොසිතිය යුතුයි.” යනුවෙන් යම් දහම් කරුණක් දැක්වූ සේක්ද එය ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැන් උන්වහන්සේ දේශනා කළ සේක. මෙලෙස බුද්ධඥාන සම්පත්තිය ද සිහිපත් කිරීමෙන් සිනහසුණු සේක.
එකල්හි ලක්ඛණ තෙරුන් කුමක් නිසා මෙය නොදුටුවේද? උන්වහන්සේ දිවැස් නැතිද? දිවැස් ඇත. මහමුගලන් තෙරුන් ආවර්ජනය කළ නිසා එම ප්‍රේතරුව දුටුවේය. රහතන් වහන්සේලා කරුණක් නොමැතිව සිනා පහළ නොකරති. එබැවින් ලක්ඛණ තෙරණුවෝ “කොනුඛො ආවුසො මොග්ගල්ලාන හෙතුකො පච්චයො සීතස්ස පාතු කම්මාය” යනුවෙන් මේ කරුණු විමසූහ. මුගලන් තෙරණුවෝ මෙම ප්‍රේත සත්ත්‍වයාගේ උපත නොදුටු සෙසු මහජනයා විසින් මෙකරුණ අවබෝධ කරගැනීම අපහසු හෙයින්, භාග්‍යවතුන් වහන්සේ සාක්‍ෂි කරමින් විවරණය කරනු කැමති වූහ. “අකාලො ඛො ආවුසො” යනාදිය එනිසා වදාළහ. ඉක්බිති බුදුරදුන් සමීපයේදී ලක්ඛණ තෙරුන් විසින් මෙම කාරණය විමසූවිට “ඉධාහං ආවුසො” යනුවෙන් සිනහ පහළ කිරිමට හේතුවිස්තර කරන ලදී.
එහි “අට්ඨිසංඛලිකං” යනු ප්‍රේතයෙකි. මස්, ලේ නැති ඇටසැකිල්ලකි. “ගිජඣාපි කාකාපි කුළලාපි” යනු මේ යක්‍ෂ ගිජුලිහිණියෝය. යක්‍ෂ කපුටෝය. යක්‍ෂ උකුස්සෝය. මෙසේ අවබෝධ කරගත යුතුයි. ස්වාභාවික ගිජුලිහිණි ආදීහු මෙසේ ඉදිරියට නොඑති.
“අනුපතිත්‍වා අනුපතිත්‍වා” යනු ලුහුබැඳ, ලුහුබැඳ ගොස් යනුයි. “විද්දන්ති” යනු කඩුපත් මෙන් තියුණු වූ ලෝහ කුඩුවලින් විඳිමින් එහෙන් මෙහෙන් කඩා කමින් යයි යනුයි. “සා සුදං අට්ටස්සරං කරොති” යන මෙහි “සුදං” යනු නිපාතයකි. “ඒ ඇටසැකිල්ල බැගෑපත්ව හඬන්නෙකු, රෝගී ආතුරයෙකු කරයි” යන අර්ථයි. අකුසල විපාකයන්ගේ ආනුභාවයෙන් යොදුනක් පමණ වූ ද එබඳු ආත්මභාවයක් උපන්නේ යැයි (පහළ වීයැයි) ශ්‍රද්ධාවද කළකිරීමද ඇතිවේ. පැසුණු පිළිකාවක් වැනි වූ ඒ ඇටසැකිල්ල බලවත් වේදනාවෙන් ආතුර වී එබඳු ශබ්දයක් කරන ලදී.
මෙසේ වදාළ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ, සසර පවතින සත්ත්‍වයන්ගේ මෙබඳු ආත්මභාවයන්ට පැමිණීම සුලභයැයි සත්ත්‍වයන් කෙරෙහි හටගත් කරුණාවෙන් උපන් ධර්ම සංවේගයන් දක්වන සේක් “තස්ස මය්හං ආවුසො!, එතදහොසි. අච්ඡරියං වතභො” යනාදිය දෙසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, තෙරුන්ගේ ආනුභාවය පවසන සේක්, “චක්ඛු භූතා වත භික්ඛවෙ සාවකා විහරන්ති” යනාදිය දෙසූහ. එහි “ඇසෙහි වූ” (චක්ඛු භූතං) උපන්-පහළ වූ මේ භික්ෂූහු. උපන් දිවැස් ඇති. දිවැස උපදවා වාසය කරයි යන අර්ථයි. දෙවැනි පදයෙහි ද (ඥානභූතා) මේ ක්‍රමයමය.
“යත්‍ර හි නාම” යන මෙහි “යත්‍ර” යනු කාරණය-හේතුව දක්වන වචනයකි. මෙහි මේ අර්ථ යෝජනාවයි. යම්බඳු ශ්‍රාවකයෙක් ද මෙබන්දෙකු පිළිබඳව දනීද දකීද සාක්‍ෂියක් දීම හෝ කරයි ද එනිසා කියන ලදී. “මහණෙනි! ඒකාන්තයෙන් මේ බුදු සසුනෙහි දිවැස් ඇති භික්ෂූහු වෙසෙති. දිව නැණ ඇති භික්ෂූහු වෙසෙති” යනුවෙන්. “පුබ්බෙව මෙ සො භික්ඛවෙ! සත්තො දිට්ඨො” යනු බෝමැඩදී සර්වඥ ඥානය අවබෝධ කරගත් කල්හි, අප්‍රමාණ වූ සක්වල අප්‍රමාණ වූ සත්‍ව ලෝකවල භව, ගති, ඨිති (භවය, ඉපදීම, පැවැත්ම) හා වාසය ද ප්‍රත්‍යක්‍ෂව බලන්නා වූ මා විසින් පෙරදීම මේ සත්ත්‍වයා දක්නා ලදැයි පැවසූහ.
“ගොඝාතකො” යනු ගවයන් මරා ඇටවලින් මස් මුදා විකුණා ජීවත්වන මනුෂ්‍යයෙකි. “තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන” යනු ඒ නානාවිධ චේතනාවන්ගෙන් රැස් කරන ලද අපරාපරිය කර්මයේය. එහි යම් චේතනාවකින් නිරයේ පිළිසිඳ ගෙන එහි විපාක නිමවූ කල්හි ඉතිරි කර්ම හෝ කර්ම නිමිති හෝ අරමුණු කරගෙන, නැවත ප්‍රේතාදියෙහි ප්‍රතිසන්‍ධිය පහළ වේ. එනිසා ඒ ප්‍රතිසන්‍ධිය කර්මයට සමාන වූ බැවින් ද අරමුණට සමාන වූ බැවින්ද ඒ කර්මයාගේම ඉතිරි විපාකයෝ යැයි කියයි. මේ සත්ත්‍වයාද මෙසේ උපන්නේය. එනිසා කියන ලදී. “තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන” (ඒ කර්මයේම ඉතිරි විපාක වශයෙන්) යනුවෙනි. ඔහුට නිරයෙන් චුතවන විටදී මස් උපුටාගත් ගොනුන්ගේ ඇටසැකිල්ලම නිමිති විය. ඔහු සැඟවුණු ඒ කර්මය නුවණැත්තන්ට ප්‍රකට කරන්නාක් මෙන් “අට්ඨි සංඛලිකපෙතො” ඇටසැකිලි ප්‍රේතයකුව උපන්නේය.