12. මානාපගත සූත්ර වර්ණනාව
දොළොස්වන සූත්රයේ - “අහිංකාර මමිංකාර මාන පගතං” යනු අහංකාරයෙන් ද මමංකාරයෙන් ද මානයෙන් ද පහවූ යනුයි. “විධා සමතික්කන්තං” යනු මාන කොට්ඨාසයන් මනාව ඉක්මවූ. “සන්තං සුවිමුත්තං” යනු කෙලෙස් සන්සිඳීමෙන් ශාන්ත වූ යනුයි. කෙලෙස්වලින් මනාව මිදුණු. සෙසු පදයන් අර්ථ ඉතා ප්රකටය.
මේ සූත්ර දෙකින්ම අසේඛ භූමිය කියන ලදී. පළමු සූත්රය රාහුල හිමියන්ගේ ආයාචනයක් ලෙස දේශිතය. දෙවැනි සූත්රය ආයාචනයක් අනැතුවම දේශනා කළ සේක. මුළු රාහුල සංයුත්තයේ සෑම සූත්රයක්ම රාහුල හිමියන්ගේ විමුක්තිය මුහුකුරවා යෑම පිණිස ම දෙසූ බව වටහාගත යුතුයි.
රාහුල සංයුත්තය නිමියේය.
7. ලක්ඛණ සංයුක්තය
1. ප්රථම වර්ගය
1. අට්ඨිසඞ්ඛලික සූත්ර වර්ණනාව
ලක්ඛණ සංයුක්තයේ - යමෙක් මේ “ආයස්මාච ලක්ඛණො” යනුවෙන් ලක්ඛණ තෙරුන් සඳහා කියන ලදී. උන්වහන්සේ දහසක් ජටිලයන් අතුරින් ඒහිභික්ෂු මහණ උපසම්පදාව ලබා, ආදිත්ත පරියාය සූත්ර දේශනාවසානයේ රහත් බවට පත්වූ එක් මහා ශ්රාවකයෙකි. ලක්ෂණ සියල්ලෙන්ම, සර්වාකාරයෙන්ම බ්රහ්මයකු බඳු පිරිපුන් ආත්මභාවයක් ලබන ලද බැවින් ‘ලක්ඛණ’ යන නාමය ගිහි ගෙයිදී ලැබුණි. මහමුගලන් තෙරුන් වහන්සේ පැවිදිවී සත්වැනි දින රහත් වූ ගෞතම බුද්ධ ශාසනයේ දෙවැනි මහා ශ්රාවකයා වෙති.
“සීතං පාත්වාකාසී” යනු මද සිනහ පහළ කළේය. ප්රකාශ කළේය. දැක්වීය යනුයි. කුමක් දැකීම නිසා තෙරුන් වහන්සේ සිනහ පහළ කළසේක්ද? ත්රිපිටක බුදුවදනෙහි එන එක් ඇටසැකිල්ලක් බඳු ප්රේතලොව උපන් සත්ත්වයකු දැකීමෙනි. එය හුදෙක් දිවැසින් ම දක්නා ලද සේක. මසැසින් නොවේ. මසැසට මෙම ආත්ම භාවයන් ගෝචර නොවේ. මෙබඳු ආත්ම භාවයක් දැක කරුණාව දැක්විය යුතුව තිබියදී සිනහසුණේ ඇයි? තමන් වහන්සේගේද බුද්ධ ඥානයේද හේතුසම්පත් සිහිකිරීමෙන්, මෙම ප්රේතයා දැක තෙරුන්වහන්සේට, “නොදක්නා ලද සත්යය නමැති පුද්ගලයාගේ ලැබීම හේතුවෙන් මෙබඳු ආත්මභාවයෙන් මම මිදුනෙමි. මට වූයේ ලාභයෙක. මට වූයේ යහපතකි”යි තමාගේ සම්පත් සිහිකර, අනේ භාග්යවත් සම්මා සම්බුදුපියාණන්ගේ ඥාන සම්පත්තිය මහා පුදුමයකි. “මහණෙනි! කර්ම විපාක පිළිබඳව සිතිය නොහැක. එනිසා ඒ පිළිබඳව නොසිතිය යුතුයි.” යනුවෙන් යම් දහම් කරුණක් දැක්වූ සේක්ද එය ප්රත්යක්ෂයෙන් ම දැන් උන්වහන්සේ දේශනා කළ සේක. මෙලෙස බුද්ධඥාන සම්පත්තිය ද සිහිපත් කිරීමෙන් සිනහසුණු සේක.
එකල්හි ලක්ඛණ තෙරුන් කුමක් නිසා මෙය නොදුටුවේද? උන්වහන්සේ දිවැස් නැතිද? දිවැස් ඇත. මහමුගලන් තෙරුන් ආවර්ජනය කළ නිසා එම ප්රේතරුව දුටුවේය. රහතන් වහන්සේලා කරුණක් නොමැතිව සිනා පහළ නොකරති. එබැවින් ලක්ඛණ තෙරණුවෝ “කොනුඛො ආවුසො මොග්ගල්ලාන හෙතුකො පච්චයො සීතස්ස පාතු කම්මාය” යනුවෙන් මේ කරුණු විමසූහ. මුගලන් තෙරණුවෝ මෙම ප්රේත සත්ත්වයාගේ උපත නොදුටු සෙසු මහජනයා විසින් මෙකරුණ අවබෝධ කරගැනීම අපහසු හෙයින්, භාග්යවතුන් වහන්සේ සාක්ෂි කරමින් විවරණය කරනු කැමති වූහ. “අකාලො ඛො ආවුසො” යනාදිය එනිසා වදාළහ. ඉක්බිති බුදුරදුන් සමීපයේදී ලක්ඛණ තෙරුන් විසින් මෙම කාරණය විමසූවිට “ඉධාහං ආවුසො” යනුවෙන් සිනහ පහළ කිරිමට හේතුවිස්තර කරන ලදී.